උජ්ජය ස්ථවිරගාථා වර්ණනාව
“නමො තෙ බුද්ධවීරත්ථු” යනු ආයුෂ්මත් උජ්ජය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ සිදුවී ද? උන්වහන්සේ ද පෙර බුදුවරු ඉදිරියේ දී කළ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී පින්දහම් රැස් කරගත්හ. මෙයින් කල්ප අනූදෙකකට පෙර පහළ වූ තිස්ස භාග්යවතුන් වහන්සේ දැක පැහැදුණු ඔහු කිණිහිරි මල් වලින් උන්වහන්සේට පූජාකළේය. ඒ පින්කමේ මහිමයෙන් දෙව්ලොව ඉපිද සැපවිද, හෙතෙම ඒ ඒ භවයන් හි දී තවත් පින්දහම් සිදුකර දෙව් මිනිස්සු දෙගතියෙහි ම සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහනුවර එක්තරා සොත්ථිය බ්රාහ්මණයකුගේ පුතු ලෙස උපන්නේය. ඔහු උජ්ජය නමින් ප්රකට විය. වැඩිවියට පැමිණ ත්රිවේද පාරගත වූ උජ්ජය, එහි සාරයක් හෙවත් හරයක් නොදැක උපනිශ්රය සම්පත්තියෙන් මෙහෙයවනු ලබන්නේ වේළුවනාරාමයට ගොස් ශාස්තෲන් වහන්සේගෙන් ධර්මය ශ්රවණය කළේය. එය අසා ලැබූ ශ්රද්ධා ඇතිව පැවිදි වූ උජ්ජය, සිය චරිතයට යෝග්ය කමටහන් රැගෙන අරණ්යයට පිවිස එහි වාසය කරමින් විදසුන් වඩා නොබෝ කලකින් ම රහත්ඵලයෙහි පිහිටියේ ය. උජ්ජය තෙරණුවෝ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ -
“තාදී ගුණ ඇති සතර ඕඝයන් තරණය කළ තිස්ස බුදුරජාණන් වහන්සේ දැක පැහැදුණු සිත් ඇති මම, කිණිහිරි මලක් පිපී තිබෙනු දැක එය නෙලා පූජා කළෙමි.
මෙයින් කල්ප අනූ දෙකකට පෙර යම් මල් පූජාවක් කළෙම් ද එතැන් සිට මම දුගතියක නූපන්නෙමි. මේ බුද්ධ පූජාවේ විපාකයයි.
මෙයින් කල්ප තිස් පහකට පෙර අරුණබල නමින් ප්රකට වූ සත් රුවනින් හෙබි මහ බලවන්ත සක්විති රජෙකු වූයෙමි.
දැන් මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත්බවට පැමිණි උජ්ජය තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ සමීපයට පැමිණ, උන්වහන්සේට වැඳ එකත් පස්ව සිටියහ. පසුව භාග්යවතුන් වහන්සේට ස්තුති කරමින් තමන් වහන්සේගේ ක්ෂීණාශ්රව භාවය ප්රකාශ කරමින් “නමො තෙ බුද්ධ වීරත්ථු” යන ගාථාව වදාළහ.
එහි “නමො” යනු ප්රණාමය දැක්වීමයි. “තෙ” යනු ප්රණාමය, නමස්කාරය ලබන්නා දක්වයි. නුඹ වහන්සේට යන අර්ථයයි. “බුද්ධවීර” යනුවෙන් භාග්යවතුන් වහන්සේට ආමන්ත්රණයකරයි. භාග්යවතුන් වහන්සේ අභිඤ්ඤෙය්යාදී භේද ඇති චතුරාර්ය සත්ය විෂයෙහි විශිෂ්ට සේ දැනීම් වශයෙන් තමන් වහන්සේ ම ලොව දත යුතු සියල්ල ඉතිරි නොකර අවබෝධ කරගත් බැවින් ‘බුද්ධ’ නම් වෙති. එසේ ම පස් මරුන් පරදා ජයගැනීම් වශයෙන් මහත් වූ වීර්යයෙන් යුක්ත වූ බැවින් “වීරො” (වීරයා) යනුවෙන් ද උන්වහන්සේට භාවිතා කෙරේ. “අත්ථු” යනු වේවා. ඔබවහන්සේට නමස්කාර වේවා! යනුවෙන් සම්බන්ධ කරගත යුතුයි. “විප්පමුත්තො සි සබ්බධී” යනු සියලුම කෙලෙස්වලින් ද සියලු සංස්කාරයන්ගෙන් ද මිදුණු බැවින්, වෙන් වූ බැවින්, නුඹ වහන්සේට කිසිදු නොමිදුණු කෙලෙස් ධර්මයක් නම් නැත. යම්හෙයකින් මම “තුය්හාපදානෙ විහරං විහරාමි අනාසවො” යනුවෙන් ඔබ වහන්සේගේ ප්රතිපත්ති චර්යාවෙහි, අවවාදයෙහි, ගිය මාර්ගයෙහි පිළිවෙත් පිරීමෙන් වාසය කරමි. මම ශක්ති පමණින්, බල පමණින් පිළිපදිනුයෙම් කාමාශ්රවාදී සතර වැදෑරුම් ආශ්රවයන් මනාව ප්රහීණ කර අනාශ්රවයෙක් ව වාසය කරමි. එබඳු වූ බුද්ධවීරයාණනි! නුඹ වහන්සේට නමස්කාර වේවා!
උජ්ජය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
සඤ්ජය ස්ථවිරගාථා වර්ණනාව
“යතො අහං” යනු ආයුෂ්මත් සඤ්ජය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී සසරින් මිදීම සඳහා පින් රැස්කරගෙන විපස්සි භාග්යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි මනුෂ්යයෙක් ව උපන්හ. මහත් පිරිසක් ඇතිව සිටි ඔහු, තම කීර්තියෙන් වස්තුව රැස්කර, තෙරුවන් උදෙසා පින් කරනුයේ තමා දිළිඳු වී ජන සමූහයාට සංග්රහ කරමින් පින් කිරීමෙහි ම නිරත විය. කලින් කලට භාග්යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ පැහැදුණු සිතින් උන්වහන්සේට ද භික්ෂූන් වහන්සේලාට ද ඒ ඒ වතාවත් ආදිය ද කළේය. ඔහු ඒ පින්කමේ බලයෙන් දෙව්ලොව උපන්නේ ය. පසුව තව තවත් පින්දහම් රැස්කරගෙන සුගතියෙහි ම සැරිසරා, අප තථාගතයන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි රජගහ නුවර මහත් සම්පත් ඇති බමුණකුගේ පුතු ව ඉපිද “සඤ්ජය” නමින් ප්රකට විය. වැඩිවියට පත් වූ ඔහු බ්රහ්මායු, පොක්ඛරසාති ආදී ඉතා ප්රසිද්ධ බමුණු පඬිවරු පවා බුදුසසුනෙහි අතිශයින් පැහැදෙනු දැක, හටගත් ප්රසාදයෙන් ශාස්තෲන් වහන්සේ වෙත එළඹුණේය. ශාස්තෲන් වහන්සේ ඔහුට දහම් දෙසූ සේක. ධර්මශ්රවණය කළ ඔහු සෝවාන් ඵලයෙහි පිහිටා පසුකලෙක පැවිදි විය. පැවිදි වන විට හිසකෙස් බාද්දීම ෂඩ් අභිඥාලාභී විය. සඤ්ජය තෙරණුවෝ සිය චරිතාපදානය මෙසේ දක්වා ඇත -