තිස්ස ස්ථවිරගාථා වර්ණනාව
“සත්තියා විය ඔමට්ඨො” යනු ආයුෂ්මත් තිස්ස තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන්හි දී නිර්වාණය ප්‍රාර්ථනා කරමින් නොයෙක් පින්දහම් රැස්කළේය. තිස්ස නම් භාග්‍යවතුන් වහන්සේගේ බෝධිමූලයෙහි වූ වියළි කොළ ආදී කසල, බැහැර කර පිරිසිදු කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිසුන් අතර සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයෙහි කපිලවස්තුවේ භාග්‍යවතුන් වහන්සේ අනුව පැවිදිව උපසපන් වී අරණ්‍යයක වෙසෙන තිස්ස හිමියො, ජාතිය නිසා මන් උපදවාගෙන, ක්‍රෝධ - බලවත් සිත් තැලීම් ආදියෙන් ද අනුන්ට දොස් කීමෙන් ද යුක්තව හැසිරෙති. මහණකම සඳහා කිසිදු උත්සාහයක් නො කරති. ඉක්බිති එක් දිනක් ශාස්තෲන් වහන්සේ දිවැසින් බලන සේක්, විවර වූ මුව ඇතිව දවල් වසනතැන නිදාසිටින්නා වූ තිස්ස හිමි දුටුසේක. දැක සැවතින් අහසට පැන නැගී එතැනට වැඩමවා අහසෙහිම වැඩ සිටිමින් මහත් වූ ආලෝකයක් පතුරුවා, එම ආලෝකය නිසා අවදි වූ උන්වහන්සේට සිහිය උපදවා අවවාද දෙන සේක්, “සත්තියා විය ඔමට්ඨො” යන ගාථාව වදාළසේක.
එහි “සත්තියා විය” යනු මේ දේශනා ශීර්ෂයයි. එක් පැත්තක මුවහත ඇති සැනකින් යන අර්ථයයි. “ඔමට්ඨො” යනු පහරදෙන ලද, පහරදීම් සතරකි. ඔමට්ඨ, උම්මට්ඨ. මට්ඨ හා විමට්ඨ යනුවෙනි. එහි උඩ හිඳ යටට ගැසූ පහර ඕමට්ඨ නම් වේ. යට සිට උඩට ගැසූ පහර උම්මට්ඨ නම් වේ. අගුල්, යකඩ කූරු මෙන් සිරුර විනිවිද ගිය පහර මට්ඨ නම් වේ. සෙසු සියලුම ආකාරයේ පහර දීම් විමට්ඨ නම් වේ. මෙතැනදී ඕමට්ඨ නම් පහර දීම අදහස් වේ. එය වනාහි දරුණුම පහරදීමයි. එසවීම අපහසුවූ සැතකි. පිළියම් කිරීම අසීරු වූවකි. ශරීරය තුළ ම පවතින දෝෂයක් වේ. ශරීරය තුළම සැරව හා ලේ වැගිරෙයි. සැරව හා ලේ ශරීරයෙන් පිට නොවී තුවාලයේ හාත්පස වෙලාගෙන සිටියි. කුණු ලේ ඉවත් කරනු කැමැත්තන් විසින් තුවාල කරු අඳක බැඳ යටිකුරු කළ යුතු (හිස යටට සිටින සේ) වේ. මෙයින් මරණයට හෝ පැමිණෙයි. නැතිනම් මරණය හා සමාන දුකකට පත්වේ. “ඩය්හමානෙ” යනු ගින්නෙන් දැවෙන කල්හි (ගින්නෙන් දැවෙමින්) “මත්ථකෙ” යනු හිසයි. මෙහි අදහස මෙසේය. – “යම්සේ හිස ගිනි ගත්තෙකු වහා එම ගින්න නිවාගැනීමට වීර්ය කරන්නේ ද එබඳුම ප්‍රයෝග - උත්සාහ කරන්නේ ද? ඒ ආකාරයෙන් ම භික්ෂුව ද කාමරාගය දුරුකිරීම සඳහා සිහි ඇතිව, අප්රමාදී ව උත්සාහ වඩමින් වාසය කරන්නේ ය” (එසේ කළ යුත්තේය). මෙලෙස භාග්‍යවතුන් වහන්සේ ඒ තිස්ස තෙරුන්ගේ ක්‍රෝධ, චිත්ත පීඩාවන් සංසිඳවීම සඳහා අවවාද දෙන සේක්, මුඛ්යවශයෙන් කාමරාගය ප්රහාණය කිරීම මාතෘකා කරගෙන දේශනාව නිමාකළ සේක.
තෙරුන් වහන්සේ එම ගාථාව අසා, සංවේගයට පත් සිතින් විදසුන් වැඩීමෙහි උත්සාහවත් ව වාසය කළහ. එම අදහස දැනගත් ශාස්තෲන් වහන්සේ සංයුක්ත නිකායේ කියැවෙන තිස්සත්ථෙරසූත්රය දේශනා කළ සේක. එම දේශනාව අවසානයේ දී තිස්ස තෙරුන් රහත්ඵලයෙහි පිහිටියේ ය. උන්වහන්සේ තම චරිත කථාව අපදාන පාළියේ මෙසේ විස්තර කර දක්වති.
“දෙව්ලොව, මිනිස්ලොව යන දෙලොවම යශස් අනුභව කර, අවසන අනුත්තර ශාන්තිය ගෙනදෙන නිවණට පැමිණියෙමි.
යම් පුරුෂයෙක් සම්බුදුරජාණන් වහන්සේ සඳහා හෝ උන්වහන්සේගේ බෝධිය උදෙසා හෝ පින් රැස් කරන්නේ නම් ඔහුට කුමක් දුර්ලභ වේද?
මාර්ග - ඵල පිළිබඳව ද දීඝනිකායාදිය හා ධ්‍යානාභිඥා ගුණයන් හි ද අන් අයට වඩා අධික ඥාන ලාභියෙක් ව ආශ්‍රම රහිතව පිරිනිවන් පාන්නෙමි.
පෙර මම සතුටු සිතින් බෝ මළුවෙහි වැටුණු වියළිපත් බැහැරලා, මේ විසිඅංගයන්ගෙන් හැමකල්හිම යුක්ත වීමි.
මවිසින් කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් වූ එම තෙරුන් වහන්සේ තම රහත්ඵලය ප්‍රකාශ කරන සේක්, ශාස්තෲන් වහන්සේට පූජා කරනු කැමති ව එම ගාථාව ම නැවත වදාළ සේක.
තිස්ස ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
වර්ධමාන ස්ථවිරගාථා වර්ණනාව
“සතතියා විය ඔමට්ඨො” යනු ආයුෂ්මත් වඩ්ඪමාන තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? මොහු ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇත්තෙකි. මෙයින් කල්ප අනූ හතරකට පෙර තිස්ස නම් භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි සිටුගෙයක ඉපිද වියට පැමිණියේ, තිස්ස භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස හැසිරෙනු දැක පැහැදුණු සිතින්, මනාව පැසුණු නටුයෙන් ගිලිහුණු අඹගෙඩි පූජාකළේය. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් ලොව උපන්නේය. ඒ ඒ භවයන් හි දී තව තවත් පින්දහම් රැස් කරගත් හෙතෙම, මේ අපගේ සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි වූ වේශාලියේ (විශාලා මහනුවර) ලිච්ඡවි රජ පවුලක ඉපිද වඩ්ඪමාන නමින් ප්‍රකට විය. වියටපත් ඒ රජ කුමරු ශ්රද්ධාවන්ත, තුණුරුවන් හි පැහැදුණු, දීමෙහි ම ඇලුණු දායකයෙක්ව නිති සංඝයාට උපස්ථාන කළේය. ඔහු කරන ලද යම් අපරාධයක් නිසා, ශාස්තෲන් වහන්සේ ඔහුට පත්ත නික්කුජ්ජන කර්මය පැනවූ කල්හි, එය සංසිඳුවා ගෙන උපන් සංවේගය නිසා පැවිදි විය. පැවිදි වූ නමුත් කය සිත මැලි බැවින් යුක්තව (ථීනමිද්ධ නීවරණයේ වෙලී) වාසය කළ වඩ්ඪමාන තෙරුන් වෙත වැඩම කළ ශාස්තෲන් වහන්සේ, එහිමියන් තුළ සංවේග ඇතිකරවමින් “සත්තියා විය ඔමට්ඨො” යන ගාථාව වදාළ සේක.
එහි “භවරාගප්පහාණාය” යනු භව රාගය ද රූප රාගය ද අරූප රාගය ද දුරු කිරීම පිණිස, ඉදින් ආධ්‍යාත්මික සංයෝජනයන් දුරු නොකර, ප්‍රහීන නොකර බාහිර සංයෝජනයන් ගේ ප්රහාණයක්, දුරුවීමක් නම් සිදු නොවේ. මේ දෙක අතර මැද ප්රහීනවීමක් නොමැත. උද්ධම්භාගිය සංයෝජනයන් ප්‍රහීණ නොවූ කල්හි ඕරම්භාගිය සංයෝජන මුළුමනින්ම ප්‍රහීණ වුවත් උද්ධම්භාගිය සංයෝජන දුරුකිරීම අපහසු වෙති. එනිසා පහසුවෙන් ප්‍රහීණය කළහැකි දෙයින් අපහසු ප්‍රහීණ කිරීම උද්ධම්භාගිය සංයෝජන ප්‍රහීණ කිරීම අදහස් කළ සේක. නැතහොත් තෙරුන් වහන්සේගේ අදහස් අනුව ම එසේ දේශනා කළ සේක. සෙසු අර්ථ විභාග මුලින් දැක්වූ තිස්ස තෙරුන්ගේ වස්තුවෙහි පැමිණි ලෙස දතයුතුයි.