ආතුම ස්ථවිරගාථා වර්ණනාව
“යථා කළීරො සුසුවඩ්ඪිතග්ගො” යන මෙම ගාථාව ආයුෂ්මත් ආතුම තෙරුන්වහන්සේගේ ගාථාවකි. උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි ඒ ඒ භවයන්හි දී නිවන් පතාගෙන නොයෙක් පින් දහම් රැස්කර, මෙයින් කල්ප අනූ එකකට පෙර සිටුගෙයක උපන්හ. වැඩිවිය පත් සිටු කුමරු විපස්සි භාග්‍යවතුන් වහන්සේ වීථියෙහි වඩිනු දැක පැහැදුණු සිතින් සුවඳ මලින් ද සුවඳ සුණු වලින් ද උන්වහන්සේ පිදුවේය. ඒ පින්කමේ බලයෙන් දෙව්ලොව ඉපිද කාමසුගති ලෝකයන්හිම සැරිසරා කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ සසුනේ පැවිදිව මහණදම් පිරුවේය. උන්වහන්සේගේ ඤාණය මුහුකුරා නොගිය බැවින් ආර්යගුණ කිසිවක් උපදවාගත හැකි නො වීය. අනතුරුව අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ සැවැත්නුවර සිටු ගෙදරක උපන්නේ ය. “ආතුම” නමින් ප්‍රකට වූ එම සිටු පුතු නිසි වයසට එළඹි කල්හි, ඔහුගේ මව “මගේ පුතුට බිරියක් ගෙනෙමි”යි නෑයන් සමග කථාබහ කළාය. එම සාකච්ඡාව ඇසූ ආතුම සිටුපුත්, හේතු සම්පත්තියෙන් මෙහෙයවනු ලබනුයේ “මට ගිහිගෙයි විසීමෙන් කවර ප්‍රයෝජනයක් ද? දැන් මම පැවිදිවෙමි”යි සිතා භික්‍ෂූන් සමීපයට ගොස් පැවිදි විය. පැවිදි වූ ආතුම ගිහිබවට පත්කරගැනීමට ඔහුගේ මව නොයෙකුත් උපක්‍රම යෙදුවාය. උන්වහන්සේ ඇයට අවස්ථාවක් නොදී තම ස්ථිර අදහස මෙසේ ගාථාවකින් වදාළහ.
“යථා කළීරො සුසු වඩ්ඪිතග්ගො, දුන්නික්ඛමො හොති පසාඛජාතො,
එවං අහං භරියානිතාය අනුමඤ්ඤ මං පබ්බජිතොම්හි දානී”
මෙහි “කළීරො” යනු පැළයයි. මෙහිදී උණ ගොබයක්, උණ පැලයක් අදහස් කරන ලදි. “සුසු” යනු තරුණ වූ “වඩ්ඪිතග්ගො” යනු මනාව වැඩුණු අතු ඇති, තරුණ ළපටි පැළයක් හෝ මනාව වැඩුණු අතුවල හටගත් කොළ අතු ඇති “දුන්නික්ඛමො” යනු උණ ගොමුවෙන් නික්මවීමට බැහැරකරවීමට නොහැකි වන්නේ ය. “පසාඛ ජාතො” යනු හටගත් ශාඛා ප්‍රශාඛා ඇති ශාඛාවන්හි ද පුරුකක් පාසා හටගත් අනුශාඛා ඇති “එවං අහං භරියාය නීතාය” “යම්සේ උණ කිළිලක් හුණ පඳුරෙහි ශාඛා ප්‍රශාඛා වැඩී වර්ධනය වූ වේ ද එම උණ පැළය, ඉන් ඉවත් කිරීම අපහසු වූවක් වන්නේ ද එලෙසින් ම මම ද භාර්යාව විසින් මා වෙත ගෙනෙන ලද දූ පුතුන්ගේ වශයෙන් වර්ධනය වන ඇලීම නිසා ගිහිගෙයින් නික්මීම දුෂ්කර වන්නේ ය. නමුත් උණ පැළය නොවැඩුණු ශාඛා ප්‍රශාඛා ඇතිව උණ පඳුරෙහි වේනම් එය ඉවත් කිරීම ඉතා පහසුය. එමෙන්ම නො ඉපදුණු දූ පුතුන් ඇති බැවින් මම ගිහි බන්ධනයන්ගෙන් සුවසේ නික්මුණෙමි. නොගෙනා භාර්යාව ඇති මම, තමාගේම කැමැත්තෙන් දැන් පැවිදි වූයෙමි. එය ඉතා යහපත් දෙයකි”යි තමන් වහන්සේ ගිහිගෙයින් නික්මීමේ කැමැත්ත ප්‍රකාශ කරයි. “අනුමඤ්ඤ මං පබ්බජිතොම්හිදානී”, “මගේ පැවිද්ද අනුදන්නේ නම් මැනවි”යි මෑණියන්ට කියයි. මෙම පාඨයේ අදහස මෙසේය. – “මෑණියනි! නුඹ පෙර මගේ පැවිද්ද අනුමත නොකළෙහිය. දැන් මම පැවිදි වී සිටිමි. එනිසා මාගේ පැවිද්ද අනුදත මැනව. මට මහණකමෙහි ම සිටීමට ඉඩදෙන්න. නුඹට මා නැවැත්විය හැකි නොවේ.” මෙසේ තම මෑණියන්ට අවවාද දෙමින් විදසුන් වැඩූ ආතුම තෙරණුවෝ මග පිළිවෙලින් කෙලෙස් දවා ෂට් අභිඥාලාභියෙකු වූහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.
“උතුම් පහයෙහි හිඳ බබලන කුඹුක් ගසක් වැනි මොහඳුරු දුරු කරන්නා වූ පස් මරුන් දිනු විපස්සි බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
පහයට නුදුරින් උන්වහන්සේ වඩින කල්හි, සූර්යයා මෙන් උන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් ප්‍රභාව විහිදුණි.
ඒ දැක සතුටු සිත් ඇති මම සුවඳ පැන් ඉස උන්වහන්සේට පූජා කළෙමි. ඉන්පසු කළුරිය කළ මම, මීට අනූඑක් කල්පයකට පෙර කළ එම කුසලයේ ආනුභාවයෙන් එතැන් සිට මේ දක්වා දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවේ විපාකය මෙබඳුය.
මෙයින් තිස් එක්වන කල්පයේ සත්රුවනින් යුත් මහත් බල ඇති සුගන්‍ධ නම් සක්විති රජ ව උපන්නෙමි.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
ෂට් අභිඥා උපදවා ගත් උන්වහන්සේ, තම මවුට මෙසේ අවවාද දී ඇය බලා සිටියදී ම අහසින් වැඩිසේක. රහත් බවට පත් වූ පසුව ද උන්වහන්සේ නිතර නිතර මේ ගාථාව ම වදාළසේක.