සුප්පිය ස්ථවිරගාථා වර්ණනාව
“අජරං ජීරමාන්නො” යනාදී ගාථාව ආයුෂ්මත් සුප්පිය තෙරුන් විසින් පැවසූවකි. එහි උපත කෙසේද? පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි කුලගෙයක උපන් සුප්පිය තෙරණුවෝ, වැඩිවියට පත්ව ගිහිගේ කළකිරී තවුස් පැවිද්දෙන් පැවිදිව කැළයෙහි වාසය කළහ. එහිදී භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදී ඵලවැල පූජා කළේය. පසුව මහා සංඝරත්නයට ද ඵලවැල පූජා කළේය. ඒ පුණ්‍ය කර්මයේ විපාක වශයෙන් දෙව්-මිනිසුන් අතර සැරි සරා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි ක්‍ෂත්‍රිය කුලයෙහි උපන් හෙතෙම ගිහිගේ කළකිරී සසුනේ පැවිදි වී මහත් බහුශ්‍රැතයෙක් විය. ජාති මදයෙන් හා උගත්කමේ මදයෙන් මත් වූ එම තෙරුන් තමා උසස්කර සිතා, සෙසු භික්‍ෂූහු පහත් කර සළකමින් වාසය කළේය. අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි, එම තෙරුන් තමාගේ කර්මයන්ට අනුරූප ලෙසම සැවැත් නුවර සොහොන් පල්ලෙකුගේ ගෙදර ඉතා අවලස්සන දරුවෙකුව උපන්නේය. ඔහුගේ නම සුප්පිය නම් විය. තරුණවියට පත් වූ සුප්පිය, තම යහළුවෙකු වූ සෝපාක තෙරුන් සමීපයට පැමිණ, ධර්‍මය ශ්‍රවණය කිරීමෙන් ලැබූ ශ්‍රද්ධාව ඇතිව සසුනේ පැවිදි විය. යහපත්ව පිළිවෙත් මැනවින් සම්පූර්ණ කළ සුප්පිය තෙරුන් වහන්සේ “අජරං ජීරමානෙන” යන ගාථාව දේශනා කළහ.
එහි “අජරං” යනු ජරාවට පත්වීමක් නොමැති නිවණයි. නිවණ නූපදින බැවින් “එහි ජරාවක් නැත. නිවණ අවබෝධ කළ පුද්ගලයන්ට ද නැවත උපතක් නැත.” යන ලෙසින් ජරාවට පත්වන හේතූන් නැතිකළ බැවින් නිවණ “අජර” නම් වේ. “ජීරමානෙන” ජරාවට පත්වේය යනු ක්‍ෂණයක් ක්‍ෂණයක් (මොහොතක්) පාසා ජරාවට පත්වෙමින් පවතින “තප්පමානෙන” යනු සන්තාපයට යනු සන්තාපයට පත්වන රාගාදී එකොළොස් ගින්නෙන් දැවෙන, “නිබ්බුතිං” යම් සේ සන්තාපයට පත්වන හේතු නිවාදැමූ බැවින් නිවීම, නිවණ නම් වූ. “නිම්මිස්සං” යනු පෙරලා ගනියි. හුවමාරු කරයි. “පරමං සන්තිං” යනු කෙලෙස් ඉතිරි නොකර, පිරිතැවීම් සංසිඳවීම් වශයෙන් උතුම් ශාන්තියයි. සතර යෝගයන්ගෙන් ලුහුබැඳීම් වශයෙන් නොපැමිණෙන බැවින් “යොගක්ඛෙමං” යෝගක්‍ෂෙම වූ. නිවණට වඩා උතුම් වූ දෙයක් නොමැති බැවින් “අනුත්තරං” අනුත්තර වූ. මෙහි සංක්‍ෂිප්ත අර්ථය මෙසේය. ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා ජරාවෙන් මැඩගත් බැවින් දිරායන්නා වූත්, එසේ රාගාදී ගිනිවලින් නිතර සන්තාපයට පත්වූත්, එසේම අනිත්‍ය දුක් සහගත, අසාර යන සර්ව ප්‍රකාරයෙන්ම නොසන්සිඳෙන ස්වභාව ඇති, උපද්‍රවයන්ගෙන් යුක්ත වූත් යන ස්වභාවයන්ට ප්‍රතිවිරුද්ධ වූ බැවින් ජරාවක් නැති, අතිශයින් සන්සුන් වූ, කිසි උපද්‍රවයක් නොමැති, අනුත්තර වූ නිවණ ලැබීමෙන් දැනට ඇති ශෝකී බව දුරු වී, “අනේ මට මෙය ඒකාන්ත ලාභයකි. මට මහත් වූ අභිවෘද්ධියක් අතට පැමිණියේය” යනුවෙන් සැපයට පරිවර්තනය වන්නේය. මිනිස්සු යම්කිසි බඩු බාහිරාදියක් හුවමාරු කර ගැනීමේදී අපේක්‍ෂාවක් නොමැතිව ගැනීමෙන් අතිශය ගෞරවත්‍වයක් ඇතිවන්නාක් මෙන් තෙරුන් වහන්සේ ද ආත්ම සංකල්පනා දුරුකර වාසය කරන සේක්, තම ශරීරයෙහි ද ජීවිතයෙහි ද අපේක්‍ෂාවක් නොමැතිව උතුම් නිවණ අවබෝධ කරගත් බව, ඇසුරු කරගත් බව පවසන සේක්, “නිම්මිස්සං පරමං සන්තිං යොගක්ඛෙමං අනුත්තරං” යනුවෙන් තමන් වහන්සේ කී පිළිවෙතම වඩමින් විදර්ශනාවට සිත උත්සාහවත් කර, රහත් බවට පත්වූ සේක. අපදාන පාළියේ එම තොරතුරු මෙසේ දැක්වේ. (අපදාන පාළි II, සබ්බඵල දායක ත්‍ථෙරාපදානං)
“එකල මම මන්ත්‍රයන් හි කෙළවරට පත් බමුණෙක් ව වරුණ නමින් ප්‍රකටව සිටියෙමි. පසුව පුතුන් දසදෙනෙකු හැර දමා වනයට පිවිසියෙමි.
එහි මනාව බෙදූ අසපුවක් සෑදවූ මම, පන්සලක් කරවාගෙන වාසය කළෙමි.
ලෝකයේ ප්‍රජාවන්ට යෝග්‍ය වූ ඒ පදුමුත්තර බුදුපියාණන් වහන්සේ මා සසරින් ගොඩ කරනු කැමතිව ඒ මගේ අසපුවට වැඩි සේක.
බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් වනයම ඒකාලෝක වූයේය. ගිනිගත් වනයක් මෙන් පෙනෙන්නට විය.
එවැනි වූ තාදී ගුණ ඇති බුද්ධ ශ්‍රේෂ්ඨයන්ගේ පෙළහර දැක සතුටු වූ මම කොළගොටුවක් ගෙන පලවැලයෙන් එය පිරවූයෙමි.
අනතුරුව බුදුරජාණන් වහන්සේ වෙත ගොස්, එම ඵලවැල ගොටුව පූජා කළෙමි. එය පිළිගත් උන්වහන්සේ මාහට මෙසේ වදාළහ.
“නුඹ මේ ඵලාගොටුව ගෙන මා පසුපස එව. සංඝයා එය වැළඳූ කල්හි නුඹට පින් සිදුවන්නේය.
“ඒ වචන පිළිගත් මම ඵලවැල ගොටුව සංඝයාට පූජා කළෙමි. එහි සිත පැහැද වූ මම තුසිත දෙව්ලොව උපන්නෙමි.
එම දෙව්ලොව - දිව්‍යමය නැටුමින්, ගැයුමින්, වැයුමින් යුතුව කුසල කර්මයෙන් ජනිත සැප වින්දෙමි.
දිව්‍ය මනුෂ්‍ය ආත්ම භාවයන්හි උපන් මම, අනූන වූ භෝග සම්පත් වින්දෙමි. ඵල දානයේ විපාකය එබඳුය.
බුදුපියාණන් වහන්සේට ඵල දානයක් දුන් මම, මුහුදින් වට වූ පර්‍වත සහිත සිවුමහා දිවයින්හිම ආධිපත්‍ය පතුරුවා වාසය කළෙමි.
මේ පක්‍ෂි සමූහයා ඉහළට නැගෙනතාක් දුර අහසෙහි මාගේ බලය පැතිරුණි. ඵල දානයේ විපාකය එබඳුය.
වනයෙහි සිටිනතාක් යක්‍ෂ, භූත, රාක්‍ෂස, කුම්භාණ්ඩ, ගුරුළු ආදීහු මාගේ මෙහෙවරට පැමිණෙති.
ඉදිබුවෝද බල්ලෝ ද මී මැස්සෝ ද ඩැහැ ලේ බොන මැසි මදුරුවෝ ද මාගේ අණසකට පත්වූහ. ඵලදානයේ විපාකය මෙබඳුය.
කුරුළු යෝනියේ උපන් මහ බල ඇති සුපර්ණ නම් වූ ගුරුළු රාජ පක්‍ෂීහු පවා මාගේ සරණයෙහි පිහිටියහ. ඵලදානයේ විපාක එබඳුය.