ද්විතීය වර්ගය
චූළවච්ඡ ස්ථවිරගාථා වර්ණනාව
“පාමොජ්ජ බහුලො” යනු ආයුෂ්මත් චූලගවච්ඡ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? ඔහු වනාහි පෙර පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයේ දිළිඳු පවුලක ඉපදුණේය. අනුන්ට බැල මෙහෙකම් කරමින් දිවිගෙවන ඔහු දිනක් භාග්යවතුන් වහන්සේගේ සුජාත නම් ශ්රාවකයා පාංශුකූලයක් සොයනු දැක, පැහැදුණු සිතින් උන්වහන්සේ වෙත පැමිණ වස්ත්රයක් දී, පසඟ පිහිටුවා වැන්දේය. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් තිස්තුන් වරක් දෙව් රජව (ශක්ර දේවේන්ද්රව) උපන්නේය. සත් සිය වරක් සක්විති රජකම ලැබුවේය. අනේක වාරයක් ප්රදේශ රාජ සම්පත් වින්දේය. මෙසේ දෙව් මිනිසුන් අතර සැරිසරා, කාශ්යප බුදුරජාණන් වහන්සේගේ සසුන පිරිහීගෙන යන කාලයේ පැවිදිව මහණ දම් පිරුවේය. එක් බුද්ධාන්තරයක් දෙව් මිනිස් දෙගතියෙහි එකිනෙකට යමින් සිට, අපගේ භාග්යවතුන් වහන්සේ ලොව පහළ වූ කල්හි කොසඹෑවේ බමුණු ගෙදරක උපන්නේය. ඔහුගේ නම “චූලගවච්ඡ” නම් විය. ඔහු වැඩිවියට පැමිණ බමුණු සිප් සතරෙහි පරතෙරට ගියේය. පසුව බුදුගුණ අසා පැහැදුණු සිතින් ඔහු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේය. භාග්යවතුන් වහන්සේ ඔහුට ධර්ම දේශනා කළ සේක. ලබන ලද ශ්රද්ධාව ඇතිව පැවිදි වූ ඔහු, නොබෝ දිනකින් උපසපන් වී සිය චරිතයට සුදුසු කමටහන් ගෙන, එම කමටහන් නිතර වඩමින් වාසය කළේය. මෙසමයේ කොසඹෑ නුවර වැසි භික්ෂු කලහ කරන්නෝ වූහ. නමුත් චූලගවච්ඡ තෙරුන් ඒ දෙපිරිසේම වාදය පිළිනොගෙන, භාග්යවතුන් වහන්සේ විසින් දෙන ලද අවවාදයෙහිම පිහිටා, විදසුන් වඩා රහත් බවට පත්විය. එනිසා අපදාන පාළියේ මෙම විස්තරය මේ අයුරින් දැක්වේ. (අපදාන පාළි II, උපඩ්ඪදුස්ස දායකත්ථෙරාපදානං)
“එසමයේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සුජාත නම් ශ්රාවකයා, පාංශුකූල සිවුරක් කිරීමට රෙදි කඩක් සොයමින් කසල ඇති තැන්හි සොයනු දුටු හංසවතී නුවර බැල මෙහෙ කරමින් ජීවත්වූ මම, උන්වහන්සේට රෙදි කඩක් පුදා හිසින් වැන්දෙමි.
මැනවින් කරන ලද මේ පුණ්ය කර්මය නිසාත් ප්රාර්ථනා මහිම නිසාත් මිනිස් සිරුර හැර දමා මම දෙව් ලොව ඉපදුනෙමි.
තිස් තුන් වරක් ශක්රදේවේන්ද්රව දිව්ය රාජ්යය විචාළෙමි. සැත්තෑ සත් වරක් සක්විති රජව සම්පත් වින්දනය කළෙමි.
මා ලැබූ ප්රදේශ රාජ සම්පත් පමණ කළ නොහැක. වස්ත්ර කැබැල්ලක් පිදීමේ පිනින් අපාය බිය රහිත වූ මම සතුටු වූයෙමි.
ඉදින් මා කැමැත්තේ නම් වන පර්වතාදියෙන් යුක්ත මේ මුළු පෙදෙසම කොමු පිළියෙන් වැසීයාමේ හැකියාවක් මට ඇත. රෙදි කඩක් පිදීමේ පින් කමෙහි විපාකය එබඳුය.
මීට කල්ප ලක්ෂයකට පෙර යම් දානයක් දුන්නේ නම්, එහි විපාක වශයෙන් මම දුගතියකට කිසි කලෙක නොගියෙමි. රෙදිකඩ පිදීමේ පිනේ විපාකය එසේය.
මවිසින් සියළු කෙලෙස් දවන ලදි. සියලු භව නැසුවෙමි. ඇත්රජෙකු මෙන් ආශ්රව නම් බැඳුම් සිඳ සුවසේ වෙසෙමි. බුදුරදුන් වෙත මාගේ පැමිණීම යහපත් වූවකි. මම ත්රිවිද්යාවන් අවබෝධ කළෙමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටුකළෙමි. සිව් පිළිසිඹියාවෝ ද අෂ්ට විමෝක්ෂයෝ ද ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලද මම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.” (5279-5288)
ඉක්බිති චූලගවච්ඡ තෙරණුවෝ රහත් බවට පත්ව, ඒ භික්ෂූන්ගේ කලහයෙන් ඔවුනොවුන්ම වැනසෙන බව දැක, ධර්ම සංවේගයට පත්වූහ. තමන් වහන්සේ අවබෝධ කරගත් විශේෂ අධිගමයන් සිහිපත් කිරීමෙන්, උන්වහන්සේට හටගත් ප්රීති සොම්නස් බව නිසා, “පාමොජ්ජ බහුලො” යන ගාථාව වදාළ සේක.
එහි “පාමොජ්ජ බහුලො” යනු ඉතා පිරිසිදු සිල් ඇති බැවින් විපිළිසර නොවීම් වශයෙන් හා අධිකුසල දහම් හි විශේෂයෙන් ඇලීම් වශයෙන් ප්රමෝදය සතුට බහුල වූයේ, එනිසා “ධම්මෙ බුද්ධප්පවෙදිතෙ” යනුවෙන් කියන ලදි. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත “ධම්මෙ” යනු තිස් හතක් වූ බෝධි පාක්ෂික ධර්මයෙහි හෝ නව විධ වූ ලෝකෝත්තර ධර්මයෙහි උන්වහන්සේට වනාහි සර්වඥ වූ බුදුරජාණන් වහන්සේ විසින් සාමුක්කංසික ධර්ම දේශනාව පවත්වන ලදි. එබැවින් ඒ ධර්මය, “බුදුරජාණන් වහන්සේ විසින් දේශිත” නම් වේ. අවබෝධ කිරීම් වශයෙන් උන්වහන්සේගේ දේශනා කරන ලද ධර්මය ද මෙහි අදහස් වේ. “පදං සන්තං” යනු නිර්වාණය අදහස් කිරීමට යෙදුවකි. මෙබඳු වූ භික්ෂුව ශාන්ත පදයට, ශාන්ත වූ කොටසට සියලු සංස්කාර සංසිඳවීම් වශයෙන් පැමිණේ. අයත් වේ. “සඞ්ඛාරූපසමං” යනු උතුම් සුවදායී බවට “සුඛං” යනු නිවණට පැමිණේ. නිවන් සැප විඳියි. පිරිසිදු සිල් ඇති භික්ෂුව විපිළිසර නොවීම් වශයෙන් ප්රමෝදය බහුල වූයේ, සත් ධර්මයෙහිම නිරත වූයේ - යෙදුනේ. විමුක්තියේ කෙළවරට පැමිණේ. නිවණට පත්වේ. යම්හෙයකින් ද, “ආනන්දය, කුසල් හා සීලය විපිළිසර නොවීම් පිණිස හේතුවේ. විපිළිසර නොවීම ප්රමෝදය - සතුට පිණිස හේතුවේ” යනුවෙන් බුදුහු වදාළ බැවිනි. නැතහොත් “පාමොජ්ජබහුලො” යනු “භාග්යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක. ධර්මය ස්වාක්ඛාතය. (මැනවින් දේශිතය) එහි ඒ ප්රමාද බහුල පුද්ගලයා කුමක් නම් කරන්නේද?” යන්න හඟවමින් “ධම්මෙ බුද්ධප්පවෙදිතෙ”, “බුදුන් දෙසූ ධර්මයෙහි” ආදී වශයෙනි. ශ්රද්ධාවෙන් යුක්ත පුද්ගලයාට, සත් පුරුෂ ඇසුර හා සද්ධර්ම ශ්රවණයන් ලැබූ, නුවණින් මෙනෙහි කිරීම් වශයෙන් ධර්මානු ධර්ම ප්රතිපත්තීන්ට සුවසේ පැමිණීම් වශයෙන් සමාපත්තීහු අතට පත් වූවාක් මෙන් වැටහෙති. එනිසා “සද්ධාජාතො උපසඞ්කසමති උපසඞ්කමන්තො පයිරුපාසති” (ශ්රද්ධාව උපදවා සමීපයට පැමිණෙයි. සමීපයට පැමිණ ඇසුරු කරයි) යනාදිය කියන ලදි.
චූලගවච්ඡ ථේර ගාථා අර්ථ වර්ණනාව නිමියේය.
මහාවච්ඡ ස්ථවිරගාථා වර්ණනාව
“පඤ්ඤාබලී” යනු ආයුෂ්මත් මහාගවච්ඡ තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? මොහු පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ භික්ෂු සංඝයාට පැන් දානයක් දුන්නේය. පසුව සිඛී භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි ද උපාසකයෙක් වී නිවණම අරමුණු කරගෙන බොහෝ පින්කම් කළේය. ඔහු එම පින්කම්වල විපාක වශයෙන් ඒ ඒ කාම සුගති භවයන්හි ම ඉපදෙමින් සසර සැරිසරා, අප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි මගධ රට, නාළක ගමෙහි සමිද්ධි නම් බමුණාගේ පුත්රයෙකු ලෙස උපන්නේය. ඔහුට “මහාගවච්ඡ” යන නම විය. ඔහු වැඩිවියට පැමිණ “ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේගේ ශ්රාවකයෙකි”යි අසා; “ඒ සැරියුත් තෙරණුවෝ මහා ප්රඥාවන්තයෙකි. උන්වහන්සේ ශ්රාවක බවට පත් වූ යමෙක් වේ ද ඔහු නියතයෙන්ම මේ ලොව අග්රම පුද්ගලයා විය යුතුයැ”යි භාග්යවතුන් වහන්සේ කෙරෙහි සැදැහැසිත් උපදවා, උන්වහන්සේ සමීපයේ පැවිදි විය. පැවිදිව කමටහන් ගෙන එහි යෙදුණු මහාගවච්ඡ තෙරණුවෝ නොබෝ දිනකින්ම රහත් බවට පත් වූ සේක. මේ බව අපදාන පාළියේ විස්තර වේ. එහි සිංහලාර්ථ මෙසේය. (අපදාන පාළි, II උදක දායක ත්ථෙරාපදානං)