පෝසිය ස්ථවිරගාථා වර්ණනාව
“අනාසන්නවරා” යනු ආයුෂ්මත් පෝසිය තෙරුන් වහන්සේගේ ගාථාවකි. එහි උපත කෙසේද? උන්වහන්සේද පෙර බුදුවරුන් හමුවෙහි කළ ප්රාර්ථනා ඇති සේක. ඒ ඒ භවයන්හි ඉපිද නිවන් පතාගෙන බොහෝ කුසල දහම් රැස් කරගෙන කාම සුගතීන්හිම සැරිසරා මීට කල්ප අනූ හතරකට පෙර තිස්ස නම් භාග්යවතුන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි මුව වැද්දෙක් ව ඉපිද කැළයේ හැසිරුණේය. භාග්යවතුන් වහන්සේ ඔහුට අනුග්රහ කිරීම පිණිස කැළයට වැඩමවා ඔහුගේ ඇසට පෙනෙන සේ වැඩ සිටි සේක. උන්වහන්සේ දුටු පහන් සිත් ඇති වැදි තෙම දුනු හී පසෙක දමා ඇඳිලි බැඳගෙන සිටියේය. භාග්යවතුන් වහන්සේ හිඳගනු කැමති බවක් දැක්වූ සේක. ඔහු එකෙණෙහිම තණ මිටි ගෙන සමබිමක මැනවින් තණ අතුරා අසුන පිළිගැන්වීය. අනුකම්පා ඉපිද වූ භාග්යවතුන් වහන්සේ එම අසුනෙහි වැඩහුන් සේක. එසේ භාග්යවතුන් වහන්සේ වැඩහිඳි කල්හි අනල්ප වූ ප්රීති සොම්නස්භාවයට පත්ව, උන්වහන්සේ වැඳ නමස්කාර කළ වැදි තෙමේ තුටු වූ සිතින් එකත් පසෙක සිටියේය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ “මොහුගේ කුසල බීජය සඳහා මෙපමණක්ම සෑහේ” යැයි දැන අසුනින් නැගිට වෙහෙරට වැඩි සේක. උන්වහන්සේ වැඩම කළ නොබෝ වේලාවකින් සිංහයකු විසින් එම වැද්දා මරන ලදි. කළුරිය කළ වැදිතෙම දෙව්ලොව උපන්නේ ය. එම වැදිතෙම භාග්යවතුන් වහන්සේ නොපැමිණි කල්හි සිංහයා විසින් මරන ලද්දේ නම් නිරයේ උපදින්නේය. මේ බව දුටු භාග්යවතුන් වහන්සේ ඔහු සුගතිගාමී කරවීමටත්, ඔහු තුළ කුසල් බීජ රෝපණයටත් කැළයට වැඩම කළ සේක.
එසේ ලැබූ දිව්යාත්ම භාවයේ පරමායුෂ වින්දනය කළ හෙතෙම ඉන් චුත වී කාම සුගතීන්හිම සැරිසැරුවේය. අප තථාගතයන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සැවැත් නුවර එක්තරා මහත් සම්පත් ඇති සිටුගෙදරක සංග්රාමජිත් තෙරුන්ගේ බාල සොහොයුරාව උපන්නේය. “පෝසිය” නමින් ප්රකට වූ එකුමරු වැඩිවියට පත්ව, විවාහ වී එක් දරුවෙකු ලැබීය. එය ඔහුගේ අවසන් භාවය බැවිනුත් පෙර කළ කුසල දහම්වලින් මෙහෙයවනු ලැබූ නිසාත් ජාති ජරා මරණාදිය පිළිබඳ හටගත් සංවේග ඇති බැවින්, පැවිදි වී ආරණ්යගත හුදකලා දිවියක් ගෙවමින් තචපංචක කර්මස්ථානය වැඩුවේය. උන්වහන්සේ නොබෝ දිනකින් ම විදර්ශනාව වඩා රහත් බවට පත්වූ සේක. එනිසා එම තෙරුන් තම චරිතාපදානය මෙලෙස අපදාන පාළියේ දක්වා ඇත. (අපදාන පාළි II, තිණමට්ඨිදායක ත්ථෙරාපදානං)
“හිමවතට නුදුරෙහි ලම්බක නම් පර්වතයක් විය. එහි එළිමහනෙහි තිස්ස නම් සම්බුදුරජාණන් වහන්සේ සක්මන් කළ සේක.
එකල මම මහවනයේ ඇවිදින මුව වැද්දෙක් වීමි. උන්වහන්සේට මම තණමිටක් පූජා කළෙමි.
එය දේවාතිදේව වූ බුදුරජාණන් වහන්සේට හිඳීම සඳහා දී සිත පහදවා ගත්තෙමි. ශාස්තෲන් වහන්සේ වැඳ පුදා ගත් මම උතුරු දෙසට හැරී ගියෙමි.
එසේ ගිය නොබෝ වේලාවකින්ම සිංහයෙක් මා මැරීය. සිංහයා පැන මරා දැමූ මම එහිදීම මියගොස්, මරණාසන්න අවස්ථාවෙහි ආශ්රව රහිත බුද්ධ ශ්රේෂ්ඨයන් විෂයෙහි කරන ලද ඒ උතුම් පින්කමේ විපාක වශයෙන් දුන්නෙන් මිදුණු හීයක් මෙන් දෙව්ලොව උපන්නෙමි.
ඒ පින්කමේ ඵල වශයෙන් මට පහළ වූ විමානය ඉතා යහපත් එකකි. එහි බෙදුම් දාහකි. ගෝලාකාර මුදුන් සීයකි. ධජයන්ගෙන් පිරිපුන්ය.
කොළ පැහැයෙන් යුතු විය. උදා වූ හිරු මෙන් බබළන ඒ ප්රාසාදයේ දිව්යාංගනාවන් විසින් පිරිවරාගත් මම අධික කම් සුව වින්දෙමි.”
“එම කුශල මූලයේ විපාක වශයෙන් දෙව් සැප උපරිමව විඳ, මිනිසත් බවට පැමිණ ආශ්රවයන් ක්ෂය කළෙමි.
මෙයින් කල්ප අනූ හතරකට පෙර තණ ඇතිරියක් පූජා කිරීමේ සිට මේ දක්වා දුගතියක් නොලැබූවෙමි. තණමිටි පූජාවේ ආනිසංස එබඳුය.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මැනවින් ඉටුකළෙමි.”
රහත් බවට පත් වූ පෝසිය තෙරණුවෝ බුදුරදුන්ට වැඳීම පිණිස සැවැත් නුවර පැමිණ, ඥාතීන් කෙරේ හටගත් කරුණාවෙන් නෑගෙවලට වැඩියහ. එවිට උන්වහන්සේගේ ගිහි කාලයේ බිරිඳ, වැඳ අසුන් පනවා පළමුව සැදැහැති උපාසිකාවක් මෙන් වත් පිළිවෙත් ඉටුකළාය. තෙරුන් වහන්සේගේ අදහස් නොදන්වා ඈ පසුව ස්ත්රී මායම් ආදියෙන් උන්වහන්සේ පොළඹවා ගැනීමට වෙහෙස වූවාය. තෙරණුවෝ “අනේ මේ අඳ බාල තැනැත්තිය, මා වැන්නන්ටද මෙසේ හැසිරෙන්නීය”යි සිතා කිසිවක්ම නොපවසා අසුනින් නැගිට වනයටම ගියහ. උන්වහන්සේ එනු දුටු ආරඤ්ඤික භික්ෂූහු “ඇවැත්නි! කිම වහාම පැමිණියේ ඇයි? ඤාතීහු දක්නට නොලැබේ ද?”යි විමසූහ. තෙරුන් වහන්සේ තමන් වහන්සේට සිදුවූ සිදුවීම ප්රකාශ කරන සේක්, “අනාසන්නචරා එතා” යන ගාථාව වදාළ සේක.
එහි “අනාසන්නචරා” යනු මේ ස්ත්රීහු නම් ළං නොවිය යුත්තෝය. සමීපයට නො ගිය යුත්තෝය. දුරින්ම හිඳගෙන කටයුතු කරන පුරුෂයාට හිත වැඩ සලසන්නෝය. එසේ ස්ත්රීන්ට ළංනොවීම නිතරම කළ යුතුයි. සැම කල්හිම කළ යුතුයි. දවල් ද රෑ ද රහසිගත වේලාවන්හි ද ළංනොවිය යුතුයි. “විජානතා” යනු කරුණු කාරණා දන්නහු විසින්. “අනාසන්නපරා” යන පාඨය ද සුදුසුය. එම අරුතම ගෙන දෙයි. මේ පාඨයේ අදහස මෙසේ දත යුතුයි. “චණ්ඩ වූ ඇත්, අස්, මී, ගව, සිංහ, ව්යාඝ්ර, යක්ෂ, රාක්ෂ, පිසාචාදීහු මනුෂ්යයන් සමීපයට නොඑත් නම් එය ශ්රේෂ්ඨය. අනර්ථය පිණිස හේතු නොවේ. ඒ සැඩ අමනුෂ්යාදීහු සමීප වීමෙන් මෙලොවදී පමණක්ම අනර්ථයක් සිදු කරති. ස්ත්රීහු වනාහි පුරුෂයන්ට ළංවී මෙලොවත් පරලොවත් යහපත නසති. සසරින් මිදීමට ඇති හැකියාව ද වනසා දමා මහත් වූ අනර්ථයකට පුරුෂයා ඇද දමති. එනිසා “මේ ස්ත්රීහු නම් කරුණු කාරණා දන්නහු විසින් නිතරම සමීපයට නොඑළඹිය යුත්තෝ වෙති.” දැන් එම කාරණය තමා මුල් කරගෙන දක්වන සේක් “ගාමා” යනාදී පදය වදාළහ. එහි “ගාමා” යනු ගම්මානයයි. මෙය දුතියා අර්ථයේ යෙදුණු පඤ්චමී විභක්තී වචනයකි. “අරඤ්ඤමාගම්ම” යනු අරණ්යයෙන් අවුත්. “ම” යන්න පද දෙක සන්ධි කරන්නකි. “අරඤ්ඤං” යන්න පංචමී අර්ථයේ යෙදුණු දුතියා විභක්ති පදයකි. “තතො” යනු ඒ කුඩා ඇඳෙන්. “අනාමන්තෙත්වා” යනු කථාබහ නොකර, පැරණි බිරිඳට “අප්රමාදීවන්න” යනාදී වචනයක්වත් නොපවසා. “පොසියො” යනු තමාම අනිකකු මෙන් දක්වා කියයි. ඇතැම්හු මෙම වචනය “පක්කමිං” වියයුතු බව පවසති. ඔවුන්ට “පෝසිය නම් වූ මම පිටත්ව ගියෙමි” යනු පද පිළිවෙලයි. ඇතැම්හු ඒ ස්ත්රිය තම ගෙදරට පැමිණි තෙරුන් පොළඹවානු කැමති වූවාය. එය දුටු තෙරණුවෝ වහාම නැගිට, ගෙදරින් නික්ම විහාරයට ගොස් තමන්ගේ කුටියෙහි ඇඳෙහි හුන්හ. ඒ ස්ත්රියද පසුබත් කාලයේ අලංකාරව සැරසී විහාරයට අවුත් තෙරුන්ගේ කුටියට ම පිවිසියාය. එය දුටු තෙරුන් කිසිවක් නොපවසා ඇඳෙන් නැගිට වහාම දවල් වසන තැනට වැඩියේය”යි පවසති. ඔවුන්ට “ගාමා අරඤ්ඤමාගම්ම” යන පදයේ අර්ථය ඉහත පැවසූ ලෙසම ගත හැකිය. මෙහිදී “විහාර” යනුවෙන් ආරණ්යයම අදහස් කරන ලදි.