මාණව ස්ථවිරගාථා වර්ණනාව
“ජිණ්ණඤ්ච දිස්වා දුඛිතඤ්ච ඛ්‍යාධිතං” යනු ආයුෂ්මත් මාණව තෙරුන් වහන්සේගේ ගාථාවකි. එහි උපත කෙසේ ද? පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා සහ ඒ ඒ උපනුපන් භවයන් හි දී සසරින් මිදීම සඳහා රැස්කරගත් කුසල සම්භාරයන් ඇති උන්වහන්සේ; මීට කල්ප අනූ එකකට පෙර බමුණුකුව ඉපිද ලක්‍ෂණ ශාස්ත්‍රයෙහි පර ප්‍රාප්ත වූහ. විපස්සි භාග්‍යවතුන් වහන්සේ උපන් කෙණෙහි ගොස් ශරීර ලක්‍ෂණ බලා, පූර්ව නිමිති විමසා “එ්කාන්තයෙන් මෙතෙම බුදුවන්නේ ය” යැයි ප්‍රකාශ කර විවිධාකාරයෙන් ස්තුති කර, ප්‍රදක්‍ෂිණා කොට වැඳ ගියේය. ඒ පින්කමේ විපාක වශයෙන් කාමසුගතීන් හි ම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර බමුණු මහසල් කුලයක ඉපදුණේය. ඉපිද සත් විය දක්වා ඇතුලු ගෙයි ම හැදී වැඩී, සත්වන වසරෙහි දී උපනයනය සඳහා උයනට ගෙනයන අතර මගදී මහළුවූවන්, ලෙඩවූවන් හා මැරුණු පුද්ගලයන් දැක - පෙර ඔවුන් නොදැක තිබූ බැවින් පිරිවර ජනයාගෙන් ඒ පිළිබඳව විමසීය. ජරාවට පත්වීම, රෝගවලට ගොදුරුවීම හා මරණය අප සැම දෙනාටම උරුම වූ ස්වභාවයක් බව අසා හටගත් සංවේග ඇති බමුණු කුමරු නැවත පෙරළා එන කල්හි විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේගේ ධර්‍මශ්‍රවණ කොට, මාපිය අවසරයෙන් පැවිදි වී නොබෝ දිනකින් ම විදසුන් වඩා මහරහත් ඵලයෙහි පිහිටියේය. මාණව තෙරුන් වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.
“විපස්සි බුදුරදුන් ලොව පහළවන කල්හි, ඇති වූ නිමිති බලා, මම මෙසේ පැවසුවෙමි. “ජන සමූහයා කෙලෙස් ගින්නෙන් නිවමින් බුදුරජාණන් වහන්සේ ලොව පහළවන්නේය.
යම් උතුමෙකු පහළවන කල්හි දස දහසක් ලෝකධාතු කම්පා වෙත් ද දැන් ඒ ශාස්තෲ වූ පසැස් ඇති භාග්‍යවතුන් වහන්සේ ධර්මදේශනා කරන සේක.
යම් උතුමෙකු පහළ වන කල්හි මහත් ආලෝකයක් පැතිරුණේ ද දැන් ඒ උතුමාණෝ දහම් දෙසන සේක.
යම් උතුමෙකු උපදින මොහොතෙහි ගංගා නොගැලුවේ ද, දැන් ඒ පසැස් ඇති භාග්‍යවත්හු දහම් දෙසති.
යම් උතුමෙකු පහළවන කල් හි අවීචියේ ගිනි නිවුණේ ද දැන් ඒ ශාස්තෲ වූ පසැස් ඇති භාග්‍යවත් හු දහම් දෙසති.
යම් උතුමකු පහළවන විට පක්‍ෂීහු අහසේ ගමන් අත් හැරියා හු ද ඒ උතුම් භාග්‍යවත්හු දැන් දහම් දෙසති.
යම් උතුමෙකු උපදින කල්හි සුළං නොහැමුවේ ද, දැන් ඒ ශාස්තෲ වූ පසස් ඇති භාග්‍යවත් හු දහම් දෙසති.
යම් උතුමෙකු උපදින කල් හි සියලු රත්න බැබලුනා හු ද, දැන් ඒ ශාස්තෲ වූ පසැස් ඇති භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසති.
යම් උතුමෙකු උපදින කල් හි සත් පද වික්‍රමය, සත් පියවර තැබීම කරන ලද්දේ ද, දැන් ඒ පසැස් ඇති භාග්‍යවත් හු දහම් දෙසති.
උපන් මොහොතේ ම ඒ බුදුවන කුමරු සියලු දිශා බැලුවේය. අභීත වදන් පැවසීය. මේ බුදුවරුන්ගේ ධර්‍මතාවන් වේ.”
මෙසේ ජනයා සංවේගයට පමුණුවා, ලෝකනායකයන් වහන්සේට ස්තුති කොට සර්‍වඥයන් වහන්සේට වැඳ නැගෙනහිරට මුහුණ ලා ගියෙමි.
එදා මීට කල්ප අනූ එකකට පෙර යම් බුද්ධ ස්තුතියක් කළෙම් ද, මේ දක්වා ම මම දුගතියක නූපන්නෙමි. බුදුවැණුමෙහි මේ විපාකයයි.
මීට කල්ප අනූ එකකට පෙර මම, සත් රුවනින් හෙබි මහ බල ඇති සම්මුඛාථවිය නම් සක්විති රජව උපන්නෙමි.
මීට කල්ප අනූ නවයකට පෙර සත් රුවන් සහිත බලවත් වූ පඨවිදුන්දුභි නම් සක්විති රජවූයෙමි.
මෙයින් අසූ අටවන කල්පයේ ද ඕභාස නමින් එවැනි ම සක්විති රජ කෙනෙක් ව උපන්නෙමි.
මීට කල්ප අසූ හතකට පෙර සරිතච්ඡේදන නමින් ද [missing trans] කල්ප අසූහයකට පෙර වාතසම නමින් ද කල්ප අසූතුනකට පෙර රතනපජ්ජල නමින් ද [missing trans] කල්ප අසූවකට පෙර ගිරිසාර නමින් ද මහත් බල ඇති - සත් රුවනින් පිරි සක්විති රජවරුන් ව උපන්නෙමි.”