අජිත ස්ථවිරගාථා වර්ණනාව
“මරණෙ මෙ භයං නත්‍ථි” යනු ආයුෂ්මත් අජිත තෙරුන්ගේ ගාථාවකි. එහි උපත කෙසේද? එම තෙරුන්, මීට කල්ප අනූ එකකට පෙර විපස්සි භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදී උන්වහන්සේට දිවුල් ගෙඩියක් පිදුවේය. එතැන් පටන් ඒ ඒ අත්බවෙහි පින් දහම් කරමින් දෙව් මිනිසුන් අතර සැරිසරා මේ මහා භද්‍ර කල්පයෙහි, අපගේ තථාගතයන් වහන්සේ ලොව පහළවීමට පෙර කාලයේදී සැවැත් නුවර කොසොල් මහ රජුගේ අග්‍රාසනිය බමුණාගේ පුතු වී උපන්නේය. එකුමරු අජිත නමින් ප්‍රසිද්ධ විය. මේ කාලයේදී සැවැත් නුවර විසූ ත්‍රිවිධ මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් හෙබියා වූ ත්‍රිවිධ වේදයන්හි පරතෙරට පත් බාවාරි නම් බ්‍රාහ්මණයා, සැවැත් නුවරින් නික්ම ගොස් තවුස් පැවිද්දෙන් පැවිදි වූයේ, ගෝධාවරී ගංතෙර වූ කපිත්‍ථ තිත්‍ථරාමයේ වාසය කරයි. ඉක්බිති අජිත එම තාපසයා සමීපයේ පැවිදි වූයේ වැඩ කැමති දෙවියකු විසින් මෙහෙය වන ලද බාවාරි තවුසා විසින් ශාස්තෲන් වහන්සේ වෙත යවන ලද මෙත්තෙය්‍යාදී සිසුන් සමග භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, සිතින්ම ප්‍රශ්න නඟා ඒවා විසඳූ කල්හි උන්වහන්සේ කෙරෙහි අතිශයින් පැහැදුණේය. පැහැදී සසුනේ පැවිදි වී කමටහන් ගෙන විදසුන් වඩා රහත් බවට පත්විය. එය අපදාන පාළියේ මෙසේ විස්තර වේ. (අපදාන පාළි II - කපිත්‍ථ ඵලදායකත්‍ථෙරාපදානං)
“ලෝකවාසීන්ගේ පූජාවන් පිළිගන්නා වූ රන්වන් ශරීර ශෝභාවෙන් යුතු වූ බුදුරජාණන් වහන්සේ වීථියට පිළිපන් කල්හි, මම උන්වහන්සේට දිවුල් ගෙඩියක් පිදුවෙමි.
එදා මෙයින් කල්ප අනූ එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම්ද එහි විපාක වශයෙන් මම දුගතියක නො ඉපදුනෙමි.
ම විසින් කෙලෙස් දවන ලදි. සියලු භව නසන ලදි. ඇත් රජෙකු මෙන් ආශ්‍රව නම් බැඳුම් සිඳ සුවසේ වෙසෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කළෙමි.” (5463-5467)
රහත් බවට පත් වූ උන්වහන්සේ සිංහනාද කරන සේක් “මරණේ මෙ භයං නත්‍ථි” යන ගාථාව වදාළ සේක.
එහි “මරණෙ” යනු මරණ නිමිත්තෙහි, මරණ හේතුවෙනි. “මෙ” යනු මා හට, “භයං නත්‍ථි” යනු භවයේ උපදින මුල් සිඳ දැමූ බැවින් ද ජාතිය (උපත) ක්‍ෂය කළ බැවින් ද නැවතත් ඉපදීමේ භයක් නැත. නොසිඳන ලද භව මුල් ඇති පුද්ගලයන්ට, “මට කවරාකාරයක නැවත උපතක් හිමිවේද?”යන මරණ භය ඇති වන්නේය. “නිකන්ති” යනු අපේක්ෂාවක්, තණ්හාවක් නැත. ජීවිතයෙහි මනාව ම මඩින ලද සංස්කාර (රැස්කිරීම්) නම් වූ උපාදාන ස්කන්‍ධයන්ගේ වශයෙන් ඇතිවන දුක් ආදිය නැති බැවින්, මනාව එළඹ සිටි සිහි ඇතිව ශරීරය පිළිබඳ සැකය පිළිබඳ සැකය හෝ සිය සිරුර, දේහය නැමති දුක් රැස බහා තබමි. අත්හැර දමමි. බහා තබනුයේ ද මේ සිරුරින් කරගත යුතු දේ ඉටු කරගත් බැවිනි. එනිසා දැන් එය ඒකාන්තයෙන්ම අත්හැර දමන්නෙමි. ප්‍රඥාවේ විපුලත්වයට පත් වූ බැවින්, සිහි ඇතිව වසනුයේ, සිහියේ විපුලත්වයට පත්වීමෙන්, සිහියෙන් යුතුව මේ කය අත් හරින්නෙමි”යි යන මේ ගාථාව පැවසූ තෙරුන් වහන්සේ ධ්‍යානයට සමවැද ඉන් පසුව පිරිනිවියහ.
අජිත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
දෙවැනි වර්ගයේ අර්ථ වර්ණනාව සමාප්තයි.
තෘතීය වර්‍ගය
නිග්‍රෝධ ස්ථවිරගාථා වර්ණනාව
“නාහං භයස්ස භායාමී” යනු ආයුෂ්මත් නිග්‍රෝධ තෙරුන්ගේ ගාථාවකි. එහි උපත කෙසේද? මෙයින් කල්ප එක් දහස් අටසීයකට පෙර බමුණු මහසල් කුලයක උපන් මෙම තෙරුන්, වැඩිවියට පත්ව කාමයේ ආදීනව හා පැවිද්දෙහි අනුසස් දැක ගෘහ බන්‍ධනාදිය අත්හැර ආරණ්‍යයකට පිවිසියේය. කැළයේ එක්තරා සල් වන පෙදෙසක පන්සලක් තනාගෙන තවුස් පැවිද්දෙන් පැවිදි වී වන-මුල්-ඵලාදිය අහරට ගෙන ජීවත් විය. මෙම කාලයේ පියදස්සී නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක්, දෙවියන් සහිත ලෝකයාට දහම් අමා වැසි වස්වමින්, කෙලෙස් සන්තාපයන් නිවා දමමින් ලොව හිත වැඩ සැලසූ සේක. එක් දිනක් උන්වහන්සේ තාපසතුමා කෙරෙහි හටගත් අනුකම්පාවෙන් එම සල් වනයට පිවිස නිරෝධ සමාපත්තියට සමවැදුනහ. තවුසා වන මුල් ඵල ගෙන පන්සල පැමිණි මොහොතේ භාග්‍යවතුන් වහන්සේ දැක, පැහැදුණු සිත් ඇතිව පිපුණු සල් අතු ගෙන කොළ අතු මණ්ඩපයක් සාදා එහි සැම තැනම සල් මල්වලින් වසා බුදුරදුන්ට වැන්දේය. පසුව ආහාර සඳහාවත් පිටත නොයා, හටගත් ප්‍රීති සොම්නස් සහගත සිතින් ම තථාගතයන් වහන්සේට නමස්කාර කරගෙන ම සිටියේය. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි ශාස්තෲන් වහන්සේ මේ තවුසාට අනුකම්පා පිණිස “භික්‍ෂු සංඝයා එත්වා” යි සිතූ සේක. “මොහුගේ සිත භික්‍ෂු මහා සංඝ රත්නය කෙරෙහි ද පහදිත්‍වා”යි පැතූ සේක. එකෙණෙහිම භික්‍ෂු සංඝයා වැඩිසේක. තාපසතුමා එම භික්‍ෂු මහා සංඝරත්නය දැක, පැහැදුණු සිත් ඇතිව, උන්වහන්සේලාට වැඳ ඇඳිලි බැඳගෙනම සිටියේය. භාග්‍යවතුන් වහන්සේ සිනහ පහළ කිරීම වශයෙන් ඔහුට ලැබෙන සම්පත් පිළිබඳව පැවසෙන ධර්ම දේශනාවක් පවත්වා, භික්‍ෂු සංඝයා සමගම එම වනයෙන් නික්මුණු සේක. එම තාපසතුමා ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස්සුන් අතරම සැරිසරමින්, සසර නැවැත්ම වූ නිවන පතාගෙන බොහෝ පින්දහම් රැස්කර ගත්තේය. අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි සැවැත් නුවර බමුණු මහසල් කුළයක උපන් ඔහු, “නිග්‍රෝධ” නාමයෙන් ප්‍රකට විය. ඔහු අනේපිඬු සිටුතුමා විසින් පූජා කරන ලද “ජේතවනාරාමය පිළිගන්නා දවසෙහි පැවති බුද්ධානුභාවය දැක, උපදවා ගත් ශ්‍රද්ධාව ඇතිව පැවිදි වී, විදසුන් වඩා නොබෝ කලකින්ම ෂඩ් අභිඥා ලාභියෙකු බවට පත්විය. මෙම තොරතුරු අපදාන පාළියේ සවිස්තරව දැක්වේ. (අපදාන පාළි II - සාලමණ්ඩ පියත්‍ථෙරාපදානං)