සුමඞ්ගල ස්ථවිරගාථා වර්ණනාව
“සුමුත්තිකො” යනු ආයුෂ්මත් සුමංගල තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ සිදුවීද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහිදී කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන් හි දී නිවන් පතාගෙන නොයෙකුත් පින්දහම් රැස්කළහ. සිද්ධත්‍ව භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සමයේ රුක් දෙවියෙක් ව ඉපිද; එක් දිනක් ශාස්තෲන් වහන්සේ දිය නා, එක් සිවුරකින් යුක්තව සිටිනු දැක, සතුටින් අත් පොළසන් දුන්නේය. ඔහු ඒ පින්කම නිසා දෙව් මිනිසුන් අතර සැරිසරා අවුත්; මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවරට සමීප එක්තරා ගමක කිසියම් පාපකර්මයක් නිසා දිළිඳු පවුලක උපන්නේය. ඔහු සුමංගල නමින් ප්‍රකට විය. වැඩිවියට පැමිණි ඔහු කුඩා දෑකැත්තක්, නගුලක් හා උදැල්ලක් පමණක් ඇතිව කෘෂිකර්මාන්තයෙන් දිවි ගෙවීය. මෙතෙම එක් දිනක් පසේනදී කොසොල් රජතුමා විසින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන භික්‍ෂු මහා සංඝරත්නයට මහදන් පවත්වන කල්හි; දානෝපකරණ රැගෙන පැමිණි මිනිසුන් සමඟ දී කලයක් ගෙන පැමිණියේය. දන් බෙදීමට සහාය වූ ඔහු භික්‍ෂූන්ට කරන සත්කාර සම්මාන දැක, “මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රීය භික්‍ෂූහු මැනවින් හැඳ පොරවාගෙන, ඉතා රසවත් අහර අනුභව කර, අවුවැසි සුළං නොඑන සෙනසුන්හි සුවසේ වැඩවෙසෙති. එනිසා මම ද පැවිදි වන්නේ නම් යෙහෙකි”යි සිතා එක්තරා මහතෙරනමක් සමීපයට ගොස් තමාගේ පැවිදිවීමේ කැමැත්ත දැනුම් දුන්නේය. උන්වහන්සේ ද මේ දිළිඳු ගොවියා කෙරෙහි කරුණාවෙන් ඔහු පැවිදි කළ සේක. කමටහන් ද ගෙන කුලයට පිවිසි සුමංගල තෙරණුවෝ; මද කලකින් ම හුදකලා වාසයේ කළකිරී, උකටලී වූ සිතින් සිවුරු හරිනු කැමතිව නෑයන්ගේ ගමට යන අතරමගදී කැසපට කවාගෙන කුඹුරෙහි සීසාන ගොවියෝ දුටුවහ. කිලිටි වස්ත්‍ර හැඳගෙන, මුළු සිරුරෙහිම මඩ තවරාගෙන අවුවැසි සුළඟින් පීඩාවිඳින ගොවියන් දුටු උන්වහන්සේ; මේ සත්ත්‍වයෝ ජීවත්වීම සඳහා ඉතා මහත් වූ දුක් අනුභව කරති”යි සංවේගයට පත්වූහ. එසේ සිතත්ම නුවණ මුහුකුරා ගිය උන්වහන්සේට මුලදී ගත් කමටහන මැනවින් වැටහුණේය. සුමංගල හිමියෝ සමීපයේ වූ රුක්මුලක් වෙත වැඩම වා, විවේකීව හිඳිමින් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව විදසුන් වඩා මඟ ඵල පිළිවෙලින් ලැබ රහත් ඵලයට පත්වූහ. උන්වහන්සේ විසින් සිය චරිතාපදානය මෙසේ දැක්වූහ -
“ලෝක ජ්‍යෙෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ අත්‍ථදස්සි බුදුරජාණන් වහන්සේ විහාරයෙන් නික්ම තඩාගයක් (විලක්) වෙත වැඩම කළහ.
එහිදී පැන් සනහාගත් භාග්‍යවතුන් වහන්සේ අඳනයෙන් පමණක් සැරසී දිශානු දිශාවන් බලමින් වැව් ඉවුරෙහි වැඩසිටි සේක.
එකල්හි රුක්දෙවියෙකු වූ මම සිය භවනයෙහි හුන්නෙම්; සූර්යයා මෙන් බබළන, රන් කඳක් මෙන් දිලිසෙන ලෝක නායකයන් වහන්සේ දුටුවෙමි.
දැක තුටු සිත් ඇතිව සොම්නස් සිතින් අත්පොළසන් දුන්නෙමි. ඒ පින්කමේ විපාක වශයෙන් නෘත්‍ය, ගීත, පසඟතුරු නාද ආදියෙන් පිරිපුන් දෙව් සැප ලැබුවෙමි.
දේව මනුෂ්‍ය භවයන්හි ඉපිද යසසින් සැම දෙන ඉක්මවා සිටියෙමි. මගේ යසස ඉතා විශාලය.”
“පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස; ඔබවහන්සේට නමස්කාර වේවා! පුරුෂෝත්තමයන් වහන්ස! ඔබ වහන්සේට නමස්කාර වේවා. සර්වඥයන් වහන්ස! නුඹ වහන්සේ තමා ද සතුටු වී අන්‍යයන් ද සතුටු කරන සේක.”
මනාවූ ව්‍රත ඇති තථාගතයන් වහන්සේ පිරිවරාගත් මම උන්වහන්සේ ද සතුටු කොට උවටැන් කළෙමි. එපිනින් තුසිත භවනයෙහි උපන්නෙමි.
මීට කල්ප එක් දහස් හයසියයකට පෙර සත්රුවනින් පිරි මහත් බල ඇති “ඒකචින්තික” නමින් සක්විති රජවරු එකොළොස් දෙනෙක්ම ඉපදුනෙමි.
දැන් මම සියලු කෙලෙස් නැසූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.
මෙසේ රහත්බවට පත්ව සමාපත්ති සුවයෙන් සැනසුනු සුමංගල තෙරණුවෝ, තමාගේ දුකින් මිදීම ප්‍රකාශ කරමින් ප්‍රීති වාක්‍ය පහළ කරන සේක; “සුමුත්තිකො” යන ගාථාව දේශනා කළහ.
එහි “සුමුත්තිකො” යනු ඉතා යහපත්ව, සසරෙහි කෙළවරක් ඇති කරන - නැවත ඉපදීමක් නැති මිදීමක් වූ බැවින් “මනාව මිදුණෙමි”යි පැවසීය. එසේ උතුම් වූ විමුක්ති සුවයට ප්‍රශංසා කරමින්, එහිවූ ආශ්චර්යජනක බව නිසා අත්පොළසන් දෙමින් “සුමුත්තිකො” මනාව මිදුනෙමි”යි පැවසීය. නැවත ඒ විමුක්ති සුවය තමා කෙරෙහි දැඩිව පිහිටිබව දක්වමින් “සාහුසුමුත්තිකොම්භි” යනුවෙන් දැක්වීය. “මැනවි, මැනවි, මම මනාව මිදුනෙමි” යන අර්ථයයි. මෙතෙමේ කුමකින් මනාව මිදුණේද? මේ තෙරුන් වහන්සේ කාමය ප්‍රධාන සියලුම සසර පැවැත්මට හේතුවන ධර්‍මයන්ගෙන් මනාව මිදුණහ. තමන් වහන්සේට පෙර තිබූ අනිෂ්ට වූ ඉතා දැඩි දුක්ඛිත බව පෙන්වමින් “තීහි ඛුජ්ජකෙහි” යනාදිය දැක්වූහ. එහි “ඛුජ්ජකෙහි” යනු කුදු ස්වභාවයෙන්. කුදු ආකාරයෙන් මෙය පංචමී විභක්ති වචනයකි. මිදීමේ අර්ථයක් ගෙන දෙන බැවිණි. ගොවියා ද තමා ශරීරයෙන් කුදු නොවූවත් තමා තුන් තැනක කුදුවූවකු කර දක්වයි. ගොයම් කැපීමෙහිද සී සෑමෙහි ද උදැල්ලෙන් වැඩ කිරීමෙහි ද යන මේ තුන් ක්‍රියාවේදී ගොවියා කුදුවී වක් වී එම කටයුතු කළයුතු බැවින් “තුන් කුදුයෙන්” යනුවෙන් කුදුවීම් ලෙස එය දැක්වුණි.
දැන් එම කුදුවීම්වල ස්වරූපය දක්වන සේක්, “අසිතාසු මයා නඞ්ගලාසු මයා ඛුජ්ජකුද්දාලාසු මයා” යනුවෙන් පැවසූහ. එහි “අසිතාසුමයා” යනු “ගොයම් කැපීමෙන් මිදුනෙමි” යන අර්ථයයි. පංචමී අර්ථයෙහි සත්තමී විභක්තිය යෙදී ඇත. සෙසු පද දෙකෙහි ද මේ ක්‍රමය ම වේ. ඇතැම් හු මෙහි “අසිතාසුමයා” යන්නෙන් “ගොයම් කැපීම් ආදියට හේතු වූ කරුණුවලින් මම මිදුණෙමි” යන අදහස දෙන බව කියති. ඔවුන්ගේ මතය අනුව කාරණාර්ථයේ හා හේතු අර්ථයේ සත්තමී විභක්තිය යෙදී ඇත. “නඞ්ගලාසු” යනුවෙන් ලිංග විපර්යාස කොට දක්වන ලදි. නඟුලින් වැඩ කිරීමෙහි, ඉතා දුක්ඛිත කටයුත්තෙහි යන අර්ථයයි. තමා වැළකුණු උදැල්ලෙහි ස්වභාව වශයෙන් ද පරිහරණය කිරීමේ අල්ප බැවින් ද “ඛුද්දකුද්දාලාසු” කුඩා උදැල්ලෙන් යැයි දක්වන ලදි. පරිහරණය කිරීම් වශයෙන් තියුණු නොවූ උදැල්ලෙන් යන අර්ථයයි. “ඉධම්මෙ” යන තැන්හි “ම” කාරය පද දෙකක් සන්‍ධි කරන්නකි. නැතහොත් “පි” යනු නිපාතයකි. “ඒ දෑකැති ආදිය ගමෙහි තිබුණත්, දැන් මගේ සමීපයට ගෙනාවත් දැන් ඉන් මට ප්‍රයෝජනයක් නැත” යන අර්ථයයි. මෙහිදී ඉක්මන්වීම් වශයෙන් එක වචනය දෙතුන් වරක් යෙදී ඇත. “ක්‍ඛායාමි” යනු ඵලසමාපත්ති ධ්‍යාන වශයෙන්, දිට්ඨධම්ම සුව විහරණ වශයෙන් හා දිව්‍යමය විහරණාදී වශයෙන් ධ්‍යාන වඩමි. “ඣාය සුමඞ්ගල” යන්නෙන් තමාටම ආමන්ත්‍රණය කරගනියි. උන්වහන්සේ ධ්‍යාන වැඩීමට ඇති කැමැත්ත දැක්වීමට එම වදන දෙතුන්වරක් යොදන ලදහ. “අප්පමත්තො විහර” යනු ප්‍රඥාවේ හා සිහියේ විපුලත්‍වය සාර්වාර්ථ සාධක වේ. එනිසා නුඹ අප්‍රමාද වන්නෙහි. දැන් නුඹ එසේ අප්‍රමාදවීම නිසා සුවසේ වාසය කරන්නෙහි. “සුමංගලය” සුවසේ වාසය කරන්න” යන අර්ථයයි. ඇතැම් හු “රහත් වීමට පෙර දීම විදර්ශන භාවනාවට පිළිපන්, සසුන් පැවිද්දෙහිම ඇලුණු, පෙර තමා විදි ගෘහවාස දුක පිළිකුල් කරන තෙරණුවෝ මෙම ගාථාව දේශනා කිරීමෙන් අනතුරුව රහත් බවට පත්වූහ.”යි කියති. ඔවුන්ගේ අදහස අනුව මෙම ගාථාවේ අවසනට එන “ඣාය අප්පමත්තො විහර” යන (අප්‍රමාදීව ධ්‍යාන වඩමින් වෙසෙන්න.) පදයන්ගේ අර්ථය විදර්ශනා මාර්ගය වැඩීම් වශයෙන් ගැලපෙන්නේ මය.