වර්ධමාන ස්ථවිරගාථා වර්ණනාව
“සතතියා විය ඔමට්ඨො” යනු ආයුෂ්මත් වඩ්ඪමාන තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? මොහු ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇත්තෙකි. මෙයින් කල්ප අනූ හතරකට පෙර තිස්ස නම් භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි සිටුගෙයක ඉපිද වියට පැමිණියේ, තිස්ස භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස හැසිරෙනු දැක පැහැදුණු සිතින්, මනාව පැසුණු නටුයෙන් ගිලිහුණු අඹගෙඩි පූජාකළේය. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් ලොව උපන්නේය. ඒ ඒ භවයන් හි දී තව තවත් පින්දහම් රැස් කරගත් හෙතෙම, මේ අපගේ සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි වූ වේශාලියේ (විශාලා මහනුවර) ලිච්ඡවි රජ පවුලක ඉපිද වඩ්ඪමාන නමින් ප්‍රකට විය. වියටපත් ඒ රජ කුමරු ශ්‍රද්ධාවන්ත, තුණුරුවන් හි පැහැදුණු, දීමෙහි ම ඇලුණු දායකයෙක්ව නිති සංඝයාට උපස්ථාන කළේය. ඔහු කරන ලද යම් අපරාධයක් නිසා, ශාස්තෲන් වහන්සේ ඔහුට පත්ත නික්කුජ්ජන කර්මය පැනවූ කල්හි, එය සංසිඳුවා ගෙන උපන් සංවේගය නිසා පැවිදි විය. පැවිදි වූ නමුත් කය සිත මැලි බැවින් යුක්තව (ථීනමිද්ධ නීවරණයේ වෙලී) වාසය කළ වඩ්ඪමාන තෙරුන් වෙත වැඩම කළ ශාස්තෲන් වහන්සේ, එහිමියන් තුළ සංවේග ඇතිකරවමින් “සත්තියා විය ඔමට්ඨො” යන ගාථාව වදාළ සේක.
එහි “භවරාගප්පහාණාය” යනු භව රාගය ද රූප රාගය ද අරූප රාගය ද දුරු කිරීම පිණිස, ඉදින් ආධ්‍යාත්මික සංයෝජනයන් දුරු නොකර, ප්‍රහීන නොකර බාහිර සංයෝජනයන් ගේ ප්‍රහාණයක්, දුරුවීමක් නම් සිදු නොවේ. මේ දෙක අතර මැද ප්‍රහීනවීමක් නොමැත. උද්ධම්භාගිය සංයෝජනයන් ප්‍රහීණ නොවූ කල්හි ඕරම්භාගිය සංයෝජන මුළුමනින්ම ප්‍රහීණ වුවත් උද්ධම්භාගිය සංයෝජන දුරුකිරීම අපහසු වෙති. එනිසා පහසුවෙන් ප්‍රහීණය කළහැකි දෙයින් අපහසු ප්‍රහීණ කිරීම උද්ධම්භාගිය සංයෝජන ප්‍රහීණ කිරීම අදහස් කළ සේක. නැතහොත් තෙරුන් වහන්සේගේ අදහස් අනුව ම එසේ දේශනා කළ සේක. සෙසු අර්ථ විභාග මුලින් දැක්වූ තිස්ස තෙරුන්ගේ වස්තුවෙහි පැමිණි ලෙස දතයුතුයි.
වඩ්ඪමාන ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
සතර වන වර්ගයේ අර්ථවර්ණනාව සමාප්තයි.
පඤ්චම වර්‍ගය
සිරිවඩ්ඪ ස්ථවිරගාථා වර්ණනාව
“විවරමනුපතන්ති විජ්ජුතා” යනු ආයුෂ්මත් සිරිවඩ්ඪ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී නිර්වාණය ප්‍රාර්ථනා කරගෙන බොහෝ පින්කම් රැස්කර ගත්හ. මෙයින් කල්ප අනූ එකකට පෙර පහළ වූ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ සමයෙහි සිටුකුලයක ඉපිද වැඩිවියට පත්වූ හෙතෙම, විපස්සි භාග්‍යවතුන් වහන්සේ දැක - පැහැදී උන්වහන්සේට කිංකිණි මලින් පූජා කළේය. ඒ පින්කමෙන් දෙව්ලොව උපන් ඔහු; තව තවත් පින්දහම් රැස් කරමින් සුගතීන්හිම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයේදී රජගහ නුවර මහත් ධනය ඇති බ්‍රාහ්මණ ගෙදරක උපන්නේ ය. සිරිවඩ්ඪ නාමයෙන් ප්‍රකටව වැඩිවියට පත්වූ ඔහු, බිම්බිසාර රජු හමුවේදී (බුදු වූ අලුතම) ශාස්තෲන් වහන්සේ දෙසූ සද්ධර්‍මයෙහි උපන් ප්‍රසාදය නිසාත් සංසාරික පුරුදුතාවය නිසාත් පැවිදි විය. පැවිදිව කරන ලද පූර්ව කටයුතු ඇති සිරිවඩ්ඪන තෙරණුවෝ, වේහාර පාණ්ඩව පර්වත දෙකට නුදුරු තැනක වූ අරණ්‍යායතන පර්‍වත ගුහාවක කමටහන් වැඩීමෙහි ම යෙදී වාසය කළහ. එම වේලාවෙහි මහත් වූ අකල් මේඝයක් (මහවරුසාවක්) පහළ විය. විදුලිය පර්වත විවරයට වැටෙමින් හෙන මෙන් හැසිරෙයි. (පුපුරයි). තෙරුන් වහන්සේගේ ග්‍රීෂ්මයෙන් තැවුණු ශරීරය තෙත් වූ වැසි සුළඟින් ස්පර්ශ කරන ලද්දේ ග්‍රීෂ්ම තාපනයෙන් සංසිඳුණි. යෝග්‍ය වූ සෘතු ලැබීම නිසා සිත එකඟ කරගත හැකි විය. තෙරණුවෝ එකඟ වූ සිතින් විදසුන් වඩා රහත් බවට පත්වූ සේක. උන්වහන්සේ මෙසේ අපදාන පාළියේදී සිය චරිත විස්තරය දැක්වූ සේක.
“රන්තොරණක් මෙන් බබළන සර්වඥ වූ ලෝකනායක බුදුරජාණන් වහන්සේගේ, සිසිල් දිය ඇති විලකට බැස ජලස්නානය කළසේක.
මම කිංකිණි මල් රැසක් ගෙන ඔදවැඩී ගිය සිතැතිය, සතුටින් ද්විපදෝත්තම (දෙඇත්තන් අතරින් උතුම් වූ) තාදී ගුණ ඇති විපස්සි බුදුරජාණන් වහන්සේට පිදුවෙමි.”
“මෙයින් කල්ප අනූ එකකට පෙර යම් පුෂ්ප පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක් නුදුටුවෙමි. බුද්ධ පූජාවෙහි විපාකය එබඳුය.
ඒ මම මෙයින් කල්ප විසි හතකට පෙර සත්රුවනින් හෙබි මහත් බලැති භීමරථ නම් සක්විති රජ වූයෙමි.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත්බවට පත්වූ උන්වහන්සේ සිය නික්ලේශී භාවය ප්‍රකාශ කරන සේක්; තමන් වහන්සේට වූ ලාභයම අර්ථෝත්පත්ති කරගෙන ප්‍රීතිය පහළ කරමින් “විවරමනපතන්ති විජ්ජුතා” යන ගාථාව වදාළ සේක.
එහි “විවරං” යනු විවරයෙහි. අතර මැද “අනුපතන්ති” යනු කියූ ලක්‍ෂණයෙහි වැටෙති. පතතිති. බැබලෙති යන අර්ථයයි. බැබලීමට විදුලියෙහි පැවතීම වේ. “අනු” යන්න මෙහිදී දුතියා විභක්තියෙහි යෙදී ඇත. “ගසක් පාසා බබලයි” “රුක්ඛමනු විජ්ජොතන්ති” යන්න මෙනි. “විජ්ජුතා” යනු වාතයෙන් කම්පිත වූ (විදුලිය). “වෙභාරස්සච පණ්ඩවස්සච” යනු “වේභාර පර්වතයට ද පණ්ඩව පර්වතයට ද යන අතරෙහි වූ විවරයෙහි වැටෙයි” යන අර්ථයයි. “නගවිවරගතො” යනු පර්‍වත (නග) විවරයට, පර්වත ගුහාවට පැමිණි (එහි වැඩ සිටි) “ඣායති” යනු ආරම්මණයන් හෝ ලක්‍ෂණයන් පිළිබඳව නැවත නැවත සිතමින් දැහැන් (ධ්‍යාන) වඩයි. සමථ හා විදර්ශනා භාවනාවන් පෙරටුකරගෙන වඩයි. ධ්‍යාන කරයි. “පුත්තො අප්පටිමස්ස තාදිනො” යනු ශීලස්කන්‍ධ ආදී ධර්‍මකාය සම්පත්තියෙන් ද රූප කාය සම්පත්තියෙන් ද අනුපම වූ, උපමාරහිත වූ, ඉෂ්ටානිෂ්ටාදී කාරණයන් හි තාදී ලක්‍ෂණය සහිත, අකම්පිත බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍රයා; මෙහි යෙදුණු “පුත්ත” යන වචනයෙන් ම තෙරුන්වහන්සේ; තමා රහත්බවට පත්වීම් වශයෙන් ශාස්තෲන් වහන්සේගේ අනුජාත පුතෙකු බව ප්‍රකාශ කළ සේක.