සාමඤ්ඤකානි ස්ථවිරගාථා වර්ණනාව
“සුඛං සුඛත්‍ථො” යනු ආයුෂ්මත් සාමඤ්ඤකානි තෙරුන්ගේ ගාථාවකි. එහි උපත කෙසේද? උන්වහන්සේද පෙර බුදුවරුන් සමීපයේදී කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි ඉපිද කුසල දහම් රැස් කරනුයේ මෙයින් කල්ප අනූ එකකට පෙර පහළ වූ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී මනුෂ්‍යයෙක්ව උපන්හ. හෙතෙම විපස්සි බුදුරජාණන් වහන්සේ දැක පැහැදුණු සිතින් එක් ඇඳක් පූජා කළේය. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිසුන් අතර සැරිසරමින් අවුත් අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ එක්තරා පරිව්‍රාජක පුත්‍රයෙක්ව උපන්නේ ය. “සාමඤ්ඤකානි” නමින් ප්‍රකට වූ ඔහු, වැඩිවියට පැමිණ ශාස්තෲන් වහන්සේගේ යමක මහා ප්‍රාතිහාර්යය දැක සසුනේ පැවිදි විය. චරිතයට යෝග්‍ය කමටහන් ගෙන ධ්‍යාන උපදවාගත් උන්වහන්සේ, එම ධ්‍යානයම පාදක කරගෙන විදසුන් වඩා රහත් වූහ. උන්වහන්සේ තම චරිතා පදානය මෙසේ දැක්වූහ. (අපදාන පාළි II, මඤ්චදායක ත්‍ථෙරාපදානං)
“ලෝක ජ්‍යෙෂ්ඨ වූ තාදී ගුණ ඇති විපස්සී බුදුරජාණන් වහන්සේට මම පැහැදුණු සිතින් යුක්තවූයෙම් සියතින්ම එක් ඇඳක් පූජා කළෙමි.
එසේ ඇඳක් පිදීමේ පිනින් මම ඇත්, අස්, දිව්‍ය ආදී යාන ලැබුවෙමි. දැන් ආශ්‍රවක්‍ෂය කළෙමි.
මෙයින් කල්ප අනූ එකකට පෙර යම් ඇඳක් පූජා කළෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. ඇඳ පූජා කිරීමේ විපාක මෙබඳුය.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. සියලු භව නසන ලදි. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ දමා වෙසෙමි. -පෙ- මවිසින් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
එම තෙරුන්ගේ ගිහිකළ යහළුවෙකු වූ “කාතියාන” නම් පිරිවැජියා; බුදුරජාණන් වහන්සේගේ පහළවීමේ සිට අන්‍ය තීර්ථකයන්ගේ ලාභ සත්කාරාදිය නැසුණු බැවින්, කෑම් බීම් ආදී පමණක්වත් නොලැබ ආජීවක බව පිළිබඳව කළකිරී තෙරුන් වහන්සේ වෙත එළඹ මෙසේ ඇසීය. “නුඹ වහන්සේලා ශාක්‍යපුත්‍රයෝ නම් වෙති. මහත් වූ ලාභ සත්කාර කීර්ති ආදියෙන් අග්‍රප්‍රාප්තව සුවසේ ජීවත් වන්නෝය. අපි වනාහි දුක්ඛිතව දුෂ්කරව ජීවත්වෙමු. කෙසේ පිළිපදින්නහුට මෙලොවත් පරලොවත් සැප ලැබේද?”යි ප්‍රශ්න කළ කල්හි තෙරණුවෝ “නොවෙනස්වන සැපයක් ඇත්නම් ඒ ලෝකෝත්තර සැපයම වේ. එය ලැබෙනුයේ ඊට අනුකූල වූ පිළිවෙත් සම්පූර්ණ කිරීමෙනි”යි වදාරා; තමන් වහන්සේ එම සැපයට පැමිණි බව ප්‍රකට කරන සේක්, “සුඛං සුඛත්‍ථො ලභතෙ තදාචරං” යන ගාථාව වදාළ සේක.
එහි “සුඛං” යනු සැපයි. නිරාමිස සුවය මෙහිදී අදහස් වේ. ඵලසමාපත්තිය හා නිර්වාණය මෙහිදී අදහස් කරයි. එය එසේමැයි. මේ සමාධි නම් ශික්‍ෂාව වර්තමානයේම සැප ගෙන දෙයි. අනාගතයේ සැප විපාක ලබාදෙයි. ‘නිවන උතුම්ම වූ සැපය’ යැයි කියන ලදි. “සුඛත්‍ථො” යනු සැපය කැමැත්තා, ඉහත විස්තර කළ සැපයෙන් ප්‍රයෝජනයක් ඇත්තා. “ලභතෙ” යනු පැමිණෙයි. සැප වේදනාව කැමැත්තාටම ලැබේ. අන්‍යයන්ට නොලැබේ. සැප කැමැත්තා කවරෙක්දැ”යි පැවසීමට “තදාචරං” ආදිය දැක්විණි. එම සැපය නම් වූ අර්ථය පිණිස හැසිරෙන්නේ. යම් පිළිවෙතකින් යුක්ත වූ. සැප ලබන පිළිවෙත් පුරන්නේ යන අර්ථයයි. හුදෙක් එම පිළිවෙත් පිරීමෙන් අපේක්ෂිත වූ සැපය පමණක් නොව කීර්තිය ද ලැබේ. “මොහු සිල්වතෙකි. ඉතා පිරිසිදු කාය වාග් හැසිරීම් ඇත්තෙකි. ධ්‍යාන වඩන්නෙකි. ධ්‍යානාංගයන්ගෙන් පිරිපුන් වූවෙකි.” ආදී වශයෙන් කීර්තිය අනභිමුඛයෙහි ද (තමා නැති තැන ද) හොඳ නම පැතිරීම් වශයෙන් ලැබේ. “යසස්ස වඩ්ඪති” යනු ඉදිරියේදී ගුණ පැවසීම්, ස්තූති කිරීම් ආදියෙන්ද පිරිවර සම්පත් ආදි වශයෙන් ද ඔහුගේ යසස වැඩේ. දැන් “තදාචරං” යනුවෙන් නාමිකව දැක්වූ අර්ථයෙහි පිළිපැදිය යුතු පිළිවෙතෙහි ස්වභාවය දක්වමින්, “යො අරියමඩ්ඨඞ්ගික මඤ්ජසං උජුං භාවෙති මග්ගං අමතස්ස පත්තියා” යනුවෙන් වදාළහ. එහි අර්ථය මෙසේය. “යම් පුද්ගලයෙක් කෙලෙස්වලින් දුරු වී පිරිසිදුවීම සඳහා පිළිපදිනු ලබන ප්‍රතිපත්තිය, ආර්යභාවය ගෙන දෙන බැවින් “අරියං” නම් වේ. සම්මා දිට්ඨිය ආදි වශයෙන් අංග අටකින් සමන්විත බැවින් “අට්ඨංගික” නම් වේ. අන්ත දෙකින් බැහැර වූ මැදුම් පිළිවෙත වැඩීම් වශයෙන්, ඇද රහිත වූ බැවින් “අඤ්ජසං” (මාර්ගය) නම් වූ. කයින් වන වැරදි ආදියෙන් දුරු වූ බැවින් “උජුං” (සෘජු) නම් වූ නිවණ කැමැත්තවුන් විසින් මාර්ගයෙහි යෙදීමෙන්, කෙලෙසුන් වනසා දමමින් ගමන් කිරීමෙන් “මග්ගං” යනු මාර්ගය වශයෙන් ලැබූ නම් ඇති. දුක් නැති කරන පිළිවෙත; නිවණට, අසංඛත ධාතුවට පැමිණීම සඳහා හෝ අවබෝධ කර ගැනීම සඳහා හෝ අවබෝධ කරගැනීම සඳහා වඩයි; තමාගේ සන්තානයෙහි උපදවයි, වඩයි. එසේ වඩන පුද්ගලයා නොවෙනස්වන සැපය “තදාචරං” ලැබීමට කැමැත්තා එහි හැසිරෙයි. එනිසා ඔහු ඉහත විස්තර කළ සැප ලබයි. මෙම දේශනාව ඇසූ පිරිවැජියා පැහැදුණු සිතින් යුක්තව සසුනේ පැවිදි විය. යහපත් වූ ආර්‍ය්‍ය මාර්ගයෙහි ගමන් කළ හෙතෙම නොබෝ කලකින් ම විදසුන් වඩා රහත් බව ලබාගත්තේය. මෙම ගාථාවම සාමඤ්ඤානි තෙරුන්ගේ රහත් බව ප්‍රකාශ විය.
සාමඤ්ඤකානි ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
කුමාපුත්ත ස්ථවිරගාථා වර්ණනාව
“සාධු සුතං” යනු ආයුෂ්මත් කුමා පුත්ත තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? මේ තෙරුන් වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව, මෙයින් කල්ප අනූ එකකට පෙර අඳුන් දිවිසම් පොරවාගත් තාපසයෙක් වී බන්‍ධුමතී නුවර රාජෝද්‍යානයේ වාසය කළහ. ඒ තවුසා විපස්සි භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතින්, පයේ ගල්වන තෙල් පිළිගැන්වීය. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්ලොව ඉපිද, එතැන් පටන් සුගතීන්හිම සැරිසරමින් අවුත් අප තථාගතයන් වහන්සේ ලොව පහළ වූ සමයේදී අවන්ති රට වෙලුකණ්ටක නම් නුවර ගහපති කුලයක උපන්නේය. නන්ද නමින් ප්‍රකට වූ ඔහුගේ මව “කුමා” නම් වූවාය. එනිසා “කුමාපුත්ත” යනුවෙන් ද ජනයා මොහු හැඳින්වූහ. ඔහු වැඩිවිය පත්ව සාරිපුත්ත මහරහතන් වහන්සේ සමීපයේදී බණ අසා ලැබූ ශ්‍රද්ධා ඇතිව පැවිදි විය. පසුව උපසම්පදාව ද ලැබූ උන්වහන්සේ කරන ලද පූර්ව කටයුතු ඇති සේක්, පිටිසර පර්වත පෙදෙසක වෙසෙමින් මහණදම් පුරන නමුත් ගුණ විශේෂයක් උපදවා ගැනීමට අපොහොසත් විය. එනිසා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණි කුමාපුත්ත තෙරණුවෝ ධර්‍මශ්‍රවණය කොට, නැවත කමටහන් ලබාගෙන සුදුසු සෙනසුනක වාසයට ගොස් විදසුන් වඩා රහත් ඵලයෙහි පිහිටියහ. එනිසා අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කර ඇත. (අපදාන පාළි II - අබ්භඤ්ජනදායක ත්‍ථෙරාපදානං)
“මම බන්‍ධුමතී නුවර රජ උයනෙහි වාසය කළෙමි එසමයෙහි මම සම්, කඩමාලු හඳින තවුසෙක් වීමි.
සියලු දෙය තමන් වහන්සේ ම දැනගත්තා වූ, අපරාජිත වූ, ප්‍රධන් වීර්යයෙහි මෙහෙයු සිත් ඇති, ධ්‍යාන වඩන්නා වූ, ධ්‍යානයෙහි ඇලුනා වූ, පස් වැදෑරුම් වශී ධර්මයන්ගෙන් පිරිපුන් නිර්‍මල වූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
සියලු අභිමතාර්ථයන් සමෘද්ධිමත් කරගත්, චතුරෝඝයන් තරණය කළ, ආශ්‍රව රහිත බුදුරජාණන් වහන්සේ දැක, පහන් වූ සිත් ඇති මම සතුටු සිතින් අඟ ගල්වන තෙල් පූජා කළෙමි.”
“එසමයේ මීට කල්ප අනූඑකකට පෙර යම් තෙලක් පූජා කළෙම් ද එතැන් සිට මම දුගතියකට නොගියෙමි. ඇඟ ගල්වන තෙල් පිදීමේ විපාකය මෙබඳු වේ.
මවිසින් දැන් සියලු කෙලෙස් දවන ලදි. සියලු භවයන් නසන ලදි. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳදමා ආශ්‍රව රහිත වෙසෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් වූ එම තෙරණුවෝ අරණ්‍යයෙහි වසන කල්හි දැඩිවූ පැවතුම් ඇති භික්‍ෂූන් දැක ඔවුන්ට අවවාද දෙමින්, සසුනේ නෛර්යාණික බව ප්‍රකාශ කිරීම් වශයෙන් “සාධු සුතං සාධු චරිතකං” යන ගාථාව වදාළහ.
“සාධු” යනු යහපති. මැනවි “සුතං” යනු ඇසීමයි. එහිදී සසරින් මිදීම ආශ්‍රිත වූ විශේෂයෙන් ම අල්පේච්ඡා දී ගුණයන්ගෙන් යුක්ත වූ දසකථාවස්තූන් ශ්‍රාවණය කිරීම මෙම වචනයෙන් අදහස් කරන ලදි. “සාධු චරිතකං” යනු එම අල්පේච්ඡාදී චරිත, බොහෝ කලක් එම යහපත් චරිතයන්හි ම හැසිරුණු චරිත, එසේ හැසිරීම, මේ පදවලින් බහුශ්‍රැත බවද ඊට අනුරූපී ප්‍රතිපත්තිය ද මැනවැයි (සුන්දරයයි) දක්වයි. “සදා” යනු සෑම කල්හි. නවක, තරුණ, මහළු යන සෑම අවස්ථාවකදී ම සෑම ඉරියවුවකදීම, “අනිකෙත විහාරො” යනු කෙලෙසුන්ට නිවාසයක් වූ පංචකාම ගුණයන් ට හෝ ලෞකික ෂඩාරම්මණ ධර්‍මයන්ට හෝ වාසස්ථානවූයේ “නිකේත” නම් වේ. මෙසේ කියන ලදි. “ගහපතිය, රූප නිමිත්තෙ ඇලී වාසය කිරීම “නිකේතසාරී” යැයි කියනු ලැබේ” ආදී වශයෙනි. ඒ වාසස්ථානයන්ගේ, නිකේතයන්ගේ ප්‍රහාණය සඳහා පිළිපැදීම අනිකේත විහාර නම් වේ. “අත්‍ථ පුච්ඡනං” යනු මෙකරුණු නොදන්නාගේ කලණ මිතුරකු හමුවට ගොස් මෙලෝ, පරලෝ හා පරමාර්ථ ප්‍රභේදාදිය පිළිබඳ ප්‍රශ්න කිරීමයි, අර්ථ විමසීමයි. කුශලාකුශලාදි ස්වභාව ධර්‍මයන් ගේ අර්ථය, “ස්වාමීනි, කුසලය කුමක්ද? අකුසලය කුමක්ද? සාවද්‍ය දෙය කුමක්ද? නිරවද්‍ය දෙය කුමක් ද?” ආදී වශයෙන් විමසීමයි. අර්ථ විමසුමයි. “පදක්ඛිණකම්මං” යනු එසේ විමසා ලැබුණු පිළිතුරු, උපදෙස්, අවවාද මනාව ගෞරවයෙන් පිළිගෙන, ඒවායෙහි පිහිටා යහපත් ව හැසිරීමයි. මෙතැනටද “සාධු” “මැනවි” යන පදය යෙදිය යුතුයි. “එතං සාමඤ්ඤං” යනු යහපත්ව ඇසීම් ආදී වශයෙන් කියූ ලෙස යමක් අසන ලද ද, යමක් අනුව හැසිරෙන ලද ද, යමක් අනුව හැසිරෙන ලද ද, පඤ්චකාමයන්ගෙන් වෙන් කියු ලෙස යමක් අසන ලද ද, යමක් අනුව හැසිරෙන ලද ද, පඤ්චකාමයන්ගෙන් වෙන් ව විසීම ද, සත්පුරුෂයන් වෙතින් අරුත් විමසීම ද, ඒවා ගෞරවයෙන් පිළිගෙන හැසිරීමද යන මේවා ශ්‍රමණ ධර්ම වේ. මෙයම ශ්‍රමණභාවයයි. මෙම ප්‍රතිපදාවෙන්ම, පිළිවෙතින්ම ශ්‍රමණභාවය වේ. වෙනත් පිළිවෙතකින් නොවේ. එනිසා ම “සාමඤ්ඤං” යන්න නොවෙනස්වන මාර්‍ගඵලයන්ට (ආර්‍ය්‍ය මාර්ග ඵලයන්ට) භාවිතවන තවත් සමාන වචනයකි. මෙය අපණ්ණක ප්‍රතිපදාවයි. මේ ශ්‍රමණභාවය යමකින් ලැබේද එය දැක්වීමට “අකිඤ්චනස්ස” “පළිබෝධ රහිත” යැයි කියන ලදි. අල්වාගැනීම් නැත්තාට කෙත්වතු, රන්රිදී, දැසි දස් යනාදී දෙය පිළිබඳ අයිතිවාසිකම්, අල්ලාගැනීම් රහිත පුද්ගලයාට යන අර්ථයයි.