සෝපාක ස්ථවිරගාථා වර්ණනාව
“යථාපි එකපුත්තස්මිං” යනු ආයුෂ්මත් සෝපාක තෙරුන්ගේ ගාථාවකි. එහි උපත කෙසේ සිදුවීද? ඔහු පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන්හි ඉපිද නිවන් සැප පතාගෙන බොහෝ කුසල් රැස් කළේය. කකුසඳ නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි එක් සිටුගෙදරක උපන් ඔහු, දිනක් ශාස්තෲන් වහන්සේ දැක පැහැදුණු සිතින් බුළු ඇට මද පිළිගැන්වූයේය. මා කෙරෙහි අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේ ඒවා පිළිගත් සේක. එම සිටුතුමා භික්‍ෂු සංඝයා කෙරෙහිද අතිශය ප්‍රසන්නව සලාක බත් පිහිටුවා, සංඝයා උදෙසා දෙන බත් වශයෙන් භික්‍ෂූන් වහන්සේලා තිදෙනෙකුට මරණයට පත්වන තෙක්ම කිරිබත් පූජා කළේය. හෙතෙම මේ පින්කම්වල බලයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැප සම්පත් අනුභව කරමින්, සැරිසරන කල්හි, එක් මනුෂ්‍යාත්මභාවයක ඉපිද එක්තරා පසේ බුදුවරයෙකුට කිරිබත් පූජා කළේය. මෙලෙස ඒ ඒ භවයන්හිදී නොයෙක් පින්දහම් කරමින් කාම සුගතීන්හිම සැරිසැරූ මොහු මේ බුද්ධෝත්පාද කාලයෙහි පෙර කරන ලද අකුසල කර්මයක් නිසාවෙන් සැවැත් නුවර එක්තරා දුප්පත් ස්ත්‍රියකගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඔහුගේ මව දසමසක් කුසින් ගැබ දරාගෙන සිට, මුහුකුරා ගොස් වදන කල්හි, දරුගැබ හරස්වීමෙන් සිහි මූර්ඡාවී මැරුණාක් මෙන් සිටියාය. මෙසේ බොහෝ වේලාවක් සිටි බැවින් “ඇය මළේයැ”යි සිතූ නෑයෝ, ඇය සොහොනට ගෙන ගොස් චිතකයකට නංවා, දේවතානුභාවය නිසා හටගත් අවුවැසි සුළං නිසා ගිනි දැල්විය නොහැකිව නැවත හැරී ආහ. (පැමිණියහ) පශ්චිම භාවියකු වූ දරුවා දේවතානුභාවයෙන් මවුකුසින් සුවසේ බිහිවිය. මවු කළුරිය කළාය. දෙවියෝ ඔහු රැගෙන මනුෂ්‍ය රූපයෙන් සොහොන් පල්ලාගේ ගෙයි තබාගෙනම කිහිපදිනක් සුදුසු ආහාරවලින් දරුවා පෝෂණය කළහ. ඉන්පසු කාලයක එම සොහොන් පල්ලා, මෙම දරුවා තම පුතෙකු මෙන් ඇති දැඩි කළේය. ඒ දරුවා මෙලෙස වැඩෙමින්, ඒ සොහොන් පල්ලාගේ පුතු වූ සුප්පිය සමග කෙළිසෙල්ලම් කරමින් සිටියේය. ඔහු සොහොනේම ඉපිද, එහිම වැඩෙමින් සිටි බැවින් “සෝපාක” නමින් ප්‍රකට විය.
එක් දිනක් අප භාග්‍යවතුන් වහන්සේ ඉතා අලුයම් කාලයෙහි සිය නුවණ දැල විසිරුවා හික්මවිය හැකි සත්ත්වයන් දෙස බලන සේක් මේ සත් හැවිරිදි සෝපාක දරුවා දුටු සේක. දැක එම සොහොනට වැඩම කළ ශාස්තෲන් වහන්සේ වෙත, පෙර කරන ලද කුසල කර්‍ම නිසා මෙහෙයවුණු සෝපාක පැමිණ වැඳ පසෙකින් හිඳ ගත්තේය. ශාස්තෲන් වහන්සේ ඔහුට දහම් දෙසූ සේක. බණ ඇසූ ඔහු පැවිද්ද ඉල්ලීය. “පියාගෙන් අවසර ලැබුණේද?” යි ඇසූ කල්හි සෝපාක පියා වෙත ගොස් පැවිදිවීමට අවසර ඉල්ලීය. ඔහුගේ පියා ශාස්තෲන් වහන්සේ වෙත පැමිණ, වැඳ “ස්වාමීනි! මේ දරුවා පැවිදි කරන සේක්වා”යි ඉල්වීය. ශාස්තෲන් වහන්සේ සෝපාක කුමරු පැවිදි කරවා මෛත්‍රී භාවනා කමටහනෙහි නියුක්ත කළ සේක. මෛත්‍රී කමටහන වඩමින් සොහොනේ වාසය කළ සෝපාක තෙරුන් නොබෝ දිනකින්ම මෛත්‍රී ධ්‍යානය උපදවාගෙන, එම ධ්‍යානයම පාදක කරගත් සේක; විදසුන් වඩා රහත් ඵලය සාක්‍ෂාත් කරගත් සේක. අපදාන පාළියේ එම තෙරුන් මෙසේ ප්‍රකාශ කරයි. (අපදාන පාළි II, විභීටක මිඤ්ජිය ත්‍ථෙරාපදානං)
“සියලු ධර්‍මයන්ගේ පරතෙරට පැමිණි ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ සමූහයා කෙරෙන් වෙන්ව හුදකලාව වනයට වැඩි සේක.
මම බුළු ඇට මද ගෙන වැලක ඇමිණුවෙමි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ කඳු අතරේ හිඳ ධ්‍යාන වැඩූහ.
ඒ බුදුරදුන් දුටු මම පැහැදුණු සිතින් දක්‍ෂිණාර්භ වූ වීරයන් වහන්සේට බුළු ඇට මද පිළිගැන්වීමි.
එදා මම යම් බුළු ඇට දානයක් පිළිගැන්වූයෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වාම දුගතියක නූපන්නෙමි.
මවිසින් කෙලෙස් දවන ලදි. සියලු භව නසන ලදි. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ දමා ආශ්‍රව රහිතව වෙසෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
මෙසේ රහත් බවට පත්වූ උන්වහන්සේ සෙසු සොහොනේ වසන භික්‍ෂූන්ට මෛත්‍රී භාවනා කමටහනේ අගය පෙන්වමින් “යථාපි එකපුත්තස්මිං” යන ගාථාව වදාළ සේක.
එහි “යථා” යනු උපමා අර්ථයේ නිපාතයකි. “එක පුත්තස්මිං” යනු කුල පරපුර පිරිසිදු කරයි, ආරක්‍ෂා කරයි යන අරුතින් “පුතා” නම් වේ. අනුජ ආදී භේද ඇති පුතා. දරුවා. එක පුතා. ඔහු කෙරෙහි, තම එකම පුතු කෙරෙහි. පුතු විෂයෙහි. මෙය සත්තමී විභක්ති වචනයකි. “පියස්මිං” යනු ප්‍රිය වන බැවින්, එකම පුතු බැවින් රූපය, හැසිරීම්, ආදියෙහි ප්‍රේම කරන බැවින්. “කුසලී” කුසල යනු ක්‍ෂේම වූ සුවපත් භාවයයි. “එය ලබාගැනීම මොහුට ඇත”යි ‘කුසලී’ නම් වේ. සත්ත්වයන් කෙරෙහි පතුරුවන හිතෛෂී මෙත් සහගත භාවයයි. “සබ්බෙසු පාණෙසු” යනු සියලු සතුන් කෙරෙහි. “සබ්බත්‍ථ” සෑම දිශාවකම. නැතිනම් සෑම භවාදියකම සිටින, නැතහොත් සෑම අවස්ථාවකම සිටින සත්ත්‍වයන් කෙරෙහි. එම ගාථාවේ අදහස මෙසේය. “යම් සේ ප්‍රිය වූ මනාප වූ එකම පුතු කෙරෙහි මාපියෝ මිත්‍රත්‍වයෙන් ඒකාන්ත හිතෛෂීභාවය පතුරුවන්නේ ද එමෙන්; පෙරදිග ආදී භේද ඇති සියලු දිශාවෙහිම, කාමාදී සියලු භවයන්හිම, ළදරු ආදි සෑම අවස්ථාවකම සිටින සියලු සතුන් කෙරෙහි ඒකාන්ත හිතෛෂීභාවය පතුරන්නේ නම්, “මොහු අපගේ මිතුරෙකි, මොහු සතුරෙකි” ආදී ලෙස සීමා නොකොට සීමා වෙන්කිරීම් බිඳ දමා සැම දෙනාටම එකම මෙත් සිත පතුරුවන්නේ නම් මැනවි. මේ ගාථාව වදාළ සෝපාක තෙරණුවෝ “ආයුෂ්මතුනි! ඉදින් නුඹ වහන්සේලා ද මේ මෛත්‍රී භාවනාව අනුව හික්මෙවු. මෛත්‍රී භාවනාව වඩවු. භාග්‍යවතුන් වහන්සේ විසින් “සැපසේ නිදයි” ආදී වශයෙන් මෛත්‍රී භාවනාවේ ආනිසංස එකොළොසක් දක්වන ලදහ. ඒකාන්තයෙන්ම නුඹලා එම ආනිසංස ලබන්නෝ වෙත්වා!”යි අවවාද දුන්හ.