පඤ්චම වර්ගය
සිරිවඩ්ඪ ස්ථවිරගාථා වර්ණනාව
“විවරමනුපතන්ති විජ්ජුතා” යනු ආයුෂ්මත් සිරිවඩ්ඪ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී නිර්වාණය ප්‍රාර්ථනා කරගෙන බොහෝ පින්කම් රැස්කර ගත්හ. මෙයින් කල්ප අනූ එකකට පෙර පහළ වූ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ සමයෙහි සිටුකුලයක ඉපිද වැඩිවියට පත්වූ හෙතෙම, විපස්සි භාග්‍යවතුන් වහන්සේ දැක - පැහැදී උන්වහන්සේට කිංකිණි මලින් පූජා කළේය. ඒ පින්කමෙන් දෙව්ලොව උපන් ඔහු; තව තවත් පින්දහම් රැස් කරමින් සුගතීන්හිම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයේදී රජගහ නුවර මහත් ධනය ඇති බ්‍රාහ්මණ ගෙදරක උපන්නේ ය. සිරිවඩ්ඪ නාමයෙන් ප්රකටව වැඩිවියට පත්වූ ඔහු, බිම්බිසාර රජු හමුවේදී (බුදු වූ අලුතම) ශාස්තෲන් වහන්සේ දෙසූ සද්ධර්මයෙහි උපන් ප්‍රසාදය නිසාත් සංසාරික පුරුදුතාවය නිසාත් පැවිදි විය. පැවිදිව කරන ලද පූර්ව කටයුතු ඇති සිරිවඩ්ඪන තෙරණුවෝ, වේහාර පාණ්ඩව පර්වත දෙකට නුදුරු තැනක වූ අරණ්යායතන පර්වත ගුහාවක කමටහන් වැඩීමෙහි ම යෙදී වාසය කළහ. එම වේලාවෙහි මහත් වූ අකල් මේඝයක් (මහවරුසාවක්) පහළ විය. විදුලිය පර්වත විවරයට වැටෙමින් හෙන මෙන් හැසිරෙයි. (පුපුරයි). තෙරුන් වහන්සේගේ ග්‍රීෂ්මයෙන් තැවුණු ශරීරය තෙත් වූ වැසි සුළඟින් ස්පර්ශ කරන ලද්දේ ග්‍රීෂ්ම තාපනයෙන් සංසිඳුණි. යෝග්‍ය වූ සෘතු ලැබීම නිසා සිත එකඟ කරගත හැකි විය. තෙරණුවෝ එකඟ වූ සිතින් විදසුන් වඩා රහත් බවට පත්වූ සේක. උන්වහන්සේ මෙසේ අපදාන පාළියේදී සිය චරිත විස්තරය දැක්වූ සේක.
“රන්තොරණක් මෙන් බබළන සර්වඥ වූ ලෝකනායක බුදුරජාණන් වහන්සේගේ, සිසිල් දිය ඇති විලකට බැස ජලස්නානය කළසේක.
මම කිංකිණි මල් රැසක් ගෙන ඔදවැඩී ගිය සිතැතිය, සතුටින් ද්විපදෝත්තම (දෙඇත්තන් අතරින් උතුම් වූ) තාදී ගුණ ඇති විපස්සි බුදුරජාණන් වහන්සේට පිදුවෙමි.”
“මෙයින් කල්ප අනූ එකකට පෙර යම් පුෂ්ප පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක් නුදුටුවෙමි. බුද්ධ පූජාවෙහි විපාකය එබඳුය.
ඒ මම මෙයින් කල්ප විසි හතකට පෙර සත්රුවනින් හෙබි මහත් බලැති භීමරථ නම් සක්විති රජ වූයෙමි.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත්බවට පත්වූ උන්වහන්සේ සිය නික්ලේශී භාවය ප්‍රකාශ කරන සේක්; තමන් වහන්සේට වූ ලාභයම අර්ථෝත්පත්ති කරගෙන ප්‍රීතිය පහළ කරමින් “විවරමනපතන්ති විජ්ජුතා” යන ගාථාව වදාළ සේක.
එහි “විවරං” යනු විවරයෙහි. අතර මැද “අනුපතන්ති” යනු කියූ ලක්ෂණයෙහි වැටෙති. පතතිති. බැබලෙති යන අර්ථයයි. බැබලීමට විදුලියෙහි පැවතීම වේ. “අනු” යන්න මෙහිදී දුතියා විභක්තියෙහි යෙදී ඇත. “ගසක් පාසා බබලයි” “රුක්ඛමනු විජ්ජොතන්ති” යන්න මෙනි. “විජ්ජුතා” යනු වාතයෙන් කම්පිත වූ (විදුලිය). “වෙභාරස්සච පණ්ඩවස්සච” යනු “වේභාර පර්වතයට ද පණ්ඩව පර්වතයට ද යන අතරෙහි වූ විවරයෙහි වැටෙයි” යන අර්ථයයි. “නගවිවරගතො” යනු පර්වත (නග) විවරයට, පර්වත ගුහාවට පැමිණි (එහි වැඩ සිටි) “ඣායති” යනු ආරම්මණයන් හෝ ලක්ෂණයන් පිළිබඳව නැවත නැවත සිතමින් දැහැන් (ධ්‍යාන) වඩයි. සමථ හා විදර්ශනා භාවනාවන් පෙරටුකරගෙන වඩයි. ධ්‍යාන කරයි. “පුත්තො අප්පටිමස්ස තාදිනො” යනු ශීලස්කන්ධ ආදී ධර්මකාය සම්පත්තියෙන් ද රූප කාය සම්පත්තියෙන් ද අනුපම වූ, උපමාරහිත වූ, ඉෂ්ටානිෂ්ටාදී කාරණයන් හි තාදී ලක්ෂණය සහිත, අකම්පිත බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍රයා; මෙහි යෙදුණු “පුත්ත” යන වචනයෙන් ම තෙරුන්වහන්සේ; තමා රහත්බවට පත්වීම් වශයෙන් ශාස්තෲන් වහන්සේගේ අනුජාත පුතෙකු බව ප්‍රකාශ කළ සේක.
සිරිවඩ්ඪ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
ඛදිරවනියරේවත ස්ථවිරගාථා වර්ණනාව
“චාලෙ උපචාලෙ” යනු ආයුෂ්මත් ඛදිරවනිය රේවත තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි හංසවතී නුවර තීර්ත නාවික පවුලක ඉපිද මහා ගංගාවෙහි මහතොටක සිට නාවික කාර්යයෙහි නිරත වූහ. එක් දිනක් ශ්‍රාවක සංඝයා සහිත භාග්‍යවතුන් වහන්සේ ගඟ තෙරට පැමිණි බව දුටු ඔහු; පැහැදුණු සිතින් නැව් සමූහයක් යොදවා මහත් වූ පූජා සත්කාර කරමින් උන්වහන්සේලා ගඟින් එතෙර කරවීය. පසුව ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක් ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා අතරින් අගතනතුරට පත් කරනු දැක, එම තනතුරම ප්‍රාර්ථනා කරගෙන භාග්‍යවතුන් වහන්සේට ද භික්ෂු මහා සංඝරත්නයට ද මහදන් පැවැත්වීය. භාග්‍යවතුන් වහන්සේ ද ඔහුගේ එම ප්‍රාර්ථනාව ඉටුවන බව පැවසූ සේක. ඔහු එතැන් පටන් ඒ ඒ උපනුපන් භවයන්හිදී සසරින් මිදීම සඳහා කුසල් දහම් රැස්කරමින් දෙව්මිනිස් දෙගතියෙහි සැරිසරා, අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි මගධ රට නාළක නම් ගමේ රූපසාරී බැමිණියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. වැඩිවියට පත්වූ මේ බමුණු තරුණයාට විවාහයක් කරදෙනු කැමති දෙමාපියෝ ඔහුට ඒ බව දැනුම් දුන්හ. ඔහු සැරියුත් තෙරුන්ගේ පැවිදිවීම අසා, “මගේ වැඩිමහල් සොයුරු වූ උපතිස්ස මේ සියලු සම්පත් හැර දමා පැවිදි විය. ඔහු විසින් වැමෑරූ කෙළ පිඬ මම කෙසේ නම් දැන් ගිලින්නෙම්ද” යි විමසමින් උපන් සංවේග ඇතිව, උගුලට හසුනොවී දිවයන මුවෙකු මෙන් ඥාතීන් රවටා පූර්ව වාසනා මහිමයෙන් මෙහෙයවනු ලබන්නේ භික්ෂූන් සමීපයට ගියේය. ගොස් තමා ධර්මසේනාපතීන් වහන්සේගේ බාල සොහොයුරා බව දැනුම් දී පැවිදිවීමට ඇති කැමැත්ත ද පැවසීය. භික්ෂූහු ඔහු පැවිදි කළහ. පිරිපුන් විසිවයස් ඇති රේවත හිමියන් උපසම්පදා කොට, කමටහන් වැඩීමෙහි නියුක්ත කළහ. උන්වහන්සේ කමටහන් රැගෙන කිහිරි වනයට (ඛදිරවනං) ගොස්; “රහත්බවට පත්වීමෙන් පසුව භාග්‍යවතුන් වහන්සේ ද ධර්මසේනාපතීන් වහන්සේ ද දකින්නෙමි.”යි උත්සාහ කරනුයේ, වෑයම් කරනුයේ; ඤාණය මුහුකුරා ගොස් නොබෝ කලකින්ම ෂඩ් අභිඥා උපදවා ගෙන අර්හත්වය සාක්ෂාත් කරගත්හ. එසේ කටයුතු නිමකළ උන්වහන්සේ තම චරිතය මෙසේ දැක්වූහ.
“හිමවතින් හටගෙන ගලාඑන භගීරථී නම් ගඟක් විය. මම ඒ ගඟෙහි සැඩ රළ වේගයෙන් යුතු විෂම තීර්ථයක රැකියාව කරන නැවියෙක් වූයෙමි.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා දහසක් සමග ගඟෙහි සැඩ පහර තරණය කිරීමට වැඩම වූ පුවත මම ඇසුවෙමි.
බොහෝ නැව් එක්කර තැනූ මහා නැවෙහි, වඩුවන් ලවා මනාව සෙවිලි කරවා බුදුරජාණන් වහන්සේට පූජා කළෙමි.
බුදුපියාණෝ එම උතුම් නැවට නැගිසේක්; ගඟ මැද දී මෙලෙසින් වදාළ සේක.”
“යමෙක් මෙසේ රහතන් වහන්සේලා සහිත බුදුරජාණන් වහන්සේ ගඟින් එතෙර කරවයිද, ඔහු එම සිත් පැහැදීම නිසා දෙව්ලොව උපදින්නේය.