සමිද්ධි ස්ථවිරගාථා වර්ණනාව
“සද්ධායාහං පබ්බජිතො” යනු ආයුෂ්මත් සමිද්ධි තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසෙ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී නොයෙකුත් පින්දහම් රැස් කරගත්හ. මෙයින් කල්ප අනූ හතරකට පෙර පහළ වූ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිත් ඇතිව මුදුන් සිටින සේ බැදි නැටි සහිත මල් මිටි පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් ලොව ඉපිද තව තවත් පින්දහම් සිදුකර, කාම සුගතීන්හිම ඉපිදෙමින් සිට අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි දී රජගහනුවර සිටු ගෙයක උපන්නේය. ඔහු උපන් දිනයේ පටන් ඒ ගෙදර ධන ධාන්‍ය වර්ධනය විය. ඔහුගේ ශරීරය ද ඉතා සිත්කලු දර්ශනීය වූවක් විය. ගුණවත් කම ද එසේම විය. මෙසේ සම්පත් සමෘද්ධියෙන් ද ගුණ සමෘද්ධියෙන් යුතු වූ බැවින් “සමිද්ධි” නමින් ඔහු ප්‍රකට විය. ඒ කුමරු බිම්බිසාර රජ සමාගමයේ දී බුදුරදුන්ගේ අනුභාවය දැක, ලැබූ ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදිවිය. භාවනාවෙහි ම නියැලී මහණදම් පිරීමෙහි උත්සාහවත් වූ උන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ තපොදාරාමයේ වැඩ වසන කල්හි එක් දිනක් මෙසේ සිතූහ. “ඒකාන්තයෙන් ම මට ශාස්තෲ වූ අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකීමට ලැබීම උතුම් වූ ලාභයකි. මම ස්වාක්ඛාත වූ (මැනවින් දෙසූ) ධර්‍ම විනයෙහි පැවිදි භාවය ද ලැබුවෙහි. මාගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ද සීලවන්තයෝය, කලණ මිතුරෝය” යනුවෙන් සිතත් ම උන්වහන්සේට මහත් වූ ප්‍රීතියක් ඇතිවිය. මෙසේ සතුටුවීම නො ඉවසන්නා වූ පාපී මාරයා තෙරුන් සමීපයෙහි සිට මහත් වූ බිය ජනක ශබ්දයක් කළේය. පොළව පැළෙන්නාක් මෙන් විය. තෙරණුවෝ මේ බව භාග්‍යවතුන් වහන්සේට දැනුම් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ, “මාරයා නුඹගේ ඇස් අන්‍ධකිරීමට සිතයි. යව මහණ!, ඒ පිළිබඳව නොසිතා එහිම වාසය කරන්න” යි වදාළ සේක. තෙරණුවෝ එහි ගොස් අප්‍රමාදීව වාසය කරනුයේ නොබෝ කලකින් ම විදසුන් වඩා රහත්ඵලයෙහි පිහිටියහ. උන්වහන්සේ විසින් සිය චරිතාපදානය මෙසේ දක්වන ලදි.
“කිණිහිරි රුකක් මෙන් බබලමින් පර්වතයන් අතරෙහි වැඩසිටි, සියලු දිශා ආලෝක කරන්නා වූ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
එකල් හි මම මනාව දුනු හී යොදා නටුව සහිත මලක් කඩාගෙන, ඉන් බුදුරදුන් පිදුවෙමි.
මෙයින් කල්ප අනූ හතරකට කලින් යම් පුෂ්ප පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් මම දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවේ විපාකය මෙබඳුය.
මීට කල්ප පනස් එකකට පෙර සත් රුවනින් හෙබි ඉතා බලවත් සක්විති රජෙකුව ජුතින්‍ධර නමින් වැජඹුනෙමි.
දැන් මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත්බවට පත් ව එම ස්ථානයෙහි ම වැඩ වසන තෙරුන් වහන්සේගේ ක්‍ෂීණාශ්‍රව බව නොමදත් මාරයා නැවතත් පැමිණ පෙර මෙන් ම බියජනක ශබ්දයක් කළේය. එය ඇසූ තෙරුන් වහන්සේ බිය නොවූසේක්. තැතිගැනීම් නැතිසේක්, “නුඹ වැනි මාරයන් සීයක්, දාහක් පැමිණියත් මාගේ එක ලෝමයක් වත් කම්පා නොවේ” යැයි සිය රහත්බව ප්‍රකාශකරන සේක්, “සද්ධායාහං පබ්බජිතො” යන ගාථාව වදාළහ.
එහි “සද්ධාය” යනු දහම් ඇසීමේ කැමැත්තෙන් හටගත් කර්මඵල ඇදහීම පිළිබඳ ශ්‍රද්ධාවෙන් මෙන්ම රත්නත්‍රය පිළිබඳ ව වූ ශ්‍රද්ධාවෙන් ද යුක්තව “අහං” යනුවෙන් තමා දක්වයි. අදහස් කරයි. “පබ්බජිතො” යනු පැවිදි වූයෙමි. “අගාරස්මා” යනු ගෙයින් නික්ම, ගෘහවාසයෙන් වෙන් ව, “අනගාරියං” යනු පැවිද්දයි. කෘෂිකර්ම - වෙළඳාම් ආදී කටයුතු ගිහිගේ වූවහුට යෝග්‍ය බැවින් “අගාරිය” නම් වේ. එම කටයුතු නොමැති බැවින් පැවිද්ද “අනගාරිය” නම් වේ. “සති පඤ්ඤාච මෙ වුද්ධා” යනු පිහිට වීම ලක්‍ෂණ කර ඇති සිහියයි. දැනගැනීම ලක්‍ෂණ කර ඇති ප්‍රඥාවයි. මේ ධර්‍ම දෙක විදසුන් ලක්‍ෂණ මෙනෙහි කිරීමේ සිට මාර්ග ප්‍රත්තියෙහි පිහිටි මවිසින් රහත්වීම දක්වා වඩන ලදි. වර්ධනය කරන ලදි. දැන් එහි වැඩිය යුත්තක් නැත. මෙයින් සතියේ හා ප්‍රඥාවේ විපුලත්‍වය, ඉතා මහත් බව දක්වයි. “චිත්තඤ්ච සුසමාහිතං” යනු අෂ්ට සමාපත්ති උපදවා ගැනීම් වශයෙන් ද නව ලෝකෝත්තර ධර්‍ම වශයෙන් ද මගේ සිත වහා සමාධිගත වේ. දැන් එහි සන්සිඳවීමක් නොමැත. සමාධියේ විපුලබව මෙහිදී දක්වා ඇත. එනිසා “කාමං කරස්සු රූපානී” යනුවෙන් පවිටු මාරය! මා සඳහා යම් කිසි විප්‍රකාර රූපාදියක් මවන්නේ නම් එය කැමති සේ සිදුකරන්න. එම රූප හා ශබ්ද මා හට කිසිදු පීඩාවක් නො කරන්නේය. මගේ සිරුර සෙලවීමක්වත් කළ නොහැකි වන්නේ ය. සිත අන් අතකට පෙරලීමක් කෙසේ සිදුවේ ද? එනිසා නුඹගේ ක්‍රියාවන් බාරනොගත් තුටු පඬුරක් මෙන් කිසිදු අර්ථයක් ඉටුනොකරයි. හුදෙක් නුඹගේ සිත වෙහෙසීම පමණක් සිදුවේ. යනුවෙන් පවසා තෙරුන් වහන්සේ මාරයාට තර්ජන කළහ. එය ඇසූ මාරයා, “ශ්‍රමණයා මා පිළිබඳව දැනගත්තේ යැ” යි එහිම අතුරුදහන් විය.
සමිද්ධි ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
උජ්ජය ස්ථවිරගාථා වර්ණනාව
“නමො තෙ බුද්ධවීරත්‍ථු” යනු ආයුෂ්මත් උජ්ජය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ සිදුවී ද? උන්වහන්සේ ද පෙර බුදුවරු ඉදිරියේ දී කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී පින්දහම් රැස් කරගත්හ. මෙයින් කල්ප අනූදෙකකට පෙර පහළ වූ තිස්ස භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු ඔහු කිණිහිරි මල් වලින් උන්වහන්සේට පූජාකළේය. ඒ පින්කමේ මහිමයෙන් දෙව්ලොව ඉපිද සැපවිද, හෙතෙම ඒ ඒ භවයන් හි දී තවත් පින්දහම් සිදුකර දෙව් මිනිස්සු දෙගතියෙහි ම සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහනුවර එක්තරා සොත්‍ථිය බ්‍රාහ්මණයකුගේ පුතු ලෙස උපන්නේය. ඔහු උජ්ජය නමින් ප්‍රකට විය. වැඩිවියට පැමිණ ත්‍රිවේද පාරගත වූ උජ්ජය, එහි සාරයක් හෙවත් හරයක් නොදැක උපනිශ්‍රය සම්පත්තියෙන් මෙහෙයවනු ලබන්නේ වේළුවනාරාමයට ගොස් ශාස්තෲන් වහන්සේගෙන් ධර්‍මය ශ්‍රවණය කළේය. එය අසා ලැබූ ශ්‍රද්ධා ඇතිව පැවිදි වූ උජ්ජය, සිය චරිතයට යෝග්‍ය කමටහන් රැගෙන අරණ්‍යයට පිවිස එහි වාසය කරමින් විදසුන් වඩා නොබෝ කලකින් ම රහත්ඵලයෙහි පිහිටියේ ය. උජ්ජය තෙරණුවෝ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ -