කුමාපුත්ත ස්ථවිරගාථා වර්ණනාව
“සාධු සුතං” යනු ආයුෂ්මත් කුමා පුත්ත තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? මේ තෙරුන් වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව, මෙයින් කල්ප අනූ එකකට පෙර අඳුන් දිවිසම් පොරවාගත් තාපසයෙක් වී බන්‍ධුමතී නුවර රාජෝද්‍යානයේ වාසය කළහ. ඒ තවුසා විපස්සි භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතින්, පයේ ගල්වන තෙල් පිළිගැන්වීය. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්ලොව ඉපිද, එතැන් පටන් සුගතීන්හිම සැරිසරමින් අවුත් අප තථාගතයන් වහන්සේ ලොව පහළ වූ සමයේදී අවන්ති රට වෙලුකණ්ටක නම් නුවර ගහපති කුලයක උපන්නේය. නන්ද නමින් ප්‍රකට වූ ඔහුගේ මව “කුමා” නම් වූවාය. එනිසා “කුමාපුත්ත” යනුවෙන් ද ජනයා මොහු හැඳින්වූහ. ඔහු වැඩිවිය පත්ව සාරිපුත්ත මහරහතන් වහන්සේ සමීපයේදී බණ අසා ලැබූ ශ්‍රද්ධා ඇතිව පැවිදි විය. පසුව උපසම්පදාව ද ලැබූ උන්වහන්සේ කරන ලද පූර්ව කටයුතු ඇති සේක්, පිටිසර පර්වත පෙදෙසක වෙසෙමින් මහණදම් පුරන නමුත් ගුණ විශේෂයක් උපදවා ගැනීමට අපොහොසත් විය. එනිසා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණි කුමාපුත්ත තෙරණුවෝ ධර්‍මශ්‍රවණය කොට, නැවත කමටහන් ලබාගෙන සුදුසු සෙනසුනක වාසයට ගොස් විදසුන් වඩා රහත් ඵලයෙහි පිහිටියහ. එනිසා අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කර ඇත. (අපදාන පාළි II - අබ්භඤ්ජනදායක ත්‍ථෙරාපදානං)
“මම බන්‍ධුමතී නුවර රජ උයනෙහි වාසය කළෙමි එසමයෙහි මම සම්, කඩමාලු හඳින තවුසෙක් වීමි.
සියලු දෙය තමන් වහන්සේ ම දැනගත්තා වූ, අපරාජිත වූ, ප්‍රධන් වීර්යයෙහි මෙහෙයු සිත් ඇති, ධ්‍යාන වඩන්නා වූ, ධ්‍යානයෙහි ඇලුනා වූ, පස් වැදෑරුම් වශී ධර්මයන්ගෙන් පිරිපුන් නිර්‍මල වූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
සියලු අභිමතාර්ථයන් සමෘද්ධිමත් කරගත්, චතුරෝඝයන් තරණය කළ, ආශ්‍රව රහිත බුදුරජාණන් වහන්සේ දැක, පහන් වූ සිත් ඇති මම සතුටු සිතින් අඟ ගල්වන තෙල් පූජා කළෙමි.”
“එසමයේ මීට කල්ප අනූඑකකට පෙර යම් තෙලක් පූජා කළෙම් ද එතැන් සිට මම දුගතියකට නොගියෙමි. ඇඟ ගල්වන තෙල් පිදීමේ විපාකය මෙබඳු වේ.
මවිසින් දැන් සියලු කෙලෙස් දවන ලදි. සියලු භවයන් නසන ලදි. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳදමා ආශ්‍රව රහිත වෙසෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් වූ එම තෙරණුවෝ අරණ්‍යයෙහි වසන කල්හි දැඩිවූ පැවතුම් ඇති භික්‍ෂූන් දැක ඔවුන්ට අවවාද දෙමින්, සසුනේ නෛර්යාණික බව ප්‍රකාශ කිරීම් වශයෙන් “සාධු සුතං සාධු චරිතකං” යන ගාථාව වදාළහ.
“සාධු” යනු යහපති. මැනවි “සුතං” යනු ඇසීමයි. එහිදී සසරින් මිදීම ආශ්‍රිත වූ විශේෂයෙන් ම අල්පේච්ඡා දී ගුණයන්ගෙන් යුක්ත වූ දසකථාවස්තූන් ශ්‍රාවණය කිරීම මෙම වචනයෙන් අදහස් කරන ලදි. “සාධු චරිතකං” යනු එම අල්පේච්ඡාදී චරිත, බොහෝ කලක් එම යහපත් චරිතයන්හි ම හැසිරුණු චරිත, එසේ හැසිරීම, මේ පදවලින් බහුශ්‍රැත බවද ඊට අනුරූපී ප්‍රතිපත්තිය ද මැනවැයි (සුන්දරයයි) දක්වයි. “සදා” යනු සෑම කල්හි. නවක, තරුණ, මහළු යන සෑම අවස්ථාවකදී ම සෑම ඉරියවුවකදීම, “අනිකෙත විහාරො” යනු කෙලෙසුන්ට නිවාසයක් වූ පංචකාම ගුණයන් ට හෝ ලෞකික ෂඩාරම්මණ ධර්‍මයන්ට හෝ වාසස්ථානවූයේ “නිකේත” නම් වේ. මෙසේ කියන ලදි. “ගහපතිය, රූප නිමිත්තෙ ඇලී වාසය කිරීම “නිකේතසාරී” යැයි කියනු ලැබේ” ආදී වශයෙනි. ඒ වාසස්ථානයන්ගේ, නිකේතයන්ගේ ප්‍රහාණය සඳහා පිළිපැදීම අනිකේත විහාර නම් වේ. “අත්‍ථ පුච්ඡනං” යනු මෙකරුණු නොදන්නාගේ කලණ මිතුරකු හමුවට ගොස් මෙලෝ, පරලෝ හා පරමාර්ථ ප්‍රභේදාදිය පිළිබඳ ප්‍රශ්න කිරීමයි, අර්ථ විමසීමයි. කුශලාකුශලාදි ස්වභාව ධර්‍මයන් ගේ අර්ථය, “ස්වාමීනි, කුසලය කුමක්ද? අකුසලය කුමක්ද? සාවද්‍ය දෙය කුමක්ද? නිරවද්‍ය දෙය කුමක් ද?” ආදී වශයෙන් විමසීමයි. අර්ථ විමසුමයි. “පදක්ඛිණකම්මං” යනු එසේ විමසා ලැබුණු පිළිතුරු, උපදෙස්, අවවාද මනාව ගෞරවයෙන් පිළිගෙන, ඒවායෙහි පිහිටා යහපත් ව හැසිරීමයි. මෙතැනටද “සාධු” “මැනවි” යන පදය යෙදිය යුතුයි. “එතං සාමඤ්ඤං” යනු යහපත්ව ඇසීම් ආදී වශයෙන් කියූ ලෙස යමක් අසන ලද ද, යමක් අනුව හැසිරෙන ලද ද, යමක් අනුව හැසිරෙන ලද ද, පඤ්චකාමයන්ගෙන් වෙන් කියු ලෙස යමක් අසන ලද ද, යමක් අනුව හැසිරෙන ලද ද, පඤ්චකාමයන්ගෙන් වෙන් ව විසීම ද, සත්පුරුෂයන් වෙතින් අරුත් විමසීම ද, ඒවා ගෞරවයෙන් පිළිගෙන හැසිරීමද යන මේවා ශ්‍රමණ ධර්ම වේ. මෙයම ශ්‍රමණභාවයයි. මෙම ප්‍රතිපදාවෙන්ම, පිළිවෙතින්ම ශ්‍රමණභාවය වේ. වෙනත් පිළිවෙතකින් නොවේ. එනිසා ම “සාමඤ්ඤං” යන්න නොවෙනස්වන මාර්‍ගඵලයන්ට (ආර්‍ය්‍ය මාර්ග ඵලයන්ට) භාවිතවන තවත් සමාන වචනයකි. මෙය අපණ්ණක ප්‍රතිපදාවයි. මේ ශ්‍රමණභාවය යමකින් ලැබේද එය දැක්වීමට “අකිඤ්චනස්ස” “පළිබෝධ රහිත” යැයි කියන ලදි. අල්වාගැනීම් නැත්තාට කෙත්වතු, රන්රිදී, දැසි දස් යනාදී දෙය පිළිබඳ අයිතිවාසිකම්, අල්ලාගැනීම් රහිත පුද්ගලයාට යන අර්ථයයි.
කුමාපුත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
කුමාපුත්ත ස්ථවිර සහායකත්‍ථේරගාථා වර්ණනාව
“නානාජනපදං යන්තී” යනු ආයුෂ්මත් කුමාපුත්ත සහාය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවේදී කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී නිවන් පතාගෙන කුසල් රැස්කළහ. මෙයින් කල්ප අනූ හතරකට පෙර සිද්ධත්ථ නම් භාග්‍යවතුන් වහන්සේ ලොව පහළවූ සමයෙහි එක් ධනවත් පවුලක උපන් හෙතෙම, වැඩිවියට පැමිණ කැළයට ගොස් බොහෝ ගස් දඬු කඩාගෙන සැරයටි සාදා සංඝ රත්නයට පූජා කළේය. එබඳුම වෙනත් පිංකම්ද ශක්ති පමණින් සිදුකර, දිව්‍යලෝකයන්හි ඉපිද දෙව්සැප විඳිමින් ම කල්යවා, අප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි වේලුකණ්ටක නුවර සමෘද්ධිමත් පවුලක උපන්නේය. ඔහුගේ නම සුදත්ත නම් විය. ඇතැම්හු වාසුල නම් වූ බව ද කියති. ඔහු කුමාපුත්තගේ ප්‍රිය යාලුවෙක්ව සිටියේය. “කුමාපුත්ත පැවිදිවීය” යන පුවත ඇසූ හෙතෙම, කුමාපුත්ත පැවිදි වූ ශාසනය නම් ඒකාන්තයෙන්ම පහත් වූවක් නො වන්නේය.” යැයි සිතා ඔහු අනුවම පැවිදිවනු කැමැත්තේ ශාස්තෲන් වහන්සේ සමීපයට පැමිණියේය. ශාස්තෲන් වහන්සේ ඔහුට දහම් දෙසූ සේක. ඔහු ඉතා වැඩියෙන් පැවිද්දෙහි ඇලුණේ, පැවිදි වී කුමාපුත්ත සමගම ප්‍රත්‍යන්ත පර්වතයක භාවනාවෙහි නියැලී වාසය කළේය. එසමයේ බොහෝ භික්‍ෂූහු නොයෙක් ජනපදයන්හි ජනපද චාරිකාවේ හැසිරෙමින් එම ස්ථානයට ම පැමිණෙති. එනිසා එම ස්ථානයෙහි කලබල ඇතිවිය. මෙය දුටු සුදත්ත තෙරණුවෝ, මේ භික්‍ෂූහු නෛර්‍ය්‍යාණික සසුනේ පැවිදි වුවත්, ජනපද පිළිබඳව සිතමින් සිටිනුයේ චිත්ත සමාධියට බාධා කරති.” යි සිතා උපන් සංවේගයෙන්; එම සංවේගයම තම සිත දමනය කර ගන්නා හෙණ්ඩුවක් කරගෙන “නානාජනපදං යන්තී” යන ගාථාව වදාළහ.
එහි “නානා ජනපදං” යනු “වෙන වෙනම වූ නානාවිධ ජනපදයන්හි කාසි - කෝසල ආදී ප්‍රභේද ඇති නොයෙක් රටවල, පෙදෙස්වල” යන අර්ථයයි. “යන්තී” යනු යති. සංචාරය කරති. “විචරන්තා” යනු අසුවල් ජනපදය සුලභ ආහාරපාන ඇත්තකි. ආහාර ලැබීම පහසුය. අසුවල් ජනපදය බියරහිතය, රෝගාබාධ රහිතය” ආදී වශයෙන් කල්පනා කරමින් ජනපද චාරිකාවේ හැසිරෙන්නෝ “අසඤ්ඤතා” යනු එම ජනපදයන් පිළිබඳවම කල්පනා කිරීමෙන් තොර නොවූ සිත් ඇති බැවින් අසංයනව, අසංවරව, “සමාධිඤ්ච විරාසෙන්තී” යනු සැමදෙනාට ම උතුරු මිනිස් දම් වර්ධනයේ මුලාධාර වූ උපචාර අර්පණාදී භේද සහිත සමාධිය ද වරද්දා ගනිති. “ච” ශබ්දය සම්භාවනාර්ථයේ යෙදී ඇත. දේශදේශාන්තරවල හැසිරීමෙන් ධ්‍යාන සිතට අවසරයක් නොලැබේ. එනිසා නොපැමිණියාවූ සමාධීන්ට සිත නොඑළඹෙයි. පැමිණියාවූ චිත්ත සමාධි ආදී වශීභාවයන් නැවත නැවත නොවැඩීමෙන් දිරාගොස් විරුද්ධව සිටියි. වරද්දා ගනියි. “කිංසු රට්ඨංචරියා කරිස්සති” යන්නෙහි “සු” යනු නිපාතයකි. මෙසේ ජනපද චාරිකාවේ හැසිරෙන්නෝ කුමක් කරන්නෝද? “කිං” යනු කවරනම් අර්ථයක් ඉටුකර ගනියිද? නිරර්ථක වූ ම දෙයක් කරයි” යනුවෙන් ගැරහීමට මෙය පවසන ලදි. “තස්මා” යනු යම්හෙයකින් මෙබඳු වූ දේශාන්තරවල හැසිරීමෙන් භික්‍ෂුවගේ සමාපත්තීන්ට අනර්ථයක් වේ. භික්‍ෂු ආකල්ප වරද්දා ගනියි. එබැවින් “විනෙය්‍ය සාරම්භං” යනුවෙන් වෙසෙන ප්‍රදේශයේ නොඇලීම් වශයෙන් උපන් එකට එක කිරීම නම් වූ සිත කෙලෙසන දහම්, ඊට අනුරූප වූ ප්‍රතිසංස්කරණයන්ගෙන් දුරුකර, සංසිඳුවාගෙන “ඣායෙය්‍ය” යනු අරමුණු පිළිබඳව හෝ ලක්‍ෂණ පිළිබඳව හෝ නැවත නැවත සිතීම් - කල්පනාකිරීම් - මෙනෙහිකිරීම් යන දෙයාකාර ධ්‍යානයන් වඩවන්නේය. “අපුරක්ඛතො” යනු මිථ්‍යා දෘෂ්ටි කල්පනාවන්ගෙන් හා තණ්හාදියෙන් පෙරටු නොවූයේ එම අකුසල් සිත් හි වසඟයට නොපැමිණි කමටහන් ම මෙනෙහි කරන්නේය යන අර්ථයයි. මෙසේ එම භික්‍ෂූන්ට අවවාද වශයෙන් ගාථාව දේශනා කළ තෙරණුවෝ එයම හෙණ්ඩුවක් කරගෙන තම සිත සංවර කරගත් සේක්, විදසුන් වඩා රහත් ඵලය ලබාගත්හ.