විමල ස්ථවිරගාථා වර්ණනාව
“ධරණී ච සිඤ්චති වාති” යනු ආයුෂ්මත් විමල තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කරන ලද ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන් හි දී සසරින් මිදීම සඳහා තව තවත් කුසල් රැස් කළහ. විපස්සි භාග්‍යවතුන් වහන්සේ දවස සක් පිඹින පවුලක ඉපිද වැඩිවියට පත්වූයේ එම ශිල්පයෙහි නිෂ්පත්තියට ගිය ඔහු, දිනක් විපස්සි භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. දැක පැහැදුණු සිතින් සක්පිඹ උන්වහන්සේට පූජා කොට, එතැන් පටන් කලින් කලට ශාස්තෲන් වහන්සේට උපස්ථාන කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් ලොව උපන් ඔහු, ඒ ඒ භවයන්හි දී තව තවත් පින් රැස්කර කාම සුගතීන්හිම හැසිර, කස්සප භාග්‍යවතුන් වහන්සේ දවස “අනාගතයේ දී මා හට නිර්මල පිරිසිදු ශරීරයක් ලැබේවා!”යි පතා බෝධිවෘක්‍ෂය සුවඳ පැනින් නැහැවීය. සෑමළුවේ ද බෝ මළුවේ ද වූ මල් අසුන් ආදිය සේදවීය. භික්‍ෂූන් වහන්සේලා සතුව තිබූ කිලිටි ශ්‍රමණ පිරිකර ආදිය ද සේදවීය.
එසේ පින්කම් කළ ඔහු ඉන් චුතව දෙව් මිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහ නුවර සමෘද්ධිමත් පවුලක උපන්නේය. මවුකුස වාසය කළාවූ ද ඉන් නික්මුණා වූ ද ඔහුගේ ශරීරය පිත්, සෙම් ආදියෙන් කිලිටි නොවී, පියුම් පතෙහි ලු දියමෙන් කිසිදු අපවිත්‍ර ද්‍රව්‍යයක් සිරුරෙහි නොතැවරී පශ්චිම භවික බෝසත් ශරීරයක් මෙන් ඉතා පිරිසිදු වූයේ විය. එනිසා එකුමරුට “විමල” යන නාමය තබන ලදි. වැඩිවියට පත් විමල කුමරු රජගහ නුවරට ප්‍රථමයෙන් පිවිසි බුදුරජාණන් වහන්සේගේ අනුභාවය දැක, ලබන ලද ශ්‍රද්ධාවෙන් සතර මහා දිවයිනට ම වැටෙන මහා වර්ෂාවක්, මුලු සක්වල ගැබ පතුරුවා වැස්සේය. නැවත හටගන්නා විටට්ට කල්පයේ දී බුදුවරු ද සක්විති රජවරු ද වැඩ සිටින කාලයෙහි ම මෙබඳු වර්ෂා ඇතිවේ. ශරීරයේ සියළු දාහයන් සන්සිඳි සෘතුලාභය නිසා තෙරුන්ගේ සිත සන්සුන් විය, එකඟ විය, සමාධිගත සිත් ඇති උන්වහන්සේ එකෙණෙහි ම විදසුන් වඩා මාර්ගඵල පිළිවෙලින් ලැබ උතුම් වූ අර්හත් ඵලයෙහි පිහිටිසේක. උන්වහන්සේ විසින් සිය චරිතාපදානය මෙසේ දක්වන ලදි -
“ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ වැඩසිටි සමයෙහි මම සක් පිඹින්නෙක් වීමි මහර්ෂි වූ සුගතයන් වහන්සේට නිතර ම සක්පිඹිමින් මම උවටැන් කළෙමි.
තාදීගුණ ඇති ලෝක නාථයන් වහන්සේට උවටැන් කිරීමෙහි විපාකය දකිත්වා. හැම කල්හි ම සැට දාහක් තූර්ය නාදයෝ මා පිරිවරාගෙන සිටිති.
[missing trans]
මෙයින් කල්ප තිස් හතරකට පෙර මහත් බල ඇති මහා නිග්ඝෝස නම් වූ සක්විති රජවරු 16 දෙනෙක්ව මම උපන්නෙමි.
දැන් මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව මනාව ඉටුකළෙමි.”
රහත්බවට පත් වූ කොට නිම වූ කටයුතු ඇති සතුටු සිතින් යුක්ත වූ විමල තෙරණුවෝ ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කරමින් (උදන් අනමින්) “ධරණී ච සිඤ්චති වාති මාලුතො” යන ගාථාව දේශනා කළහ.
එහි “ධරණී” යනු පොළවයි. පොළව සියලුම ජල දහරා ධරන බැවින් “ධරණී” නම් වේ. “සිඤ්චති” යනු හාත්පස අහස පුරවාගෙන වැසි වසී. මහා මේඝයෙන් වැටුණු දියදහරා වලින් පොළව තෙමේ. තෙත් වේ “වාති මාලුතො” යනු දිය හා මිශ්‍ර වූ සීතල සුළං හමයි “විජ්ජුතා චරති නභෙ” යනු ඒ ඒ තැන ගර්ජනා කරමින් ගඩ ගඩ ශබ්ද නගමින් මහ වැසි වසින බැවින් නික්මෙන විදුලි දහරාවෝ අහසෙහි ඔබිනොබ හැසිරෙති. “උපසමන්ති විතක්කා” යනු යෝග්‍ය වූ සෘතු ලැබීමෙන් සමථ විපස්සනාවන්ගෙන් අවබෝධ වූ පූර්‍වභාගයේ කෙලෙස් තදංග (තාවකාලික) වශයෙන් සංසිඳුණේ විය. කාම විතර්කා දී සියලුම මහා විතර්කයෝ ආර්යමාර්ග අධිගමනයෙන් සංසිඳෙති. ඉතිරි නොකර සකල ක්ලේශයන් මුලිනුපුටා දමන ලදි. සමීපයෙහි පවතින්නා වූ ආර්යමාර්ග ක්‍ෂණය වර්තමාන කොට දක්වයි. අතීත අර්ථයෙහි මෙතැන දී වර්තමාන වචනයක් යෙදී ඇත. “(උපසමන්ති” යනුවෙන්) “චිත්තඤ්ච සුසමාහිතං මම” යනු එසේම ලෝකෝත්තර චිත්ත සමාධියෙන් මා සිත මැනවින් සමාධිගත වේ. දැන් එය සමාධිගත කිරීමට කිසිවක් කළ යුතු නොවේ. කළ යුතු සිය්ලල කර නිම වූ බැවිණි. මෙලෙස තෙරණුවෝ රහත් බව ප්‍රකාශ කළහ.
විමල ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
පස්වන වග්ගයේ අර්ථ වර්ණනාව සමාප්තයි.
ෂෂ්ඨ වර්‍ගය
ගෝධික ස්ථවිරගාථා වර්ණනාව
“වස්සති දෙවො” යනාදී ගාථා සතර ගෝධික, සුබාහු, වල්ලිය හා උත්තිය යන මේ සතර තෙරවරුන්ගේ ගාථාවෝ ය. ඒවායේ උපත කෙසේ සිදුවී ද? මොවුහු සිව් තෙරවරු ම පූර්‍ව බුදුවරු හමුවෙහි දී කළ ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයෙහි දී අපමණ පුණ්‍යසම්පත්තීන් රැස්කරගෙන, මෙයින් කල්ප අනූ හතරකට පෙර සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සිටුගෙවල්වල උපන්හ. වියපත් ඒ සතර දෙන ඔවුනොවුන් යහළු මිත්‍ර ව එකට හැසිරුණහ. ඔවුන්ගෙන් එක් අයෙක් සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ පිඬුපිණිස හැසිරෙනු දැක සැන්දක් පුරවා භික්‍ෂාව පිළිගැන්වීය. දෙවැන්නා පහන් සිතින් උන්වහන්සේට පසඟ පිහිටුවා වැන්දේය. වැඳ ඇඳිලිබැඳගෙන සිටියේ ය. තෙවැන්නා පහන් සිතින් එක් මල් මිටකින් භාග්‍යවතුන් වහන්සේ පිදුවේය. සිවුවැන්නා සමන් මලින් බුදුරදුන් පිදුවේය. මෙසේ ඒ සිවු දෙනම ශාස්තෲන් වහන්සේ කෙරෙහි සිත පහදවා රැස් කරගත් ඒ පුණ්‍යරාශියේ විපාක වශයෙන් දෙව් ලොව උපන්හ. පසුව ඒ ඒ භවයන්හි දී තව තවත් පින්දහම් රැස් කරගත් ඔවුහු දෙව් මිනිසුන් අතර සැරි සරා, කාශ්‍යප බුදුරදුන්ගේ කාලයෙහි සිටු කුලයේ ඉපිද, එක්වම ගොස් පැවිදිව මහණදම් පිරූහ. පසුව අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි මල්ල රජවරු සිවුදෙනෙකුගේ පුතුන් ව ඉපදුණු ඔවුහු, ගෝධික, සුබාහු, වල්ලිය හා උත්තිය නාමයෙන් ප්‍රකට වූහ. ඔවුනොවුන් දැඩිසේ මිත්‍රව විසූ ඒ සතර දෙන කිසියම් කටයුත්තකට කපිලවස්තුවට ගියහ. එ සමයේ ශාස්තෲන් වහන්සේ කපිලවස්තුවට වැඩමවා නිග්‍රෝධාරාමයේ වැඩ වසමින්, යමක මහා ප්‍රාතිහාර්ය දක්වා සුදොවුන් ප්‍රමුඛ ශාක්‍ය රාජ කුල රජදරුවෝ දමනය කළසේක. එ දින මල්ල රජදරුවෝ සතර දෙන එම ප්‍රාතිහාර්ය දැකීමෙන් ලැබූ ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදි ව විදසුන් කර්මස්ථාන වඩන්නාහු නොබෝ කලකින් ම සිවුපිළිසිඹියාපත් මහරහත් භාවය ලබාගත්හ. එම තෙරවරු සිවුදෙන තම චරිතාපදාන මෙසේ දැක්වූහ -