ගවම්පති ස්ථවිරගාථා වර්ණනාව
“යො ඉද්ධියා සරභුං” යන මේ ගාථාව ආයුෂ්මත් ගවම්පති තෙරුන්ගේ ගාථාවකි. එහි උපත කෙසේද? මෙම තෙරුන් ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා හා පින්දහම් ඇත්තෙකි. මීට කල්ප තිස් එකකට පෙර ලොව පහළ වූ සිඛි භාග්‍යවතුන් වහන්සේ, දැක පැහැදුණු සිතින් මල් පූජා කළ පිනින් දෙව්ලොව ඉපදුණු උන්වහන්සේ ඒ ඒ භවයෙහි දී තව තවත් පින් දහම් කරගත්හ. කෝණාගමන භාග්‍යවතුන් වහන්සේගේ සෑයට ඡත්රයක් ද වේදිකාවක් ඔහු විසින් ඉදි කළේය. කස්සප බුදුන් දවස එක්තරා ධනවත් සිටුගෙයක උපන්නේය. එම ගෙදර බොහෝ ගව සම්පතක් විය. ගොපල්ලෝ එම ගව සම්පත සුරකියි. මෙතෙමේ එහි අතරින් පතර යුතු අයුතු දේ විමසමින් හැසිරේ. ඔහු එක් දිනක් රහතන් වහන්සේ නමක් ගමෙහි පිඬුපිණිස හැසිර, ගමින් පිටත සිට දිනපතා ම දානය වළඳන බව දුටුවේය. “ආර්යයන් වහන්සේ සූර්ය තාපයෙන් වෙහෙසට පත්වන්නේය” යි සිතූ ඔහු මහරි දඬු සතරක් ඔසවා, ඒ මත්තෙහි මහරි අතු දමා ගස් අතු මණ්ඩපයක් කරවා පූජා කළේය. එම මණ්ඩප සමීපයේ මහරි ගසක් රෝපණය කළ බව ද කියති. ඔහු කෙරෙහි අනුකම්පාවෙන් රහතන් වහන්සේ දිනපතාම එහි හිඳ බත් කිස කළසේක. ඔහු ඒ පින්කම හේතුවෙන් ඔහුගේ විමන් දොර මහත් මහරී වනයක් පහළ විය. එහි වර්ණගන්ධ සම්පන්න වූ පුෂ්පයෝ සැම කල්හි ම පවතිති. එනිසා එම උයන “සේරිස්සක” නාමයෙන් ප්‍රකට විය. ඒ දෙව් පුතු ද එක් බුද්ධාන්තරයක් දෙව් මිනිසුන් අතරෙහි සැරි සරා, මේ බුද්ධෝත්පාද කාලයෙහි යස තෙරුන්ගේ යහළුවන් සතර දෙනා අතුරින් ගවම්පතී නම් යහලුවා ලෙස උපන්නේ ය. යස කුමරුගේ පැවිදි වීම ඇසූ ගවම්පතී කුමරු ද තම යහලුවන් සමග භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණියේ ය. ශාස්තෲන් වහන්සේ ගේ ධර්ම දේශනාව ඇසූ ඔවුහු සතර දෙනම රහත් ඵලයෙහි පිහිටියහ.
අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ පවසා ඇත.
“ඒ මම පෙර මුව වැද්දෙක් ව වනයෙහි ඔබිනොබ හැසිරුනෙමි. සියළු දහම් හි පරතෙරට පැමිණියා වූ කෙලෙස් දුරලූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
පැහැදුණු සිතැති මම සතුටින්, ඒ මහා කාරුණික වූ, සියලු සත්ත්වයන් කෙරෙහිම හිත වැඩ සලසන්නා වූ උන්වහන්සේ ට නොයෙක් මලින් පූජා පැවැත්වීමි.
මෙයින් කල්ප තිස් එකකට පෙර මම යම් බඳු මල් පූජාවක් කළෙම් ද, එතැන් පටන් මම දුගතියක නූපන්නෙමි. මල් පූජාවෙහි මේ විපාකය යි.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත්බවට පත්වූ ඒ හි භික්ෂු පැවිදි උපසම්පදාව ලැබූ ගවම්පතී තෙරුන්, විමුක්ති සුවය විඳිමින් සාකේත නුවර අඳුන් වනයෙහි වාසය කළේය. එසමයෙහි මහත් වූ භික්ෂුසංඝයා පිරිවරාගත් භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවරට වැඩම වා අඳුන් වනයට පිවිසිසේක. එහි සෙනසුන් ප්‍රමාණවත් නොවූ බැවින් මධ්‍යම රාත්‍රියෙහි නදියේ ජලය වැඩි වූ බැවින් සාමණේරා දී හු මහත් ශබ්ද කළහ. භාග්‍යවතුන් වහන්සේ එම මහා ශබ්දය අසා ගවම්පතී තෙරුන්ට මෙසේ අණකළ සේක “ගවම්පතිය! යන්න, ජල සැඬපහර මැඩ පවත්වා භික්ෂූන් වහන්සේ සඳහා සුවපහසු වාසයක් ඇතිකරන්න.” ගවම්පතී තෙරණුවෝ ද එය අසා, “ස්වාමීනි, යහපති” යි පවසා, එතැනට වැඩ සෘද්ධිබලයෙන් නදියේ ජල පහර මැඩ පැවැත්වූහ. එසේ මැඩපැවැත් වූ ජල පහර ඉතා දුරින් පර්වත කූටයක් මෙන් සිටියේ ය. එතැන් පටන් ගවම්පතී තෙරුන්ගේ ආනුභාවය (බලමහිමය) ප්‍රකට විය. එක්දිනක් භාග්‍යවතුන් වහන්සේ මහත් වූ දෙව් පිරිස් පිරිවරා දහම් දෙසන එම තෙරුන් දැක, ලොවට අනුකම්පා පිණිස එම තෙරුන්ගේ මහත් ව ගුණයන් ප්‍රකට කරන සේක්, එම ගුණයන්ට ප්‍රශංසා කරමින් “යො ඉද්ධියා සරභුං” යන ගාථාව වදාළ සේක.
එහි “ඉද්ධියා” යනු අධිෂ්ඨාන සෘද්ධියෙන් “සරභුං” යන එනමින් හැඳින්වෙන නදියයි. “අට්ඨපෙසි”, දිය පහර ගලාගෙන යෑමට නොදී පර්වත කූටයක් මෙන් මහත් සැඩපහර නැවැත්වීද, මහත් වූ ජල රැසක් කොට නැවැත්වී ද, “අසිතො” යනු “න සාතො” තණ්හා දෘෂ්ටි ආදී නිශ්‍රය රහිත වූ, “බන්ධන” නම් වූ සියලු සංයෝජන මුළුමනින් ම සිඳ දැමූ බැවින්, කිසිදු බන්ධනයකින් නොබැඳුණු එසේම “එජා” නම් වූ තෘෂ්ණා දී කෙලෙසුන්ගේ නොපවත්නා බැවින් (න + එජා) “අනේජ” නම් වූ “අනෙජො” ඒ ගවම්පති තෙරණුවෝ උන්වහන්සේ සියළු ඇලීම් ඉක්මවූහ. සියළුම රාග, ද්වේෂ, මෝහ, මාන, දෘෂ්ටි ආදී සංගයන් හෙවත් ඇලීම් ඉක්මවා සිටි බැවින් “සබ්බසඞ්ගාතිගතං” නම් වේ. අසේඛ ප්‍රතිපදාවට පිළිපන් මුනිවරයෙකු බැවින් “මහාමුනිං” නම් වේ. එසේ ම කාම, කර්ම ආදී භව සංඛ්‍යාත ප්රභේදයන් හි, සියලුම භවයන් හි පරතෙරට හෙවත් නිවණට පැමිණි බැවින් බැවින් “භවස්ස පාරගුං” භව පරතෙරට පැමිණි. “දෙවා නමස්සන්ති” යනු උන්වහන්සේට දෙවියෝ ද වඳිති. සෙසු ජනයා පිළිබඳව කියනු කිම? මෙම ගාථාව අවසානයේ දී බොහෝ දෙනාට ධර්මාවබෝධ විය.
තෙරුන් වහන්සේ සිය රහත්බව ප්‍රකාශ කරන සේක්, “ශාස්තෲන් වහන්සේ පුදන්නෙමි” යි එම ගාථාව ම වදාළ සේක.