කුමාපුත්ත ස්ථවිර සහායකත්‍ථේරගාථා වර්ණනාව
“නානාජනපදං යන්තී” යනු ආයුෂ්මත් කුමාපුත්ත සහාය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවේදී කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී නිවන් පතාගෙන කුසල් රැස්කළහ. මෙයින් කල්ප අනූ හතරකට පෙර සිද්ධත්ථ නම් භාග්‍යවතුන් වහන්සේ ලොව පහළවූ සමයෙහි එක් ධනවත් පවුලක උපන් හෙතෙම, වැඩිවියට පැමිණ කැළයට ගොස් බොහෝ ගස් දඬු කඩාගෙන සැරයටි සාදා සංඝ රත්නයට පූජා කළේය. එබඳුම වෙනත් පිංකම්ද ශක්ති පමණින් සිදුකර, දිව්‍යලෝකයන්හි ඉපිද දෙව්සැප විඳිමින් ම කල්යවා, අප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි වේලුකණ්ටක නුවර සමෘද්ධිමත් පවුලක උපන්නේය. ඔහුගේ නම සුදත්ත නම් විය. ඇතැම්හු වාසුල නම් වූ බව ද කියති. ඔහු කුමාපුත්තගේ ප්‍රිය යාලුවෙක්ව සිටියේය. “කුමාපුත්ත පැවිදිවීය” යන පුවත ඇසූ හෙතෙම, කුමාපුත්ත පැවිදි වූ ශාසනය නම් ඒකාන්තයෙන්ම පහත් වූවක් නො වන්නේය.” යැයි සිතා ඔහු අනුවම පැවිදිවනු කැමැත්තේ ශාස්තෲන් වහන්සේ සමීපයට පැමිණියේය. ශාස්තෲන් වහන්සේ ඔහුට දහම් දෙසූ සේක. ඔහු ඉතා වැඩියෙන් පැවිද්දෙහි ඇලුණේ, පැවිදි වී කුමාපුත්ත සමගම ප්‍රත්‍යන්ත පර්වතයක භාවනාවෙහි නියැලී වාසය කළේය. එසමයේ බොහෝ භික්ෂූහු නොයෙක් ජනපදයන්හි ජනපද චාරිකාවේ හැසිරෙමින් එම ස්ථානයට ම පැමිණෙති. එනිසා එම ස්ථානයෙහි කලබල ඇතිවිය. මෙය දුටු සුදත්ත තෙරණුවෝ, මේ භික්ෂූහු නෛර්‍ය්‍යාණික සසුනේ පැවිදි වුවත්, ජනපද පිළිබඳව සිතමින් සිටිනුයේ චිත්ත සමාධියට බාධා කරති.” යි සිතා උපන් සංවේගයෙන්; එම සංවේගයම තම සිත දමනය කර ගන්නා හෙණ්ඩුවක් කරගෙන “නානාජනපදං යන්තී” යන ගාථාව වදාළහ.
එහි “නානා ජනපදං” යනු “වෙන වෙනම වූ නානාවිධ ජනපදයන්හි කාසි - කෝසල ආදී ප්‍රභේද ඇති නොයෙක් රටවල, පෙදෙස්වල” යන අර්ථයයි. “යන්තී” යනු යති. සංචාරය කරති. “විචරන්තා” යනු අසුවල් ජනපදය සුලභ ආහාරපාන ඇත්තකි. ආහාර ලැබීම පහසුය. අසුවල් ජනපදය බියරහිතය, රෝගාබාධ රහිතය” ආදී වශයෙන් කල්පනා කරමින් ජනපද චාරිකාවේ හැසිරෙන්නෝ “අසඤ්ඤතා” යනු එම ජනපදයන් පිළිබඳවම කල්පනා කිරීමෙන් තොර නොවූ සිත් ඇති බැවින් අසංයනව, අසංවරව, “සමාධිඤ්ච විරාසෙන්තී” යනු සැමදෙනාට ම උතුරු මිනිස් දම් වර්ධනයේ මුලාධාර වූ උපචාර අර්පණාදී භේද සහිත සමාධිය ද වරද්දා ගනිති. “ච” ශබ්දය සම්භාවනාර්ථයේ යෙදී ඇත. දේශදේශාන්තරවල හැසිරීමෙන් ධ්‍යාන සිතට අවසරයක් නොලැබේ. එනිසා නොපැමිණියාවූ සමාධීන්ට සිත නොඑළඹෙයි. පැමිණියාවූ චිත්ත සමාධි ආදී වශීභාවයන් නැවත නැවත නොවැඩීමෙන් දිරාගොස් විරුද්ධව සිටියි. වරද්දා ගනියි. “කිංසු රට්ඨංචරියා කරිස්සති” යන්නෙහි “සු” යනු නිපාතයකි. මෙසේ ජනපද චාරිකාවේ හැසිරෙන්නෝ කුමක් කරන්නෝද? “කිං” යනු කවරනම් අර්ථයක් ඉටුකර ගනියිද? නිරර්ථක වූ ම දෙයක් කරයි” යනුවෙන් ගැරහීමට මෙය පවසන ලදි. “තස්මා” යනු යම්හෙයකින් මෙබඳු වූ දේශාන්තරවල හැසිරීමෙන් භික්ෂුවගේ සමාපත්තීන්ට අනර්ථයක් වේ. භික්ෂු ආකල්ප වරද්දා ගනියි. එබැවින් “විනෙය්ය සාරම්භං” යනුවෙන් වෙසෙන ප්‍රදේශයේ නොඇලීම් වශයෙන් උපන් එකට එක කිරීම නම් වූ සිත කෙලෙසන දහම්, ඊට අනුරූප වූ ප්රතිසංස්කරණයන්ගෙන් දුරුකර, සංසිඳුවාගෙන “ඣායෙය්ය” යනු අරමුණු පිළිබඳව හෝ ලක්ෂණ පිළිබඳව හෝ නැවත නැවත සිතීම් - කල්පනාකිරීම් - මෙනෙහිකිරීම් යන දෙයාකාර ධ්‍යානයන් වඩවන්නේය. “අපුරක්ඛතො” යනු මිථ්‍යා දෘෂ්ටි කල්පනාවන්ගෙන් හා තණ්හාදියෙන් පෙරටු නොවූයේ එම අකුසල් සිත් හි වසඟයට නොපැමිණි කමටහන් ම මෙනෙහි කරන්නේය යන අර්ථයයි. මෙසේ එම භික්ෂූන්ට අවවාද වශයෙන් ගාථාව දේශනා කළ තෙරණුවෝ එයම හෙණ්ඩුවක් කරගෙන තම සිත සංවර කරගත් සේක්, විදසුන් වඩා රහත් ඵලය ලබාගත්හ.
“එකල් හි මම මහවනයට පිවිස හුණ ගසක් කපා සැරයටියක් සාදා සංඝයාට පිදුවෙමි.
එම චිත්ත ප්‍රසාදය නිසා මනා ව වුත ඇති සංඝරත්නයට වැඳ, එල්බෙන දණ්ඩක් (සැරයටියක්) පූජාකර උතුරුදෙසට ගියමි.
එදා මීට කල්ප අනූහතරකට පෙර සැරයටියක් පිදීමේ පිණින්, මේ දක්වාම දුගතියක් නුදුටුවෙමි. සැරයටි දානයේ විපාක මෙබඳුය.
මවිසින් සියළු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
යම් අර්ථයක් අංකුසයක් කරගත් මේ තෙරුන් වහන්සේ රහත් බව ලබාගත්තේ ද එම අර්ථයම හදවතෙහි තබාගෙන, රහත් බවට පත් වූ පසුව ද “නානාජනපදංයන්තී” යන මේ ගාථාව ම දේශනා කළහ. එනිසා එයම උන්වහන්සේගේ රහත් බව ප්‍රකාශ කිරීම නම් විය.
කුමාපුත්ත සහාය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
ගවම්පති ස්ථවිරගාථා වර්ණනාව
“යො ඉද්ධියා සරභුං” යන මේ ගාථාව ආයුෂ්මත් ගවම්පති තෙරුන්ගේ ගාථාවකි. එහි උපත කෙසේද? මෙම තෙරුන් ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා හා පින්දහම් ඇත්තෙකි. මීට කල්ප තිස් එකකට පෙර ලොව පහළ වූ සිඛි භාග්‍යවතුන් වහන්සේ, දැක පැහැදුණු සිතින් මල් පූජා කළ පිනින් දෙව්ලොව ඉපදුණු උන්වහන්සේ ඒ ඒ භවයෙහි දී තව තවත් පින් දහම් කරගත්හ. කෝණාගමන භාග්‍යවතුන් වහන්සේගේ සෑයට ඡත්රයක් ද වේදිකාවක් ඔහු විසින් ඉදි කළේය. කස්සප බුදුන් දවස එක්තරා ධනවත් සිටුගෙයක උපන්නේය. එම ගෙදර බොහෝ ගව සම්පතක් විය. ගොපල්ලෝ එම ගව සම්පත සුරකියි. මෙතෙමේ එහි අතරින් පතර යුතු අයුතු දේ විමසමින් හැසිරේ. ඔහු එක් දිනක් රහතන් වහන්සේ නමක් ගමෙහි පිඬුපිණිස හැසිර, ගමින් පිටත සිට දිනපතා ම දානය වළඳන බව දුටුවේය. “ආර්යයන් වහන්සේ සූර්ය තාපයෙන් වෙහෙසට පත්වන්නේය” යි සිතූ ඔහු මහරි දඬු සතරක් ඔසවා, ඒ මත්තෙහි මහරි අතු දමා ගස් අතු මණ්ඩපයක් කරවා පූජා කළේය. එම මණ්ඩප සමීපයේ මහරි ගසක් රෝපණය කළ බව ද කියති. ඔහු කෙරෙහි අනුකම්පාවෙන් රහතන් වහන්සේ දිනපතාම එහි හිඳ බත් කිස කළසේක. ඔහු ඒ පින්කම හේතුවෙන් ඔහුගේ විමන් දොර මහත් මහරී වනයක් පහළ විය. එහි වර්ණගන්ධ සම්පන්න වූ පුෂ්පයෝ සැම කල්හි ම පවතිති. එනිසා එම උයන “සේරිස්සක” නාමයෙන් ප්‍රකට විය. ඒ දෙව් පුතු ද එක් බුද්ධාන්තරයක් දෙව් මිනිසුන් අතරෙහි සැරි සරා, මේ බුද්ධෝත්පාද කාලයෙහි යස තෙරුන්ගේ යහළුවන් සතර දෙනා අතුරින් ගවම්පතී නම් යහලුවා ලෙස උපන්නේ ය. යස කුමරුගේ පැවිදි වීම ඇසූ ගවම්පතී කුමරු ද තම යහලුවන් සමග භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණියේ ය. ශාස්තෲන් වහන්සේ ගේ ධර්ම දේශනාව ඇසූ ඔවුහු සතර දෙනම රහත් ඵලයෙහි පිහිටියහ.