සානු ස්ථවිරගාථා වර්ණනාව
“මතං වා අම්ම රොදන්තී” යනු ආයුෂ්මත් සානු තෙරුන් වහන්සේගේ ගාථාවයි. එම ගාථාවේ උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි දී කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී නිර්වාණය පතාගෙන පින්දහම් රැස්කරගත්හ. මෙයින් කල්ප අනූ හතරකට පෙර සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේට අත්පා දෙවීමට හා මුව සෝදා ගැනීමට ජලය ගෙනවිත් දුන් ඔහු නිතර උන්වහන්සේට උපස්ථාන කළේය. ශාස්තෲන් වහන්සේ දානය වළඳන වේලාවෙහි අත් පා සෝදා ගැනීමට කැමති වූ සේක. ඔහු ශාස්තෲන් වහන්සේගේ අදහස දැන වහාම දිය ගෙනැවිත් දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ අත් පා සෝදාගෙන දානය වළඳා අවසන, මුව සෝදාගනු කැමතිවිය. ඔහු එම කරුණද වහා දැනගෙන මුවදෝනා පැන් පිළිගැන්වීය. ශාස්තෲන් වහන්සේ මුව සෝදාගෙන එම කටයුතු අවසන් කළ සේක. මෙලෙස භාග්‍යවතුන් වහන්සේ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ඔහුගේ සියලු ඇප උපස්ථාන ඉවසූ සේක. හෙතෙම එසේ කරගත් පුණ්‍ය සම්භාර ධර්‍මය නිසා දෙව්ලොව ඉපිද, තව තවත් පින්දහම් කරගෙන දෙව් මිනිසුන් අතර ම සැරි සැරුවේය. අපගේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි සැවැත්නුවර එක්තරා උපාසකයෙකුගේ ගෙදර පිළිසිඳ ගත්තේය. ඔහු පිළිසිඳගත් කල්හිම පියා ගෙදරින් පිටවී වෙනත් පෙදෙසක වාසයට ගියේය. උපාසිකාව දසමසක් ඇවෑමෙන් පුතකු බිහිකර, ඔහුට “සානු” යන නාමය තැබුවාය. අනුක්‍රමයෙන් වැඩුණු සානු කුමරු සත් හැවිරිදි වියේදීම, භික්‍ෂූන් සමීපයට ගෙන ගොස් පැවිදි කරවූවාය. “මේ සසුනෙහි අප්‍රමාදීව වාසය කර අතිශයින්ම සැපදායක වූ නිවන ලබන්නෙමි.” යන අදහසින් පැවිදි වූ එකුමරු සානු සාමණේර නමින් ප්‍රකට විය. ඉතා ප්‍රඥාවන්ත වූ උන්වහන්සේ වත් පිළිවෙත් හි මනාව සපුරා, බහුශ්‍රැතව ධර්ම කථිකයෙක්ව සත්ත්‍වයන් කෙරෙහි මෙත් සහගතව වාසය කළ බැවින් දෙව් මිනිසුන් සැමට ම ප්‍රිය - මනාප වූ පුද්ගලයෙක් වූහ. එම තොරතුරු සියල්ල සානු සූත්‍රයෙහි පැමිණි ආකාරයෙන්ම දැනගත යුතුයි.
සානු සාමණේරයන්ගේ අතීත භාවයේ මව, යක්‍ෂයෝනියෙහි ඉපිද සිටියාය. ඒ යකින්නට “මැය සානු තෙරුන්ගේ මෑණියෝය”යි සෙසු යක්‍ෂයෝ ගරුසිත් උපදවා ගෙන ගරුසත්කාර කරති. මෙසේ කල්ගතවන විට පුහුදුන් භාවයෙහි ආදීනව ප්‍රකාශ කරන්නාක් මෙන් එක් දිනක් සාණු සාමණේරයන්ට නුවණින් කල්පනා කිරීමට නොහැකි වූ බැවින් අනුවණින් යුතු වූයේ සිවුරු හැරීමේ සිතක් පහළ විය. එය වහා දැනගත් යක්ෂ මව, මනුෂ්‍ය මව වෙත ගොස් “ඔබේ පුතා සිවුරු හරිනු කැමතිව සිටී” යැයි දැනුම් දුන්නාය. “එනිසා නුඹ වහා උන්වහන්සේ වෙත ගොස් මේ ගාථාවන් කියව”යි පැවසූ යක්‍ෂණිය අතුරුදහන් වූවාය.
සානු මා බුද්ධං වජ්ජාසි - යක්‍ඛිණී වචනං ඉදං,
මාකාසි පාපකං කම්මං - ආවී වා යදි වා රහො.
සචෙ ත්‍වං පාපකං කම්මං - කරිස්සසි කරොසි වා,
නතෙ දුක්ඛා පමුත්‍යත්‍ථි - උප්පච්චාපි පලායතො.
“සානු! නුඹ බුදුරජාණන් වහන්සේට වරදක් නොකරව, ප්‍රකටව හෝ අප්‍රකටව කිසිදු පාප කර්මයක් නොකරව, මෙය යක්‍ෂණියගේ ඉල්ලීමයි. ඉදින් නුඹ පාපකර්‍මයක් කරන්නේ හෝ කරවන්නේ නම් නුඹට දුකින් මිදීමක් නම් නැත. නුඹ වෙතින් සියල්ලෝම දුරුවෙති.
මනුෂ්‍ය මව මෙය අසා වැලපෙමින්, දැඩි ශෝකයෙන් වෙලුණි. සිතේ දුක්දොම්නස් ඇත්තී වූවාය. ඉක්බිති සානු සාමණේරයෝ පෙරවරු සමයෙහි හැඳ පොරවාගෙන පා සිවුරු රැගෙන මව සමීපයට පැමිණියහ. පැමිණ අඬන මව දුටු උන්වහන්සේ, “මෑණියනි! කුමක් නිසා අඬන්නෙහිද?යි ඇසූහ. මව “නුඹ වහන්සේ නිසා අඬමි”යි කීවාය. එවිට සානු හිමියෝ, “මතං වා අම්ම රොදන්තී - යො වා ජීවං න දිස්සතී” යන ගාථාව පැවසූහ.
එහි අර්ථය මෙසේය. “මෑණියනි! හැඬීම් නම් නෑ මිතුරෝ තම ඤාති හිත මිත්‍රාදීහු මැරුණුවිටම සිදුකරති. පරලොව ගිය බැවින් ම ඔවුහු උදෙසා වැලපෙති. යම් ඤාති හිත මිත්‍රාදියෙක් ජීවත් වෙමින් සිට වෙනත් දේශයකට යන්නේ නම් ඔහු ද දක්නට නොලැබෙන බැවින්, ඔහු උදෙසාද හඬති. වැලපෙති. මේ කරුණු දෙකම මා පිළිබඳව විද්‍යමාන නොවේ. එබැවින් නුඹ ඉදිරියේම ජීවත් වෙමින් සිටින මා පිළිබඳව මෑණියනි! නුඹ කුමක් නිසා හඬන්නී ද? මා වෙනුවෙන් හැඬීමට නුඹට කිසිම කරුණක්, හේතුවක් නැත” එය ඇසූ මව “මහණෙනි! යමෙක් ශික්‍ෂාපද ප්‍රතික්‍ෂේප කර ගිහි බවට පැමිණෙන්නේ නම් එය ආර්ය විනයෙහි මරණයක් යැයි කියැවේ.” යන සූත්‍ර පදය අනුසාරයෙන් “උපැවිදිවීම ආර්ය විනයෙහි මරණය නම් වේ.” යැයි දක්වන්නී මේ ගාථා දෙක කීවාය.
“මතං වා පුත්ත රොදන්ති යොවා ජීවං න දිස්සතී,
යොච කාමෙ චජිත්‍වාන පුනරාගච්ඡතෙ ඉධ.
තඤ්චාපි පුත්ත රොදන්ති - පුන ජීවං මතො හි සො,
කුක්කුලා උබ්භතො තාත කුක්කුලං පතිතුමිච්ඡසී”
“පුතේ! මැරුණු පුද්ගලයා නිසා හෝ යමෙක් ජීවත් වුවත් නොපෙනේ ද (දුරුරට වාසය නිසා) ඔහු වෙනුවෙන් ද ඥාති හිතමිත්‍රාදීහු හඬති. යමෙක් මේ ගිහි සැප හැර දමා පැවිදි ව නැවත ගිහි බවට පැමිණේ නම් ඔහු ජීවත් වුවත් මළ අයෙකු වැනිය. මම ඔහු නිසා හඬමි. කුක්කුල නිරයෙන් ගොඩ ආ නුඹ නැවත ඒ නිරයට ම පැමිණීමට සිතන්නෙහිද?”
එහි “කාමෙ චජිත්‍වාන” යනු නික්මීමේ (නෙක්ඛම්ම) අදහසින් වස්තු කාමයන් අත්හැර දමා; එහිදී ක්ලේශ කාමය ද තාවකාලිකව ප්‍රහාණය කිරීම අදහස් වේ. පැවිදිවීම මෙහිදී කාමයන් අත්හැරීම ලෙස දතයුතුයි. “පුනරාගච්ඡිතෙ ඉධ” යනු මේ ගෙදරටම නැවත එන්නේ ය. මෙය ගිහිබවට පත්වීම අරමුණු කරගෙන කියයි. “තඤ්චාපි” යනු යමෙක් පැවිදිව නැවත සිවුරු හැර යැයි ද ඔහු වැනි පුද්ගලයෝ මැරුණු අය හා සමානය. එනිසා මා වැන්නන් ඊට හඬති. කුමක් නිසා ද? “පුන ජීවං මතො හි සො” යනු යමෙක් ගිහිබවට පත්වුවත් පසුව ඔහු ජීවත් වේ. නමුත් ගුණයන්ගේ හීනවීමක්, මැරීයාමෙන් ඔහු මළ පුද්ගලයෙකු සේ සළකන්නේ ම ය. දැන් එම සාමණේරයන්ට විශේෂයෙන් සංවේග ඉපිදවීමට ‘කුක්කුලා’ යනාදිය පැවසුවාය. එහි අර්ථ මෙසේය. – “ගිනිගෙන දැවෙන අර්ථයෙන් ගිහිගෙය කුක්කුල නිරය හා සමානය. එනිසා ගිහිබවට යෑම කුක්කුල නිරයට යෑමකි. නුඹට අනුකම්පා කළ මවිසින් නුඹ කුක්කුල නිරයෙන් (ගිහිබවින්) ඔසවා උඩට ගෙන තැබුවෙමි. සානු පුතේ! නුඹ නැවත එයට වැටීමට කැමති වන්නෙහි ද?”