සුයාම ස්ථවිරගාථා වර්ණනාව
“කාමච්ඡන්‍දො චබ්‍යාපාදො” යනු ආයුෂ්මත් සුයාම තෙරුන් වහන්සේගේ ගාථාවයි. පෙර බුදුවරුන් හමුවෙහි දී කරන ලද ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ ද ඒ ඒ භවයන්හි දී සසරින් මිදීම නම් වූ නිවන්සැප ලැබීම සඳහා පින් රැස් කරගත්හ. මෙයින් කල්ප අනූ එකකට පෙර පහළ වූ විපස්සි බුදුරජාණන් වහන්සේගේ සමයෙහි ධඤ්ඤවතී නුවර බමුණු පවුලක ඉපදුණු හෙතෙම, වියට පත්වත්ම සියලු බ්‍රාහ්මණ ශිල්ප ශාස්ත්‍රයන් හි කෙළවරට ගියේය. ඔහු බමුණු මන්ත්‍ර වේදාදිය අන්‍යයන්ට උගන්වයි. මෙසමයෙහි විපස්සි භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්‍ෂු සංඝයා පිරිවරාගෙන පිඬු පිණිස ධඤ්ඤවතී නුවරට වැඩිසේක. ඒ දැක පැහැදුණු සිතැති බමුණා, ශාස්තෲන් වහන්සේ තම නිවසට වැඩමවාගෙන, අසුන් පනවා ඒ මත මල් වියනක් අතුරා පූජා කළේය. එහි වැඩ හිඳි ශාස්තෲන් වහන්සේ ප්‍රණීතවූ ආහාරපාන වලින් සන්තර්පනය කළේය. වළඳා අවසන් වූ කල මල් සුවඳින් පූජා පැවැත්වීය. මෙසේ කරන ලද සියලු පූජා පිළිගත් ශාස්තෲන් වහන්සේ ඔහුට පුණ්‍යානුමෝදනා දේශනාව පවත්වා වෙහෙරට වැඩිසේක. ඒ මහා පින්කමේ විපාක වශයෙන් ඔහු; කාමසුගතීන් හි ඉපිද තවතවත් පින් රැස්කරමින් දෙව් - මිනිස් සැප විඳ මේ බුද්ධෝත්පාද කාලයෙහි විශාලා මහනුවර එක්තරා බමුණෙකුගේ ම පදප්‍රාප්ත විය. ඉතා සිත්කලුවූ ගෘහවාසීන්ගේ කාම උපභෝග සම්පත් පිළිකුල් කර, ධ්‍යානයෙහි ඇලී කල් යවන සමයෙහි භාග්‍යවතුන් වහන්සේ විශාලාවට වැඩම වූ අවස්ථාවෙහි ලැබූ ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදි වූ ඒ බමුණු තරුණයා හිස කෙස් කපද්දීම රහත් බවට පත්විය. සුයාම තෙරණුවෝ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.
“මම එකල් හි නිඝණ්ඩු ශාස්ත්‍රය හා කෙටුභ ශාස්ත්‍රය සහිත ලක්‍ෂණ ශාස්ත්‍ර පුත්‍රයා වී උපන්නේ ය. හේ සුධාව නම් විය. හෙතෙම වියපත් වූයේ වේදත්‍රයෙහි, පායෙහි ද ඉතිහාසයෙහි ද දක්‍ෂ වී ධඤ්ඤවතී නුවර බමුණෙක් ව විසුවෙමි.
පදපාඨ දන්නෙමි. ව්‍යාකරණයෙහි ද නිමිති ශාස්ත්‍රයෙහි ද දක්‍ෂව ත්‍රිවේදයෙහි පරතෙරට පත් වූ මම ශිෂ්‍යයනට මන්ත්‍ර පාඨ කියවීමි.
මම මගේ මාපියන් පුදනු කැමති ව උපුල් මල් මිටි අටක් අසුනක තැබුවෙමි.
එකල් හි නරශ්‍රේෂ්ඨ වූ විපස්සි බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා පිරිවරාගෙන සියලු දිශා බබුලුවමින් එහි වැඩමකළ සේක.
ඒ බුදුරජාණන් වහන්සේට ආරාධනා කළ මම, මල් අතුරා අසුනක් පනවා මගේ නිවෙසේ උන්වහන්සේ වඩා හිඳවූවෙමි.
මගේ ගෙදර මා සඳහා පිළියෙල වී පැවති ආහාරපාන පහන් සිතින් උන්වහන්සේට පූජා කළෙමි.
වළඳා අවසානයේ උන්වහන්සේට සුදුසු කල් දැන, මල් මිටක් ද පූජා කළෙමි. ඒ සර්‍වඥයන් වහන්සේ අනුමෝදනා කොට උතුරු දෙස බලා වැඩියහ.”
“මෙයින් කල්ප අනූ එකකට පෙර යම් පුෂ්ප දානයක් දුන්නෙම් ද ඒ හේතුවෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. පුෂ්පදානයේ විපාකය මෙබඳුය.
මෙයින් අනූ වන කල්පයෙහි සත්රුවනින් හෙබි මහත් බලැති වරදස්සන නම් සක්විති රජ වූයෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත්බවට පත් වූ උන්වහන්සේ නීවරණ ප්‍රහාණය කිරීම් වශයෙන් තම රහත්බව ප්‍රකාශ කිරීමට
“කාමච්ඡන්‍දො ච බ්‍යාපාදො ථීනමිද්ධඤ්ච භික්ඛුනො,
උද්ධච්චං විචිකිච්ඡා ච සබ්බසොව න විජ්ජතී” - යනුවෙන් වදාළහ.
එහි “කාමච්ඡන්‍දො” යනු කාමයන්හි ඇලුණු, කාමයෙහි ද ඔහු ඇලුනේ යැයි කාමච්ඡන්‍ද නම් වේ. කාමරාගයයි. මෙහි දී සියලුම ආකාරයේ රාගය, ඇලීම කාමච්ඡන්‍දය ලෙස ගැනේ. අග්‍රමාර්ගය වූ ආර්‍ය්‍ය මාර්ගයෙන් දුරු වූ යන අදහසයි. එනිසා “සබ්බසොව න විජ්ජතී” සියලුම ආකාරයෙන් නොපවතී යැයි කියන ලදි. සියලුම ආකාරයේ ත්‍රෛභූමික ධර්‍මයන්ට කැමතිවීම් අර්ථයෙන් “කාම” නම් වේ. ඒ කාමයෙහි පවත්නා රාගය - ඇලීම කාමච්ඡන්‍දයයි. භාග්‍යවතුන් වහන්සේ “අරූප භූමියෙහි දී කාමච්ඡන්‍දනීවරණය නිසා ථීනමිද්ධ නීවරණය ද උද්ධච්ච නීවරණය ද අවිද්‍යා නීවරණය ද උපදින්නේ ය”යි වදාළසේක. ක්‍රෝධභාවයට යයි, සිත කිලිටිභාවයට යයි යන අරුතින් “බ්‍යාපාදො” නම් වේ. “මට අනර්ථයක්, අවැඩක් කළේ ය”යි ආදී වශයෙන් පවතින දැඩි වෛරයයි. “ථීනං” යනු සිතේ කම්මැලි බවයි. සැඟවී පවතින ද්වේෂයයි. “මිද්ධං” යනු කයේ මැලි - අලස බවයි. සිතේ කරදරයක්, විපතක් නොමැති කල්හි මේ දෙකම ඇති වේ. ථීනය ද මිද්ධ ය ද “ථීනමිද්ධ” ලෙස එක්වේ. කෘත්‍ය, ආහාර හා විරුද්ධ වීම් එක සමාන බැවින් මේ දෙකම එකට ගන්නා ලදි. සිතේ විසිරුණු ස්වභාවය “උද්ධච්චං” නම් වේ. යම් කරුණකින් සිත විසිරීයයි ද උඩඟු භාවයට පත්වේ ද එසේ ඇතිවන සිතේ වික්‍ෂිප්තභාවය “උද්ධච්ච” යයි. මෙහි දී උද්ධච්චයට කෘත්‍ය - ආහාර ප්‍රතික්‍ෂේප වූවන් සමාන බැවින් කුක්කුච්චය ද ගන්නා ලදැයි දතයුතුයි. පසුතැවිලිවන ස්වභාවය කුක්කුච්ච නම් වේ. කළ - නොකළ කුසලාකුසලයන් පිළිබඳව සිතමින් විපිළිසර වීම කුක්කුච්ච නම් වේ. “විචිකිච්ඡා” යනු “මෙසේ වූයේ ද? මෙසේ නොවී ද?” ආදී ලෙස පවතින සැකයයි. ධර්‍මයන්ගේ ස්වභාවය සොයමින් වෙහෙසේ. දුකට පත්වේ. යන - අරුතින් “විචිකිච්ඡා” නම් වේ. බුද්ධා දී අට තැන් කෙරෙහි පවතින සැකයයි. “සබ්බසො” යනු සියලුම ආකාරයෙන් ඉතිරි නොකර “න විජ්ජති” යනු නොපවතියි. ආර්‍ය්‍ය මාර්ගයෙන් මෙම පංච නීවරණ මුලුමණින් ම සිඳ ලූ බැවින් දැන් මා කෙරෙහි ඒවා නොපවතියි. මේ අවසන් පද දෙක මුලින් කී නීවරණ ධර්‍ම පසට ම වෙන වෙනම යොදා අර්ථ ගත යුතුයි. මෙම ගාථාවේ අර්ථය මෙසේය. – “යම් භික්‍ෂුවක් විසින් ඒ ඒ ආර්‍ය්‍ය මාර්‍ගයන් මගින් මුලුමනින්ම කාමච්ඡන්දය ද ව්‍යාපාදය ද ථීන මිද්ධය ද උද්ධච්ච කුක්කුච්චය ද විචිකිච්ඡාව ද සියලුම ආකාරයෙන් සිඳලූ බැවින්, ඒවා උන්වහන්සේගේ සිතේ නොපවතියි. ඔහුට නැවත කළයුතු දෙයක් නැත. ඔහු කළයුතු දේ කරන ලදි. රහත්බව ප්‍රකාශ කිරීම් වශයෙන් සිය දැනුම - අවබෝධය මෙසේ උන්වහන්සේ දක්වති. පංචනීවරණ ධර්‍ම සෝවාන් ආදී ආර්‍ය්‍ය මාර්ගාංගයන් මගින් සම්පූර්ණයෙන් ම සිඳලූ කල් හි ඒකාන්තයෙන් ම එම පුද්ගලයාගේ සියලු කෙලෙස් මුලුමනින් ම සිඳ දමන ලද්දේම ය. එනිසා භාග්‍යවතුන් වහන්සේ “පංච නීවරණ ධර්‍ම ප්‍රහාණය කර, සිත සියලුම කෙලෙස්වලින් මුදා ගන්නේය” යනුවෙන් වදාළසේක.