කුණ්ඩල ස්ථවිරගාථා වර්ණනාව
“උදකං හි නයන්ති” යනු ආයුෂ්මත් කුණ්ඩල තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? මේ තෙරුන් වහන්සේ ද නිවණ අරමුණු කරගෙන බොහෝ කුසල දහම් රැස් කොට, කළ ප්‍රාර්ථනා ඇතිව සිටියදී, විපස්සි භාග්‍යවතුන් වහන්සේ අහසින් යනු දැක පැහැදුණු සිත් ඇත්තේ එක් පොල් ගෙඩියක් පූජා කරනු කැමති වූහ. ශාස්තෲන් වහන්සේ ඔහුගේ අදහස දැනගත් සේක්, අදහසින් බැස එය පිළිගත්හ. ඔහු අතිශයින් පැහැදී, එනිසාම ලබන ලද ශ්‍රද්ධාව ඇතිව සසුනේ පැවිද්ද ඉල්වීය. ශාස්තෲන් වහන්සේ එක්තරා භික්ෂුවක් කැඳවා, “මේ පුරුෂයා පැවිදි කරන්න”යි පැවසූ සේක. ඔහු පැවිදිව, ලැබූ උපසපන් බව ඇති වූයේ මහණදම් පුරා, එම ආත්ම භාවයෙන් චුතව බුද්ධාන්තර සයක් දෙව් මිනිස් දෙගතියෙහි සැප වින්දේය. අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි, සැවැත් නුවර බමුණු කුලයේ උපන් ඔහු “කුණ්ඩල” නමින් ප්‍රකට විය. ඔහු වැඩිවියට පැමිණ - සසුනෙහි ලබන ලද ශ්‍රද්ධා ඇති වූයේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදි විය. උන්වහන්සේගේ සිත වික්ෂේප (අවුල් සහගත බව) බහුල වූ බැවින් ගුණ විශේෂයක් උපදවා ගැනීමට නොහැකි විය. එක් දිනක් පිඬු පිණිස ගමට වැඩි උන්වහන්සේ අතරමගදී, බිම සාරා දිය පහරවල් තනා තමා කැමති තැනට දිය ගෙන යන්නාවූ පුරුෂයන් දැක එකරුණ සිත තබාගත් සේක. ගමේදී එක්තරා හී වඩුවෙක් දී හී දඬුවක් ගෙන හැර - ඇස් කෙළවරින් බලා සෘජු කරනු දැක එයද සිත තබා ගත් සේක. ඉදිරියට වැඩි උන්වහන්සේ නිම් වළලු, නැබ ආදී රිය සකට අවශ්‍ය උපකරණ තුනී කරන, සසිත ලී වඩුවන් දැක එය ද සිත තබාගෙන විහාරයට නැවත වැඩි සේක. කරන ලද බත් කිස ඇති උන්වහන්සේ පා සිවුරු තබා, දිවා විහරණයෙහි යෙදුණු සේක් තමා විසින් දකින ලද නිමිති උපමා වශයෙන් ගෙන තම සිත දමනය කර ගැනීමට උත්සාහ ගත් සේක. “සිත් පිත් නැති ජලය පවා මිනිස්සු තමා රිසි තැනට ගෙන යති. එසේම අචේතනික වූ වක් වූ මේ හී දඬුව උපක්‍රමයෙන් සෘජු කරති. එසේම ලී වඩුවෝ මේ අචේතනික ලී දඬු, ලී කොට ආදිය නිම්වළලු ආදී වශයෙන් වක්රාකාරවද සෘජු බවට ද පමුණුවති. එනිසා කුමක් නිසා මා හට මාගේ සිත දමනය කරගත නොහැක්කේද?”යි දැඩිව සිතා විදර්ශනාව වෑයමින් වඩන්නේ නොබෝ කලකින් ම රහත් බවට පත් වූහ. මෙම විස්තර අපදාන පාළියේ මෙලෙස දැක්වේ. (අපදාන II - නාළිකෙරඵලදායක ත්‍ථෙරාපදානං) -
“එකල මම බන්ධුමතී නුවර ආරාමයේ වතාවත් ඉටු කරන්නෙක් වීමි. අහසින් වැඩම කරන කෙලෙස් දූවිලි ඉවත ලූ බුදුරදුන් දුටුවෙමි.
මම පොල් ගෙඩියක් භාග්‍යවතුන් වහන්සේට පිදුවෙමි. මහත් යස ඇති උන්වහන්සේ අහසේ සිටිමින් ම එය පිළිගත් සේක.
මා හට ප්‍රීතිය ගෙන දෙන්නා වූ මෙලොවදී ම සුව එළවන්නා වූ එම ඵලය බුදුරදුන් පුදා, මම මහත් වූ ප්‍රීතියට ද උතුම් සැපයට ද පැමිණියෙමි. ඒ ඒ අත්භවයෙහි උපන් මට රුවන් පහළ විය.
මෙයින් කල්ප අනූ එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් නම් එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නො ඉපදුනෙමි.
මගේ දිවැස පිරිසිදු විය. සමාධියෙහි මාසිත පිහිටියේය. අභිඥාවන්හි කෙළවරට පැමිණියෙමි. ඵල දානයේ විපාකය එබඳුය.
මවිසින් කෙලෙස් දවන ලදි. සියලු භවයෝ නැසුවෙමි. බැඳුම් සිඳි ඇත් රජෙකු මෙන් ආශ්‍රව රහිතව වෙසෙමි. බුදුරදුන් වෙත මාගේ පැමිණීම ඉතා යහපත් වූවකි. ත්‍රිවිද්‍යාවන් ලැබුවෙමි. සිවු පිළිසිඹියාවන් ද අෂ්ට විමෝක්ෂයන් ද ෂඩ් අභිඥාවන් ද සාක්ෂාත් කළ මම බුදුරදුන්ගේ අනුශාසනාවට ඉටු කළෙමි. (5448-5456)
මෙසේ යම් නිමිති උපකාර කරගෙන විදසුන් වඩා රහත් බවට පත් වූයේද එම නිමිති සමග තමාගේ සිත දමනය කිරීම සසඳමින්, තමා ලැබූ රහත් බව ප්‍රකාශ කරන සේක්; “උදකං හි නයන්ති නෙත්තිකා” යන ගාථාව වදාළ සේක.
එහි “උදකං හි” යන්නෙහි “හි” ශබ්දය නිපාතයක් පමණි. “නයන්ති” යනු පොළොවේ ඒ ඒ තැන් කණිමින් පහත් තැන් පුරවමින්, ඇල මාර්ගයක් සාදා හෝ ගස් ඔරු තබා හෝ ජලය තමා කැමති තැනකට ගෙන යෑමයි. එසේ කරන්නෝ “නෙත්තිකා” නම් වේ. “තෙජනං” යනු ඊතලයයි. මෙය කියන ලදි. “දියාළුවෝ තමා රිසි තැනට දිය ගෙන යති. හී වඩුවෝ ද තවා - රත් කර ඊතල සෘජු කෙරෙති. රිසි සේ නවති. නැමීම් වශයෙන් ලී වඩුවෝ නිම්වළලු ආදිය සෑදීම සඳහා ලී සසිමින් දැව නමති. තමා කැමති සේ සෘජු හෝ වක් කරති. මෙසේ මෙපමණක් ම අරමුණු වශයෙන් ගෙන පඬිවරු පිළිගත්, සමාදන් වූ පරිදි ශීලාදී ගුණදම් වලින් සුන්දර වූවාහු; ධෛර්යවන්තව සෝවාන් ආදි මඟඵල උපදවමින් තමා දමනය කරගනිති. අර්හත්භාවයට පත් වූවහු ඒකාන්තයෙන් දැමුණෝ නම් වෙති.
කුණ්ඩල ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
අජිත ස්ථවිරගාථා වර්ණනාව
“මරණෙ මෙ භයං නත්ථි” යනු ආයුෂ්මත් අජිත තෙරුන්ගේ ගාථාවකි. එහි උපත කෙසේද? එම තෙරුන්, මීට කල්ප අනූ එකකට පෙර විපස්සි භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදී උන්වහන්සේට දිවුල් ගෙඩියක් පිදුවේය. එතැන් පටන් ඒ ඒ අත්බවෙහි පින් දහම් කරමින් දෙව් මිනිසුන් අතර සැරිසරා මේ මහා භද්‍ර කල්පයෙහි, අපගේ තථාගතයන් වහන්සේ ලොව පහළවීමට පෙර කාලයේදී සැවැත් නුවර කොසොල් මහ රජුගේ අග්රාසනිය බමුණාගේ පුතු වී උපන්නේය. එකුමරු අජිත නමින් ප්‍රසිද්ධ විය. මේ කාලයේදී සැවැත් නුවර විසූ ත්‍රිවිධ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබියා වූ ත්‍රිවිධ වේදයන්හි පරතෙරට පත් බාවාරි නම් බ්‍රාහ්මණයා, සැවැත් නුවරින් නික්ම ගොස් තවුස් පැවිද්දෙන් පැවිදි වූයේ, ගෝධාවරී ගංතෙර වූ කපිත්ථ තිත්ථරාමයේ වාසය කරයි. ඉක්බිති අජිත එම තාපසයා සමීපයේ පැවිදි වූයේ වැඩ කැමති දෙවියකු විසින් මෙහෙය වන ලද බාවාරි තවුසා විසින් ශාස්තෲන් වහන්සේ වෙත යවන ලද මෙත්තෙය්යාදී සිසුන් සමග භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, සිතින්ම ප්‍රශ්න නඟා ඒවා විසඳූ කල්හි උන්වහන්සේ කෙරෙහි අතිශයින් පැහැදුණේය. පැහැදී සසුනේ පැවිදි වී කමටහන් ගෙන විදසුන් වඩා රහත් බවට පත්විය. එය අපදාන පාළියේ මෙසේ විස්තර වේ. (අපදාන පාළි II - කපිත්ථ ඵලදායකත්ථෙරාපදානං)