රාමණෙය්‍ය ස්ථවිරගාථා වර්ණනාව
“විහවිහාභිනදිතෙ” යනු ආයුෂ්මත් රාමණෙය්‍ය තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? රාමණෙය්‍ය තෙරණුවෝ ද පෙර බුදුවරු හමුවෙහි දී කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන් හි දී නොයෙකුත් පින්දහම් රැස්කරගත්හ. සිඛි නම් භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සිටුගෙයක ඉපිද, වැඩිවියට පැමිණ භාග්‍යවතුන් වහන්සේ දැක සිත පහදවා ගත් හෙතෙම සුවඳ මලින් බුදුන් පිදුවේය. ඒ පින්කමින් ඔහු දිව්‍යාත්මභාවයක් ලැබීය. සසර සැරිසරමින් තව තවත් පින්දහම් සිදුකරගත් ඔහු කාම සුගතීන් හිම සැප විඳ, අප තථාගතයන් වහන්සේගේ කාලයෙහි සමෘද්ධිමත් පවුලක ඉපදුණේය. වැඩිවියට පත්ව ජේතවනාරාමය පූජාකරන අවස්ථාව දැක හටගත් ශ්‍රද්ධාවෙන් පැවිදිවිය. චරිතානුකූල කමටහන් ගත් උන්වහන්සේ අරණ්‍යයෙහිම විසූහ. එසේ අරණෙහිම වසන උන්වහන්සේ තම ශරීර සම්පත්තිය නිසා ද පැවිද්දට යෝග්‍ය සේ පිළිවෙත් සපුරන බැවින් ද ප්‍රසාද එළවන බැවින් ද “රාමණෙය්‍ය” නමින් ප්‍රකට වූහ. එක් දිනක් මාරයා එම තෙරණුවන්ට හිංසා කරනු කැමතිව මහත් බිය ජනක ශබ්දයක් කළේය. එය ඇසු තෙරුන් වහන්සේ ප්‍රකෘතියෙන් ම ස්ථිර අදහස් ඇති බැවින්, ඊට තැතිගැනීම් නැති වූසේක්, “මේ මාරයා” යැයි දැන, මෙකරුණෙහි සිය අප්‍රසාදය පළකරමින් “විහවිහාභිනදිතෙ” යන ගාථාව දෙසූ සේක.
එහි “විහවිහාභිනදිතෙ” යන්නෙහි “විහවිහා” යනු නිතර ශබ්ද පවත්වන බැවින් විහවිහ යනු නම ලද “වටුවන්ගේ නාදය නිමිති කරගෙන, මහත් වූ ඝෝෂාව හේතුවෙන්” යන අර්ථය යි. “සිප්පකාභිරුතෙ හි ච” යන්නෙහි “සිප්පිකා” යනු දේවප්‍රකාර නැමති ගිලන් බවින් පෙළෙන බඩගිනි වූ දරුවන් සහිතව හඬන සාමුවෝය. හුනහපුළුවෝය. ඇතැම් හු දඬුලෙහෙනුන් මෙහිදී අදහස් වන බව කියයි. එම හුනහපුළුවන්ගේ ඉතා බියජනක නාදයෙන්. මෙහි හේතු අර්ථයේ තතියාව යෙදී ඇත. “ඒ හේතුවෙන් ඒ ශබ්ද නිසා” යන අර්ථයයි. “න මෙ තං ඵන්‍දති චිත්තං” යනු මගේ සිත නොසැලේ, නොසෙලවේ. මෙහි අදහස මෙසේ දතයුතුයි. – “මේ අරණ්‍යයෙහි වටුවන්ගේ හා හුණහපුළුවන්ගේ මහා නාද වශයෙන්, පාපී මාරය! නුඹගේ මේ විප්‍රකාර හේතුවෙන් මගේ සිත කමටහනින් පහ නොවේ, නොවැවේ. ඊට හේතු මෙසේ දක්වයි. “එකත්ත නිරතං හි මෙ” යන්නෙහි “හි” ශබ්දය හේතු අර්ථයේ යෙදේ. යම්හෙයකින් මගේ සිත සමූහවාසය හැරදමා හුදකලාව තනිව සිටීමට කැමති ද නැතහොත් බාහිර අරමුණු කරා නොයමින් එක අරමුණක, එකඟභාවයෙහි පවතින්නේ ද නැතිනම් නිවනෙහිම දැඩිව ඇලී සිටින්නේ ද එනිසා මාගේ සිත කමටහනින් පහ නොවේ, නො සෙලවේ, මේ ගාථාව ප්‍රකාශ කරමින් ම රාමණෙය්‍යක තෙරණුවෝ, විදසුන් වඩා රහත් බවට පත්වූහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දක්වා ඇත -
“හිරුමෙන් ප්‍රතාපවත් වූ රන්වන් පැහැයෙන් බබලන මෙත් සිත් ඇති සිඛි නම් භාග්‍යවතුන් වහන්සේ සක්මනට නැගුණුසේක.
එදින මම පහන් වූ සිත් ඇතිව, සතුටින් ශ්‍රේෂ්ඨඥාන ඇති බුදුරජාණන් වහන්සේට වැඳ මිනේලි මලින් උන්වහන්සේ පූජාකළෙමි.
මෙයින් කල්ප තිස් එකකට පෙර යම් මල් පූජාවක් කළෙම් ද එතැන් පටන් මම දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවෙහි විපාකය මෙබඳුය.
මෙයින් කල්ප තිස් එකකට පෙර සත් රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති “සුමෙධ යස” නම් සක්විති රජව උපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් නැසුවෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රාමණෙය්‍ය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
විමල ස්ථවිරගාථා වර්ණනාව
“ධරණී ච සිඤ්චති වාති” යනු ආයුෂ්මත් විමල තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කරන ලද ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන් හි දී සසරින් මිදීම සඳහා තව තවත් කුසල් රැස් කළහ. විපස්සි භාග්‍යවතුන් වහන්සේ දවස සක් පිඹින පවුලක ඉපිද වැඩිවියට පත්වූයේ එම ශිල්පයෙහි නිෂ්පත්තියට ගිය ඔහු, දිනක් විපස්සි භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. දැක පැහැදුණු සිතින් සක්පිඹ උන්වහන්සේට පූජා කොට, එතැන් පටන් කලින් කලට ශාස්තෲන් වහන්සේට උපස්ථාන කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් ලොව උපන් ඔහු, ඒ ඒ භවයන්හි දී තව තවත් පින් රැස්කර කාම සුගතීන්හිම හැසිර, කස්සප භාග්‍යවතුන් වහන්සේ දවස “අනාගතයේ දී මා හට නිර්මල පිරිසිදු ශරීරයක් ලැබේවා!”යි පතා බෝධිවෘක්‍ෂය සුවඳ පැනින් නැහැවීය. සෑමළුවේ ද බෝ මළුවේ ද වූ මල් අසුන් ආදිය සේදවීය. භික්‍ෂූන් වහන්සේලා සතුව තිබූ කිලිටි ශ්‍රමණ පිරිකර ආදිය ද සේදවීය.
එසේ පින්කම් කළ ඔහු ඉන් චුතව දෙව් මිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහ නුවර සමෘද්ධිමත් පවුලක උපන්නේය. මවුකුස වාසය කළාවූ ද ඉන් නික්මුණා වූ ද ඔහුගේ ශරීරය පිත්, සෙම් ආදියෙන් කිලිටි නොවී, පියුම් පතෙහි ලු දියමෙන් කිසිදු අපවිත්‍ර ද්‍රව්‍යයක් සිරුරෙහි නොතැවරී පශ්චිම භවික බෝසත් ශරීරයක් මෙන් ඉතා පිරිසිදු වූයේ විය. එනිසා එකුමරුට “විමල” යන නාමය තබන ලදි. වැඩිවියට පත් විමල කුමරු රජගහ නුවරට ප්‍රථමයෙන් පිවිසි බුදුරජාණන් වහන්සේගේ අනුභාවය දැක, ලබන ලද ශ්‍රද්ධාවෙන් සතර මහා දිවයිනට ම වැටෙන මහා වර්ෂාවක්, මුලු සක්වල ගැබ පතුරුවා වැස්සේය. නැවත හටගන්නා විටට්ට කල්පයේ දී බුදුවරු ද සක්විති රජවරු ද වැඩ සිටින කාලයෙහි ම මෙබඳු වර්ෂා ඇතිවේ. ශරීරයේ සියළු දාහයන් සන්සිඳි සෘතුලාභය නිසා තෙරුන්ගේ සිත සන්සුන් විය, එකඟ විය, සමාධිගත සිත් ඇති උන්වහන්සේ එකෙණෙහි ම විදසුන් වඩා මාර්ගඵල පිළිවෙලින් ලැබ උතුම් වූ අර්හත් ඵලයෙහි පිහිටිසේක. උන්වහන්සේ විසින් සිය චරිතාපදානය මෙසේ දක්වන ලදි -