සඤ්ජය ස්ථවිරගාථා වර්ණනාව
“යතො අහං” යනු ආයුෂ්මත් සඤ්ජය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී සසරින් මිදීම සඳහා පින් රැස්කරගෙන විපස්සි භාග්යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි මනුෂ්යයෙක් ව උපන්හ. මහත් පිරිසක් ඇතිව සිටි ඔහු, තම කීර්තියෙන් වස්තුව රැස්කර, තෙරුවන් උදෙසා පින් කරනුයේ තමා දිළිඳු වී ජන සමූහයාට සංග්රහ කරමින් පින් කිරීමෙහි ම නිරත විය. කලින් කලට භාග්යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ පැහැදුණු සිතින් උන්වහන්සේට ද භික්ෂූන් වහන්සේලාට ද ඒ ඒ වතාවත් ආදිය ද කළේය. ඔහු ඒ පින්කමේ බලයෙන් දෙව්ලොව උපන්නේ ය. පසුව තව තවත් පින්දහම් රැස්කරගෙන සුගතියෙහි ම සැරිසරා, අප තථාගතයන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි රජගහ නුවර මහත් සම්පත් ඇති බමුණකුගේ පුතු ව ඉපිද “සඤ්ජය” නමින් ප්රකට විය. වැඩිවියට පත් වූ ඔහු බ්රහ්මායු, පොක්ඛරසාති ආදී ඉතා ප්රසිද්ධ බමුණු පඬිවරු පවා බුදුසසුනෙහි අතිශයින් පැහැදෙනු දැක, හටගත් ප්රසාදයෙන් ශාස්තෲන් වහන්සේ වෙත එළඹුණේය. ශාස්තෲන් වහන්සේ ඔහුට දහම් දෙසූ සේක. ධර්මශ්රවණය කළ ඔහු සෝවාන් ඵලයෙහි පිහිටා පසුකලෙක පැවිදි විය. පැවිදි වන විට හිසකෙස් බාද්දීම ෂඩ් අභිඥාලාභී විය. සඤ්ජය තෙරණුවෝ සිය චරිතාපදානය මෙසේ දක්වා ඇත -
“විපස්සි බුදුරජාණන් වහන්සේට භක්තිමත් මහාප්රාඥ සමූහයක් විය. එකල්හි මම සියලු කටයුතුවල යෙදුණු වතාවත් කරන්නෙක් වීමි.
මහර්ෂී වූ බුදුරදුන්ට පිදීමට දෙයක් මා වෙත නොතිබුණි. පිරිසිදු සිතින් මම බුදුසිරිපා වැන්දෙමි.
මෙයින් කල්ප අනූ එකකට පෙර බුදුරදුන්ට වතාවත් කළෙම් ද එතැන් සිට දුගතියක නූපන්නෙමි. වතාවත් කිරීමේ ප්රතිඵලය මෙබඳුය.
මෙයින් කල්ප අටකට පෙර සත්රුවනින් හෙබි මහ බල ඇති සුචින්තික නම් සක් විති රජව උපන්නෙමි.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
උන්වහන්සේ ෂඩ් අභිඥා උපදවා ගෙන තම ක්ෂීණාශ්රව භාවය ප්රකාශ කරනසේක. “යතො අහං පබ්බජිතො” යන ගාථාව දේශනා කළහ.
එහි “යතො අහං පබ්බජිතො” යනු මේ තැනක සිට, යම් තැනක පටන් මම පැවිදි වූ යෙම් ද, ඒ පැවිදි වූ දින සිට “නාභිජානාමි සඞ්කප්පං අනරියං දොසසංහිතං” යනු රාගාදී දෝෂයන්ගෙන් යුක්ත වූවක්, එසේ ම අනාර්ය - නිහීන වූ දෙයක්, ආර්යාදී උතුමන් විසින් නොකරන බැවින් ද අනාර්යයන් විසින් ම සිදුකරන බැවින් ද අනාර්ය වූ පාපී වූ අරමුණෙහි අසත්ය ගුණ සංකල්ප සිහිකිරීමක් වශයෙන් “සංකල්ප” නම් වූ කාම විතර්ක මිථ්යා විතර්ක ආදියක් සිතීමක් නොකළෙමි. කෙස් බාද්දීම මම රහත්බවට පත්වූයෙමි” යන අර්ථයයි. මෙසේ සිය රහත්භාවය ප්රකට කළසේක.
සඤ්ජය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
රාමණෙය්ය ස්ථවිරගාථා වර්ණනාව
“විහවිහාභිනදිතෙ” යනු ආයුෂ්මත් රාමණෙය්ය තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? රාමණෙය්ය තෙරණුවෝ ද පෙර බුදුවරු හමුවෙහි දී කළ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයන් හි දී නොයෙකුත් පින්දහම් රැස්කරගත්හ. සිඛි නම් භාග්යවතුන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සිටුගෙයක ඉපිද, වැඩිවියට පැමිණ භාග්යවතුන් වහන්සේ දැක සිත පහදවා ගත් හෙතෙම සුවඳ මලින් බුදුන් පිදුවේය. ඒ පින්කමින් ඔහු දිව්යාත්මභාවයක් ලැබීය. සසර සැරිසරමින් තව තවත් පින්දහම් සිදුකරගත් ඔහු කාම සුගතීන් හිම සැප විඳ, අප තථාගතයන් වහන්සේගේ කාලයෙහි සමෘද්ධිමත් පවුලක ඉපදුණේය. වැඩිවියට පත්ව ජේතවනාරාමය පූජාකරන අවස්ථාව දැක හටගත් ශ්රද්ධාවෙන් පැවිදිවිය. චරිතානුකූල කමටහන් ගත් උන්වහන්සේ අරණ්යයෙහිම විසූහ. එසේ අරණෙහිම වසන උන්වහන්සේ තම ශරීර සම්පත්තිය නිසා ද පැවිද්දට යෝග්ය සේ පිළිවෙත් සපුරන බැවින් ද ප්රසාද එළවන බැවින් ද “රාමණෙය්ය” නමින් ප්රකට වූහ. එක් දිනක් මාරයා එම තෙරණුවන්ට හිංසා කරනු කැමතිව මහත් බිය ජනක ශබ්දයක් කළේය. එය ඇසු තෙරුන් වහන්සේ ප්රකෘතියෙන් ම ස්ථිර අදහස් ඇති බැවින්, ඊට තැතිගැනීම් නැති වූසේක්, “මේ මාරයා” යැයි දැන, මෙකරුණෙහි සිය අප්රසාදය පළකරමින් “විහවිහාභිනදිතෙ” යන ගාථාව දෙසූ සේක.
එහි “විහවිහාභිනදිතෙ” යන්නෙහි “විහවිහා” යනු නිතර ශබ්ද පවත්වන බැවින් විහවිහ යනු නම ලද “වටුවන්ගේ නාදය නිමිති කරගෙන, මහත් වූ ඝෝෂාව හේතුවෙන්” යන අර්ථය යි. “සිප්පකාභිරුතෙ හි ච” යන්නෙහි “සිප්පිකා” යනු දේවප්රකාර නැමති ගිලන් බවින් පෙළෙන බඩගිනි වූ දරුවන් සහිතව හඬන සාමුවෝය. හුනහපුළුවෝය. ඇතැම් හු දඬුලෙහෙනුන් මෙහිදී අදහස් වන බව කියයි. එම හුනහපුළුවන්ගේ ඉතා බියජනක නාදයෙන්. මෙහි හේතු අර්ථයේ තතියාව යෙදී ඇත. “ඒ හේතුවෙන් ඒ ශබ්ද නිසා” යන අර්ථයයි. “න මෙ තං ඵන්දති චිත්තං” යනු මගේ සිත නොසැලේ, නොසෙලවේ. මෙහි අදහස මෙසේ දතයුතුයි. – “මේ අරණ්යයෙහි වටුවන්ගේ හා හුණහපුළුවන්ගේ මහා නාද වශයෙන්, පාපී මාරය! නුඹගේ මේ විප්රකාර හේතුවෙන් මගේ සිත කමටහනින් පහ නොවේ, නොවැවේ. ඊට හේතු මෙසේ දක්වයි. “එකත්ත නිරතං හි මෙ” යන්නෙහි “හි” ශබ්දය හේතු අර්ථයේ යෙදේ. යම්හෙයකින් මගේ සිත සමූහවාසය හැරදමා හුදකලාව තනිව සිටීමට කැමති ද නැතහොත් බාහිර අරමුණු කරා නොයමින් එක අරමුණක, එකඟභාවයෙහි පවතින්නේ ද නැතිනම් නිවනෙහිම දැඩිව ඇලී සිටින්නේ ද එනිසා මාගේ සිත කමටහනින් පහ නොවේ, නො සෙලවේ, මේ ගාථාව ප්රකාශ කරමින් ම රාමණෙය්යක තෙරණුවෝ, විදසුන් වඩා රහත් බවට පත්වූහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දක්වා ඇත -