චතුර්ත්ථ වර්ගය
ගබ්භරතිරිය ස්ථවිරගාථා වර්ණනාව
“ඵුට්ඨො ඩංසෙහි” යනු ආයුෂ්මත් ගව්හරතීරිය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ පෙර බුදුවරුන් වෙත කළ ප්රාර්ථනා ඇතිව සසර සැරි සරා, මෙයට කල්ප තිස් එකකට පෙර සිඛි බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මුව වැද්දෙක්ව උපන්හ. එම වැද්දා දිනක් වනයේ හැසිරෙන විට එක්තරා රුක් මුලක වැඩ හිඳ දේව, නාග, යක්ෂාදීන්ට ධර්ම දේශනා කරන සිඛි භාග්යවතුන් වහන්සේ දුටුවේය. දැක පැහැදුණු සිතැතිව “මේ උත්තමයන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ යැ”යි ස්වරයෙහි සිත පිහිටුවීය. එම වැදි එසේ කරගත් චිත්ත ප්රසාදයෙන්ම දෙව්ලොව ඉපදුනේය. නැවත ඉන් චුතව ඒ ඒ කාම සුගති භවයන්හිම සැරිසරා අවුත්, අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි සැවැත් නුවර බමුණු කුලයක ඉපිද විය පත් බ්රාහ්මණයෙක් වූයේය. අග්ගිදත්ත නමින් ප්රකට වූ ඔහු භාග්යවතුන් වහන්සේගේ යමක මහා ප්රාතිහාර්යය දැක හටගත් පැහැදීම් ඇතිව, සසුනේ පැවිදිව කමටහන් ගෙන ගව්හරතීරයේ තැනක වාසය කරයි. එනිසා උන්වහන්සේ, ගව්හරතීර තෙරුන් වහන්සේ” ලෙස ප්රකට වූහ. එසේ වාසය කරමින් විදර්ශනා වැඩූ උන්වහන්සේ නොබෝ කලකින් ම රහත් බව ලබාගත් සේක. මෙම විස්තර අපදාන පාළියේ මෙලෙස සඳහන් වේ. (අපදාන පාළි II - සොසසඤ්ඤක ත්ථෙරාපදානං)
“පෙර මම මහා වනයේ හැසිරෙන මුව වැද්දෙක් වීමි. කෙලෙස් දූවිලි රහිත වූ, දිව්ය සමූහයා විසින් පිරිවරා ගත්, චතුරාර්ය සත්ය ප්රකාශ කරන්නා වූ, අමා නිවන ගෙන දෙන්නා වූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි. ලෝකයාට බන්ධු වූ එම සිඛි බුදුරජාණන් වහන්සේ දෙසූ මිහිරි දහම් පද ඇසුවෙමි.
අසම වූ අප්රති පුද්ගල වූ බුදුපියාණන් වහන්සේ කෙරෙහිද එම මිහිරි ස්වරයෙහි ද සිත පැහැදවීමි. එසේ සිත පැහැදවීමෙන් අතිදුෂ්කර වූ භවය තරණය කළෙමි.
මෙයින් කල්ප තිස් එකකට පෙර එසේ සිත පහදවා ලැබූ සංඥාවේ විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි. ධර්ම සංඥාවෙහි විපාකය මෙසේය.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් ඵලය ලබාගත් උන්වහන්සේ, භාග්යවතුන් වහන්සේට වැඳ අවසර ගෙන සැවැත්නුවරට වැඩි සේක. උන්වහන්සේ වැඩම වූ පුවත ඇසූ නෑ සමූහයා පැමිණ මහාදානයක් පැවැත්වූහ. තෙරුන් වහන්සේ දින කිහිපයක් එහි වැස, නැවත ආරණ්යයට ම යනු කැමති වූහ. එවිට ඤාතීහු, “ස්වාමීනි! ආරණ්යය නම් මැසි මදුරු ආදි බොහෝ උවදුරු ඇති තැනකි. මෙහිම වසනු මැනවි”යි ආරාධනා කළහ. එය ඇසූ තෙරුන් වහන්සේ “මාහට රුචි වනුයේ ආරණ්ය වාසය පමණක්මය”යි විවේකයේ ඇලීම ප්රකට කිරීම් වශයෙන් ද තබා ලැබූ රහත්ඵලය ප්රකාශ කිරීම් වශයෙන් ද “ඵුට්ඨො ඩංසෙහි” යන ගාථාව වදාළ සේක.
එහි “ඵුට්ඨො ඩංසෙහි” යනු “ඩැහැ ලේ බොන බැවින් “ඩංස” යන නම් ලද අන්ධක ආදී මැසිවර්ග විසින්, මදුරු ආදී තියුණු තුඩ ඇති ප්රාණීන් විසින් ස්පර්ශ කරන ලද, දෂ්ඨ කරන ලද” යන අර්ථයයි. අරඤ්ඤස්මිං යනු ගමින් දුනු පන්සියයක් ඈත ප්රත්යන්ත නම් ලද ආරණ්යය, වනය නම් වනයෙහි. “බ්රහාවනෙ” යනු මහගස්, රුක්ගොමු ආදියෙන් ගහන වූ මහාවනයෙහි, මහ කැළයෙහි. “නාගො සඞ්ගාම සීසෙවා” යනු යුද බිමකට වන් මහ ඇත් රජකු සේ. සංග්රාම මධ්යයේ සතුරු සෙනඟ සුනුවිසුණු කරන ඇතකු මෙන්; “ආරණ්යයෙහි විසීම නම් බුද්ධාදීන් විසින් වර්ණිත වූ පසසන ලද දෙයකි” ආදී වශයෙන් ඊට උත්සාහ වත්ව, සිහි ඇතිව එම වනයේ වෙසෙමි. එහිදී ඇතිවන මැසි මදුරු උපද්රව ඉවසන්නෙමි. ඉන් නො කලකිරෙන්නෙමි.” මැසිමදුරු ආදීහු මා හට දෂ්ඨ කළත් යුද බිමට වන් ඇතෙකු මෙන් සිහි ඇතිව ඒවා ඉවසන්නෙමි” යනුවෙන් ආරණ්යය අත් නොහරින බව මෙම ගාථාවේ අදහසයි.
ගව්හරතීරිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
සුප්පිය ස්ථවිරගාථා වර්ණනාව
“අජරං ජීරමාන්නො” යනාදී ගාථාව ආයුෂ්මත් සුප්පිය තෙරුන් විසින් පැවසූවකි. එහි උපත කෙසේද? පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි කුලගෙයක උපන් සුප්පිය තෙරණුවෝ, වැඩිවියට පත්ව ගිහිගේ කළකිරී තවුස් පැවිද්දෙන් පැවිදිව කැළයෙහි වාසය කළහ. එහිදී භාග්යවතුන් වහන්සේ දැක පැහැදී ඵලවැල පූජා කළේය. පසුව මහා සංඝරත්නයට ද ඵලවැල පූජා කළේය. ඒ පුණ්ය කර්මයේ විපාක වශයෙන් දෙව්-මිනිසුන් අතර සැරි සරා කාශ්යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි ක්ෂත්රිය කුලයෙහි උපන් හෙතෙම ගිහිගේ කළකිරී සසුනේ පැවිදි වී මහත් බහුශ්රැතයෙක් විය. ජාති මදයෙන් හා උගත්කමේ මදයෙන් මත් වූ එම තෙරුන් තමා උසස්කර සිතා, සෙසු භික්ෂූහු පහත් කර සළකමින් වාසය කළේය. අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි, එම තෙරුන් තමාගේ කර්මයන්ට අනුරූප ලෙසම සැවැත් නුවර සොහොන් පල්ලෙකුගේ ගෙදර ඉතා අවලස්සන දරුවෙකුව උපන්නේය. ඔහුගේ නම සුප්පිය නම් විය. තරුණවියට පත් වූ සුප්පිය, තම යහළුවෙකු වූ සෝපාක තෙරුන් සමීපයට පැමිණ, ධර්මය ශ්රවණය කිරීමෙන් ලැබූ ශ්රද්ධාව ඇතිව සසුනේ පැවිදි විය. යහපත්ව පිළිවෙත් මැනවින් සම්පූර්ණ කළ සුප්පිය තෙරුන් වහන්සේ “අජරං ජීරමානෙන” යන ගාථාව දේශනා කළහ.
එහි “අජරං” යනු ජරාවට පත්වීමක් නොමැති නිවණයි. නිවණ නූපදින බැවින් “එහි ජරාවක් නැත. නිවණ අවබෝධ කළ පුද්ගලයන්ට ද නැවත උපතක් නැත.” යන ලෙසින් ජරාවට පත්වන හේතූන් නැතිකළ බැවින් නිවණ “අජර” නම් වේ. “ජීරමානෙන” ජරාවට පත්වේය යනු ක්ෂණයක් ක්ෂණයක් (මොහොතක්) පාසා ජරාවට පත්වෙමින් පවතින “තප්පමානෙන” යනු සන්තාපයට යනු සන්තාපයට පත්වන රාගාදී එකොළොස් ගින්නෙන් දැවෙන, “නිබ්බුතිං” යම් සේ සන්තාපයට පත්වන හේතු නිවාදැමූ බැවින් නිවීම, නිවණ නම් වූ. “නිම්මිස්සං” යනු පෙරලා ගනියි. හුවමාරු කරයි. “පරමං සන්තිං” යනු කෙලෙස් ඉතිරි නොකර, පිරිතැවීම් සංසිඳවීම් වශයෙන් උතුම් ශාන්තියයි. සතර යෝගයන්ගෙන් ලුහුබැඳීම් වශයෙන් නොපැමිණෙන බැවින් “යොගක්ඛෙමං” යෝගක්ෂෙම වූ. නිවණට වඩා උතුම් වූ දෙයක් නොමැති බැවින් “අනුත්තරං” අනුත්තර වූ. මෙහි සංක්ෂිප්ත අර්ථය මෙසේය. ක්ෂණයක් ක්ෂණයක් පාසා ජරාවෙන් මැඩගත් බැවින් දිරායන්නා වූත්, එසේ රාගාදී ගිනිවලින් නිතර සන්තාපයට පත්වූත්, එසේම අනිත්ය දුක් සහගත, අසාර යන සර්ව ප්රකාරයෙන්ම නොසන්සිඳෙන ස්වභාව ඇති, උපද්රවයන්ගෙන් යුක්ත වූත් යන ස්වභාවයන්ට ප්රතිවිරුද්ධ වූ බැවින් ජරාවක් නැති, අතිශයින් සන්සුන් වූ, කිසි උපද්රවයක් නොමැති, අනුත්තර වූ නිවණ ලැබීමෙන් දැනට ඇති ශෝකී බව දුරු වී, “අනේ මට මෙය ඒකාන්ත ලාභයකි. මට මහත් වූ අභිවෘද්ධියක් අතට පැමිණියේය” යනුවෙන් සැපයට පරිවර්තනය වන්නේය. මිනිස්සු යම්කිසි බඩු බාහිරාදියක් හුවමාරු කර ගැනීමේදී අපේක්ෂාවක් නොමැතිව ගැනීමෙන් අතිශය ගෞරවත්වයක් ඇතිවන්නාක් මෙන් තෙරුන් වහන්සේ ද ආත්ම සංකල්පනා දුරුකර වාසය කරන සේක්, තම ශරීරයෙහි ද ජීවිතයෙහි ද අපේක්ෂාවක් නොමැතිව උතුම් නිවණ අවබෝධ කරගත් බව, ඇසුරු කරගත් බව පවසන සේක්, “නිම්මිස්සං පරමං සන්තිං යොගක්ඛෙමං අනුත්තරං” යනුවෙන් තමන් වහන්සේ කී පිළිවෙතම වඩමින් විදර්ශනාවට සිත උත්සාහවත් කර, රහත් බවට පත්වූ සේක. අපදාන පාළියේ එම තොරතුරු මෙසේ දැක්වේ. (අපදාන පාළි II, සබ්බඵල දායක ත්ථෙරාපදානං)