ඛදිරවනියරේවත ස්ථවිරගාථා වර්ණනාව
“චාලෙ උපචාලෙ” යනු ආයුෂ්මත් ඛදිරවනිය රේවත තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි හංසවතී නුවර තීර්ත නාවික පවුලක ඉපිද මහා ගංගාවෙහි මහතොටක සිට නාවික කාර්යයෙහි නිරත වූහ. එක් දිනක් ශ්‍රාවක සංඝයා සහිත භාග්‍යවතුන් වහන්සේ ගඟ තෙරට පැමිණි බව දුටු ඔහු; පැහැදුණු සිතින් නැව් සමූහයක් යොදවා මහත් වූ පූජා සත්කාර කරමින් උන්වහන්සේලා ගඟින් එතෙර කරවීය. පසුව ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක් ආරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේලා අතරින් අගතනතුරට පත් කරනු දැක, එම තනතුරම ප්‍රාර්ථනා කරගෙන භාග්‍යවතුන් වහන්සේට ද භික්‍ෂු මහා සංඝරත්නයට ද මහදන් පැවැත්වීය. භාග්‍යවතුන් වහන්සේ ද ඔහුගේ එම ප්‍රාර්ථනාව ඉටුවන බව පැවසූ සේක. ඔහු එතැන් පටන් ඒ ඒ උපනුපන් භවයන්හිදී සසරින් මිදීම සඳහා කුසල් දහම් රැස්කරමින් දෙව්මිනිස් දෙගතියෙහි සැරිසරා, අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි මගධ රට නාළක නම් ගමේ රූපසාරී බැමිණියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. වැඩිවියට පත්වූ මේ බමුණු තරුණයාට විවාහයක් කරදෙනු කැමති දෙමාපියෝ ඔහුට ඒ බව දැනුම් දුන්හ. ඔහු සැරියුත් තෙරුන්ගේ පැවිදිවීම අසා, “මගේ වැඩිමහල් සොයුරු වූ උපතිස්ස මේ සියලු සම්පත් හැර දමා පැවිදි විය. ඔහු විසින් වැමෑරූ කෙළ පිඬ මම කෙසේ නම් දැන් ගිලින්නෙම්ද” යි විමසමින් උපන් සංවේග ඇතිව, උගුලට හසුනොවී දිවයන මුවෙකු මෙන් ඥාතීන් රවටා පූර්ව වාසනා මහිමයෙන් මෙහෙයවනු ලබන්නේ භික්‍ෂූන් සමීපයට ගියේය. ගොස් තමා ධර්‍මසේනාපතීන් වහන්සේගේ බාල සොහොයුරා බව දැනුම් දී පැවිදිවීමට ඇති කැමැත්ත ද පැවසීය. භික්‍ෂූහු ඔහු පැවිදි කළහ. පිරිපුන් විසිවයස් ඇති රේවත හිමියන් උපසම්පදා කොට, කමටහන් වැඩීමෙහි නියුක්ත කළහ. උන්වහන්සේ කමටහන් රැගෙන කිහිරි වනයට (ඛදිරවනං) ගොස්; “රහත්බවට පත්වීමෙන් පසුව භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මසේනාපතීන් වහන්සේ ද දකින්නෙමි.”යි උත්සාහ කරනුයේ, වෑයම් කරනුයේ; ඤාණය මුහුකුරා ගොස් නොබෝ කලකින්ම ෂඩ් අභිඥා උපදවා ගෙන අර්හත්‍වය සාක්‍ෂාත් කරගත්හ. එසේ කටයුතු නිමකළ උන්වහන්සේ තම චරිතය මෙසේ දැක්වූහ.
“හිමවතින් හටගෙන ගලාඑන භගීරථී නම් ගඟක් විය. මම ඒ ගඟෙහි සැඩ රළ වේගයෙන් යුතු විෂම තීර්ථයක රැකියාව කරන නැවියෙක් වූයෙමි.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා දහසක් සමග ගඟෙහි සැඩ පහර තරණය කිරීමට වැඩම වූ පුවත මම ඇසුවෙමි.
බොහෝ නැව් එක්කර තැනූ මහා නැවෙහි, වඩුවන් ලවා මනාව සෙවිලි කරවා බුදුරජාණන් වහන්සේට පූජා කළෙමි.
බුදුපියාණෝ එම උතුම් නැවට නැගිසේක්; ගඟ මැද දී මෙලෙසින් වදාළ සේක.”
“යමෙක් මෙසේ රහතන් වහන්සේලා සහිත බුදුරජාණන් වහන්සේ ගඟින් එතෙර කරවයිද, ඔහු එම සිත් පැහැදීම නිසා දෙව්ලොව උපදින්නේය.
ඔබට මේ මනාව අලංකාර කළ මහා නැව බඳු දෙව් විමනක් පහළවේ. හැමකල අහසේ මල් වියනක් ඇතිවේ.
මෙයින් කල්ප පනස් අටකට පසුව නුඹ සිවුමහා දිවයින්ට ම ප්‍රධාන වූ ජයගන්නා වූ තාරක නම් සක්විති රජවන්නෙහිය.
මෙයින් කල්ප පනස් හතකට පසුව මහබල ඇති චම්පක නම් ක්‍ෂත්‍රිය රජව උදාවන හිරු මෙන් බබලන්නේය.
මෙයින් කල්ප ලක්‍ෂයකට පසුව පහළවන ඔක්කාක කුලයේ ඉපිද ගෝතම නාමයෙන් හැඳින්වෙන ශාස්තෲන් වහන්සේගේ කාලයේදී නුඹ දෙව්ලොවින් චුතව රේවත නම් බ්‍රාහ්මණයෙක් වන්නෙහිය.
කුශල මූලයන් විසින් මෙහෙයවනු ලබන නුඹ, ගෞතම බුදුසසුනෙහි ශ්‍රද්ධාවෙන් පැවිදි වන්නෙහිය.
පැවිදිව භාවනායෝගීව විදසුන් වඩා සියලු ආශ්‍රව ප්‍රහීන කරන නුඹ නිකෙලෙස්ව පිරිනිවන් පාන්නෙහිය.”
නිර්වාණය නම් යෝග ක්‍ෂේම භූමියට මා ගෙනයන ගැල්බර උසුලන ගවයා නම් මාගේ වීර්යයි. දැන් මම බුදුසසුනෙහි අවසන් සිරුර දරමි.
මීට කල්ප ලක්‍ෂයකට පෙර කරන ලද කුසල කර්‍මය මෙම අත්බැව්හිදී විපාක දුන්නේය. දුනුදියෙන් මනාව මිදුණු හීයේ වේගය මෙන් ඒ කුසලයෙන් මාගේ කෙලෙස් දැවිණි.
ඉක්බිති ලෝකයේ කෙළවරට ගිය මහ නුවණැති බුදුරජාණන් වහන්සේ වන සෙනසුනෙහි ඇලුණු මා දැක, වනවැසිව දැහැන් වඩන භික්‍ෂූන් අතරින් අගතනතුරෙහි තැබූ සේක.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
ෂඩ් අභිඥා ලබාගත් රේවත තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ ද ධර්‍මසේනාපතීන් වහන්සේද වැඳගනු කැමතිව, සෙනසුන් හකුළුවා තබා පාසිවුරු ගෙන අනුපිළිවෙලින් සැවැත්නුවර ජේතවනාරාමයට වැඩියහ. වැඩමවා ශාස්තෲන් වහන්සේට ද ධර්‍මසේනාපතීන් වහන්සේටද වන්දනා මාන කොට දින කිහිපයක් එහිම විසූ රේවත තෙරණුවන්; ශාස්තෲන් වහන්සේ විසින් ආර්යයන් වහන්සේලා මැද වැඩ හිඳිසේක් ආරඤ්ඤක භික්‍ෂූන් අතරින් අග්‍රස්ථානයෙහි තැබූසේක. “මහණෙනි! මගේ ශ්‍රාවක භික්‍ෂූන් වහන්සේලා අතුරින් ආරණ්‍යයෙහි වසන්නවුන් ගෙන් මේ ඛදිරවනීය රේවත තෙරණුවෝම අග්‍රවෙති”යි වදාළහ. පසුකලෙක උන්වහන්සේ තම උපන් ගමට වැඩ සිය සොහොයුරියන් වූ චාලා, උපචාලා හා සිසුපචාලා යන තිදෙනාගේ පුතුන් වූ චාලා, උපචාලා හා සිසුපචාලා යන තම බෑනාවරු තිදෙන කැඳවාගෙන වුත් පැවිදි කොට කමටහන් වැඩීමෙහි නියුක්ත කළසේක. ඔවුහු ද කමටහනෙහිම නියුක්ත වෙමින් වාසය කළහ. මෙසමයේ රේවත තෙරුන්ට කිසියම් ආබාධයක් ඇතිවිය. එය ආරංචි වූ සැරියුත් මහරහතන් වහන්සේ, “රේවත තෙරුන්ගෙන් රෝගය පිළිබඳව ද අධිගමයන් පිළිබඳව ද විමසන්නෙමි”යි එතැනට එළඹිසේක. රේවත තෙරණුවෝ, දුරදීම තමා වෙත වැඩමවන සැරියුත් තෙරුන් දුටුවහ. දැක ඒ සාමණේරවරුන්ට සිහිය ඉපදවීම සඳහා අවවාද දෙමින්, “චාලෙ උපචාලෙ” යනාදී ගාථාව වදාළහ.
එහි “චාලෙ උපචාලෙ සිසුපචාලෙ” යනු සාමණේරවරුන්ට ඇමතීමයි. ඔවුන්ට චාලා, උපචාලා හා සිසුපචාලා යන ස්ත්‍රීලිංගික නාම ගිහිකාලයේ භාවිතා වූ බැවින් පැවිදි වූ පසුවත් එසේම ව්‍යවහාර කරන ලදි. ඇතැම් හු මොවුන් ගේ නම් චාලී, උපචාලී හා සිසුපචාලී නම් වූ බවද කියති. යම් කරුණක් සඳහා මෙසේ අමතනු ලැබුවේද ඒ කරුණ දක්වන සේක්; “පතිස්සකා නුඛො විහරථ” යන්න දේශනා කළහ. අනතුරුව එසේ සිටීමට හේතුව “ආගතො වො වාලං විය වෙධී” යනුවෙන් දැක්වූහ. මෙහි “පතිස්සකා” යනු සිහි ඇතිව ද? සිහි නොමැතිව ද? යි අවධාරණය කරයි. “ආගතො” යනු පැමිණියේය. “වො” යනු නුඹලාගේ “වාලං විය වෙධී” යනු හිස කෙස්ගස පවා දෙපලු කිරීමට සමත් දුනුවායකු මෙන් මෙම ගාථාවෙහි අරුත මෙසේය. “තියුණු ඉතා වේගවත් අවබෝධවීම් හා ප්‍රඥා ඇති බැවින් වාලවෙධි දුණුවායෙක් වැනි වූ ශාස්තෲන් වහන්සේ බඳු නුඹලාගේ මාමා වන සැරියුත් මහ රහතන් වහන්සේ වැඩම කළහ. එනිසා හෙරණුනි! තමා ශ්‍රමණයෝය යන හැඟීම උපදවාගෙන, සිහි කල්පනාවෙහි නියුක්තව වෙසෙවු. අවබෝධ නොකළ අධිගමයන් හි අප්‍රමාද වන්න” මෙම ප්‍රකාශය ඇසූ සාමණේරවරු සැරියුත් තෙරුන්ට පෙරගමන් කිරීම් ආදී නිසිවත් දක්වා මාමාවන තෙරවරු දෙදෙනාම පිළිසඳර කථාවට පිවිසි කල්හි, මඳක් ඈත් වී සමාධියට සමවැද වැඩහුන්හ.