රමණීයවිහාරී ස්ථවිරගාථා වර්ණනාව
“යථාපි භද්දෙ ආජඤ්ඤෙ” යනු ආයුෂ්මත් රමණීය විහාරි තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන් හි ඉපිද බොහෝ පින් රැස්කරගත්හ. මෙයින් කල්ප අනූ එකකට පෙර විපස්සි භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතින් පසඟ පිහිටුවා වැඳි, හෙතෙම කෝරණ්ඩ මලින් පූජා කළේය. ඒ පින්කමෙන් දෙව්ලොව උපන් ඔහු තව තවත් භවයන් හි දී පින්දහම් රැස්කර කාම සුගති ලෝකයන්හිම සැරිසරා; මේ බුද්ධෝත්පාද කාලයේ රජගහනුවර එක්තරා සිටු පුතෙක් ව ඉපදුණේය. ඔහු යෞවන මදයෙන් කාමයන් හි මුළාවට පැමිණ එහි ගැලී වාසය කරයි. ඔහු එක්දිනක් එක්තරා පර අඹුවක් කරා යන්නෙකු රාජ පුරුෂයන් විසින් අල්ලා විවිධාකාර දඬුවම් දෙනු දැක; සංවේග උපදවා ශාස්තෲන් වහන්සේ කරා අවුත් ධර්‍මශ්‍රවණය කොට සසුනේ පැවිදි වූයේය. පැවිදි වුවත් ඔහු ස්වභාවයෙන්ම රාග චරිතයකු බැවින් පිරිවෙණ මැනවින් අතුපතුගෑමෙහි ද පානය කරන හා පරිහරණය කරන පැන් මැනවින් ගෙනැවිත් තැබීමෙහි ද ඇඳපුටු මැනවින් පැනවීමෙහි ද නියැලී වාසය කරයි. මෙනිසා උන්වහන්සේ, “රමණීය විහාරී” නාමයෙන් ප්‍රකට වූහ.
උන්වහන්සේ දිනක් රාගය උත්සන්න වී නුවණින් මෙනෙහි නොකිරීම නිසා දැන දැන ශුක්‍ර මෝචනය කිරීමේ ඇවතට පත්ව “මා හට නින්දාවේවා! මෙසේ දායක කාරකාදීහූ ශ්‍රද්ධාවෙන් දුන් දෙය වළඳා මෙසේ කළ මා හට නින්දා වේවා” යි විපිළිසර වූසේක්; “ගිහිබවට පත්වන්නෙමි”යි සිතා ගෙන විහාරයෙන් පිටව ගොස් අතරමඟ එක් ගසක් මුල හුන්හ. ඒ මාර්ගයෙන් යන කරත්ත පේලියක යෙදූ එක් ගොනෙකු වෙහෙසට පත්ව, විෂම තැනකදී පය පැකිලී වැටුණේය. ඒ ගැල් කරුවෝ එම ගොනා දැලෙන් මුදවා තණ දිය ආදිය දී වෙහෙස දුරු වූ පසු නැවතත් ගැලෙහි යොදා පිටත්ව ගියහ. මෙය දුටු තෙරුන් වහන්සේ, “මේ ගොනා වරක් පැකිලී වැටී නැවත නැගිට සිය ගැල ඇදගෙන ගියේය. එලෙසින්ම මම ද වරක් කෙලෙස් වසඟ වීම නිසා පැවිදි භාවයෙන් වැටුනෙමි. නැවත ඉන් නැගිට මහණදම් පිරීම කළ යුතුයැ”යි නුවණින් මෙනෙහි කර, නැවත හැරී විහාරස්ථානයට අවුත් උපාලි මහරහතන් වහන්සේට තමාගේ වැරැද්ද පැවසූහ. උපාලි මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි නැවත ආපත්තියෙන් නැගී සිට, පිරිසිදු වූ ශීලයෙහි පිහිටි රමණීය විහාරී තෙරණුවෝ විදර්ශනාව වඩා නොබෝ කලකින් ම සියළු කෙලෙස් නසා අර්හත් ඵලයෙහි පිහිටියහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ -
“සක් ලකුණින් බබළන, තැබූ ශ්‍රී පාද සටහන් දුටු මම ඒ විපස්සි බුදුරජාණන් වහන්සේගේ පිය සටහන් අනුව ගියෙමි.
පිපුණු කොරණ්ඩ ගසක් දුටු මම මුල සිට මැනවින් පිපුණාවූ එම ගසේ මල් රාශිය සතුටු සිතින් බුදුරදුන්ට පූජා කොට උතුම් වූ පා වැන්දෙමි.
මීට කල්ප අනූ එකකට පෙර යම් වාෂ්ප පූජාවක් මවිසින් කරන ලද්දෙම් ද එතැන් සිට මම දුගතියක නූපන්නෙමි. පියවර සටහන් පිදීමෙහි විපාකය මෙබඳුය.
ඒ මම මෙයින් කල්ප පනස් හතකට පෙර සත්රුවනින් හෙබි මහත් බල ඇති වීතමල නම් සක්විති රජව උපන්නෙමි.
දැන් මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත්වූ රමණීය විහාරී තෙරුන්, විමුක්ති සුව විඳිමින් තමාගේ පෙර ජීවිතය සිහිපත් කර ඒ සමගම ආර්යධර්මාවබෝධය ලැබූ බවද පෙන්නුම් කිරීම් වශයෙන් “යථාපි භද්දෙ ආජඤ්ඤො ඛලිත්‍වා පති තිට්ඨතී” යන ගාථාව දේශනා කළසේක.
එහි “ඛලිත්‍වා” යනු පය පැකිලී “පතිතිට්ඨතී” යනු පිහිටයි. නැගිටියි. නැවත මුලින් සිටිසේම සිටියි. “එවං” යනු එසේ “යම්සේ භද්‍රවූ (සොඳුරු වූ) ආජානීය වෘෂභයා බර උසුලනුයේ වෙහෙසට පත් ව විෂම ස්ථානයට පැමිණ එක්වරක් පය පැකිලී වැටී, එපමණ කින් සිය බර ඉසිලීම අත් නොහරින්නේ ද, උත්සාහ විර්ය වඩා පරාක්‍රමයෙන් යුතුව පය පැකිලී වැටුණත් නැවත නැගී සිටින්නේද, නැවත තමාගේ ස්වභාවයෙහි පිහිටා ම බර උසුලන්නේ ද; එලෙසින් ම කෙලෙසුන්ගෙන් විඩාවට, පීඩාවට පත්වූ මම අපරාධ ක්‍රියාවකින් පය පැකිලී වැටී, නැවත උත්සාහ වීර්ය වඩා ඉන් නැගිට වරදට පිළියම් කර පිරිසිදු වූයෙම් මාර්ග සම්‍යක් දෘෂ්ටියෙන් දර්ශන සම්පන්න වූයෙම්; එමෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව ක්‍රියා කොට ආර්ය ජාතියෙහි උපන්නෙම් උන්වහන්සේ ශ්‍රාවකයෙක් වෙමි. උන්වහන්සේගේ උරයෙහි දැරීමට සුදුසු බැවින්, උන්වහන්සේ විසින් මා බිහිකළ බැවින් ඖරස පුත්‍ර වූ ඒ මම සොඳුරු අජානීය වෘෂභයාට සමාන වූ කටයුතු ඇති බැවින් ආජානෙය්‍ය පුරුෂයෙක් වශයෙන් මා දරවු සලකවු” යන අර්ථයයි.
රමණීය විහාරී ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
සමිද්ධි ස්ථවිරගාථා වර්ණනාව
“සද්ධායාහං පබ්බජිතො” යනු ආයුෂ්මත් සමිද්ධි තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසෙ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී නොයෙකුත් පින්දහම් රැස් කරගත්හ. මෙයින් කල්ප අනූ හතරකට පෙර පහළ වූ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිත් ඇතිව මුදුන් සිටින සේ බැදි නැටි සහිත මල් මිටි පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් ලොව ඉපිද තව තවත් පින්දහම් සිදුකර, කාම සුගතීන්හිම ඉපිදෙමින් සිට අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි දී රජගහනුවර සිටු ගෙයක උපන්නේය. ඔහු උපන් දිනයේ පටන් ඒ ගෙදර ධන ධාන්‍ය වර්ධනය විය. ඔහුගේ ශරීරය ද ඉතා සිත්කලු දර්ශනීය වූවක් විය. ගුණවත් කම ද එසේම විය. මෙසේ සම්පත් සමෘද්ධියෙන් ද ගුණ සමෘද්ධියෙන් යුතු වූ බැවින් “සමිද්ධි” නමින් ඔහු ප්‍රකට විය. ඒ කුමරු බිම්බිසාර රජ සමාගමයේ දී බුදුරදුන්ගේ අනුභාවය දැක, ලැබූ ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදිවිය. භාවනාවෙහි ම නියැලී මහණදම් පිරීමෙහි උත්සාහවත් වූ උන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ තපොදාරාමයේ වැඩ වසන කල්හි එක් දිනක් මෙසේ සිතූහ. “ඒකාන්තයෙන් ම මට ශාස්තෲ වූ අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකීමට ලැබීම උතුම් වූ ලාභයකි. මම ස්වාක්ඛාත වූ (මැනවින් දෙසූ) ධර්‍ම විනයෙහි පැවිදි භාවය ද ලැබුවෙහි. මාගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ද සීලවන්තයෝය, කලණ මිතුරෝය” යනුවෙන් සිතත් ම උන්වහන්සේට මහත් වූ ප්‍රීතියක් ඇතිවිය. මෙසේ සතුටුවීම නො ඉවසන්නා වූ පාපී මාරයා තෙරුන් සමීපයෙහි සිට මහත් වූ බිය ජනක ශබ්දයක් කළේය. පොළව පැළෙන්නාක් මෙන් විය. තෙරණුවෝ මේ බව භාග්‍යවතුන් වහන්සේට දැනුම් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ, “මාරයා නුඹගේ ඇස් අන්‍ධකිරීමට සිතයි. යව මහණ!, ඒ පිළිබඳව නොසිතා එහිම වාසය කරන්න” යි වදාළ සේක. තෙරණුවෝ එහි ගොස් අප්‍රමාදීව වාසය කරනුයේ නොබෝ කලකින් ම විදසුන් වඩා රහත්ඵලයෙහි පිහිටියහ. උන්වහන්සේ විසින් සිය චරිතාපදානය මෙසේ දක්වන ලදි.