සිගාලපීතෘ ස්ථවිරගාථා වර්ණනාව
“අහූ බුද්ධස්ස දායාදො” යනු සිඟාලක පිතු තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? ඔහු මෙයින් කල්ප අනූ හතරකට පෙර සතරංසි නම් පසේ බුදුරජාණන් වහන්සේ පිඬු පිණිස හැසිරෙනු දැක, පැහැදුණු සිත් ඇතිව උන්වහන්සේට වැඳ, තම අතේ තිබූ තල් ගෙඩියක් පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්ලොව ඉපිද, තව තවත් භවයන්හි පින්දහම් කරමින් සුගතීන්හි ම සැරිසරා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ මනුෂ්‍යයෙක්ව උපන්නේය. සසුනේ ලබන ලද ශ්‍රද්ධා ඇතිව පැවිදි භාවයට පත් වූ ඔහු අට්ඨි සඤ්ඤාව වැඩුවේය. නැවත අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි සැවැත් නුවර උසස් කුලයක ඉපිද වැඩිවියට පැමිණ විවාහ වී එක් පුතෙක් ලැබ, “සිඟාලක” යන නම එම පුතාට තබන ලදි. එනිසා ඔහුට “සිඟාලක පිතා” යැයි වහරන ලදි. “සිඟාලකගේ පියා” යන අරුතයි. පසුව හෙතෙම ගිහිගේ කළකිරී සසුනෙහි පැවිදි විය. භාග්‍යවතුන් වහන්සේ, සිඟාලක පිතු තෙරුන්ගේ අදහස් බලා, අට්ඨික සඤ්ඤාව කමටහනක් ලෙස දුන් සේක. උන්වහන්සේ එම කමටහන වඩමින් භග්ග ජනපදයේ සුංසුමාර ගිරි භේසකලාවනයෙහි සිටි සේක. ඉක්බිති එම වනයෙහි අධිගෘහිත දේවතාවා “මම හිමියන්ගේ උත්සාහය වඩවා භාවනා බලයෙන් නොබෝ කලකින්ම රහත් බව අතට පත් වූවක් කරන්නෙමි”යි සිතා එම අදහසම වෙනත් අයුරකින් දක්වමින් “අහු බුද්ධස්ස දායාදො” යන ගාථාව පැවසීය.
එහි “අහු” යනු වේ. මෙය වර්තමාන කාල අර්ථයේ යෙදුණු අතීත කාල වචනයකි. “බුද්ධස්ස” යනු සර්වඥ බුදුරජාණන් වහන්සේගේ “දායාදො” ධර්ම දායාද කරගත්, නව ලෝකෝත්තර ධර්මයට දායාද වූ තමාගේ සම්‍යක් ප්‍රතිපත්තියෙහි පිහිටා එය පිළිගන්නා වූ නැතහොත් “අහු” යනු විය. “මෙනම් වූ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දායාද වූ කිසියම් බැඳුණු පුද්ගලයෙක් මෙහිම සිටී” යන අර්ථයයි. එනිසා “කාමරාගය වහාම ප්‍රහීණ කරුණු ඇතැයි මම සිතමි” යනුවෙන් කියන ලදි. “භෙසකලාවනෙ” යන “භේසක” නම් යක්‍ෂයා විසින් තබන ලද, පිළිගන්නා ලද බැවින් “භේසකලාවන” නම් වූ දර ආදිය බහුල වූ බැවින් “භේසකලාවන” යැයි ලබන ලද නම් ඇති අරණ්‍යයෙහි කැළයෙහි ඒ භික්‍ෂුව බුදුරදුන්ගේ දායාද ලබාගත් බැවින්, හුදෙක් අට්ඨි සඤ්ඤාවම වඩන බැවින් “මේ මුළු පෘථිවියම” යැයි කියන ලදි. එහි “කෙවලං” යනු සියලු සමස්ත “අට්ඨික සඤ්ඤාය” යනු අට්ඨික භාවනාවෙන් සියලු දෙයම “ඇට” ලෙස සිතන භාවනා කමටහනින් “අඵරී” යනු “ඇට” යැයි ස්ථිර ලෙස පිහිටීම් වශයෙන් පැතුරුණා වූ “පඨවිං” යනු ආත්මභාවය නම් පොළොවෙහි. මෙහි ආත්ම භාවය “පඨවි” යනුවෙන් අදහස් කරන ලදි. “කවරෙක් නම් මේ පොළොව අත්හරින්නේද?” (ඛො ඉමං පඨවිං විජෙස්සතී) යනාදියෙහි මෙනි. “මඤ්ඤෙහං” යනු මම සිතමි. මෙහිදී “මඤ්ඤාහං” යන පාඨයද සුදුසුය. “සො” යනු ඒ භික්‍ෂුව වහාම - නොපමාව ම කාමරාගය දුරු කරයි. දුරු කරන්නේ යැයි මම සිතමි. කුමක් හෙයින්ද? අට්ඨික සඤ්ඤාවෙන් කාම රාගයේ සෘජු පටිපන්න භාවයට පත් වූ හෙයිනි. මෙය කියන ලදි. “යමෙක් එක් ප්‍රදේශයක ලබන ලද අට්ඨික සංඥාව, තම සියලුම ආත්මභාවය පුරාම පතුරුවා හැරියේද, ඒ භික්‍ෂුව ඒ අට්ඨික සංඥාව ම පාදක කරගෙන විදර්ශනාව වඩා නොබෝ දිනකින් ම අනාගාමී මාර්ගයන් උපදවා ගැනීමෙන් සියලුම ආකාරයෙන් කැමතිවීම් අරුතින් “කාම” නම් වූ ද ඇලීම් අර්ථයෙන් “රාග” යැයි ද ලබන ලද නම් ඇති කාමරාගය ද, අර්හත් මාර්ගයෙන් තණ්හාව ද දුරුකරන්නේය.” මේ ගාථාව ඇසූ ඒ තෙරුන් වහන්සේ “මේ දේවතාවා මා හට උත්සාහ ඉපදවීමට මෙසේ කියන්නේයැ”යි දැන අප්‍රතිහත ධෛර්යය උපදවා විදසුන් වඩා රහත් බවට පත් වූ සේක. එනිසා අපදාන පාළියේ එම තොරතුරු මෙසේ දක්වා ඇත. (අපදාන පාළි II - තාලඵලදායක ත්‍ථෙරාපදානං) -
“සියල්ල තමන් වහන්සේම අවබෝධ කරගත් සතරංසි පසේ බුදුරජාණන් වහන්සේ, අපරාජිත වූ සමාධියෙන් නැගිට පිඬු පිණිස වැඩම කළ සේක.
උන්වහන්සේ වෙත පැමිණි මා, පහන් සිත් ඇත්තෙම් මා අත වූ තල් ගෙඩියක් නරාසභයන් වහන්සේට පිදුවෙමි.
මෙයින් කල්ප අනූ එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක ලෙස මේ දක්වා දුගතියක නූපදුනෙමි. ඵල දානයේ විපාකය එබඳුය.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුපියාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.” (5442-5447)
රහත් බවට පත් වූ උන්වහන්සේ ඒ දේවතාවා විසින් කියූ වචන සිහිපත් කරමින්, එම ගාථාවම උදාන වශයෙන් - ප්‍රීති වාක්‍යයක් ලෙස වදාළ සේක. එයම එම තෙරුන් වහන්සේගේ රහත් බව ප්‍රකාශ කිරීම විය.
සිඟාලක පිතු ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
කුණ්ඩල ස්ථවිරගාථා වර්ණනාව
“උදකං හි නයන්ති” යනු ආයුෂ්මත් කුණ්ඩල තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? මේ තෙරුන් වහන්සේ ද නිවණ අරමුණු කරගෙන බොහෝ කුසල දහම් රැස් කොට, කළ ප්‍රාර්ථනා ඇතිව සිටියදී, විපස්සි භාග්‍යවතුන් වහන්සේ අහසින් යනු දැක පැහැදුණු සිත් ඇත්තේ එක් පොල් ගෙඩියක් පූජා කරනු කැමති වූහ. ශාස්තෲන් වහන්සේ ඔහුගේ අදහස දැනගත් සේක්, අදහසින් බැස එය පිළිගත්හ. ඔහු අතිශයින් පැහැදී, එනිසාම ලබන ලද ශ්‍රද්ධාව ඇතිව සසුනේ පැවිද්ද ඉල්වීය. ශාස්තෲන් වහන්සේ එක්තරා භික්‍ෂුවක් කැඳවා, “මේ පුරුෂයා පැවිදි කරන්න”යි පැවසූ සේක. ඔහු පැවිදිව, ලැබූ උපසපන් බව ඇති වූයේ මහණදම් පුරා, එම ආත්ම භාවයෙන් චුතව බුද්ධාන්තර සයක් දෙව් මිනිස් දෙගතියෙහි සැප වින්දේය. අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි, සැවැත් නුවර බමුණු කුලයේ උපන් ඔහු “කුණ්ඩල” නමින් ප්‍රකට විය. ඔහු වැඩිවියට පැමිණ - සසුනෙහි ලබන ලද ශ්‍රද්ධා ඇති වූයේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදි විය. උන්වහන්සේගේ සිත වික්‍ෂේප (අවුල් සහගත බව) බහුල වූ බැවින් ගුණ විශේෂයක් උපදවා ගැනීමට නොහැකි විය. එක් දිනක් පිඬු පිණිස ගමට වැඩි උන්වහන්සේ අතරමගදී, බිම සාරා දිය පහරවල් තනා තමා කැමති තැනට දිය ගෙන යන්නාවූ පුරුෂයන් දැක එකරුණ සිත තබාගත් සේක. ගමේදී එක්තරා හී වඩුවෙක් දී හී දඬුවක් ගෙන හැර - ඇස් කෙළවරින් බලා සෘජු කරනු දැක එයද සිත තබා ගත් සේක. ඉදිරියට වැඩි උන්වහන්සේ නිම් වළලු, නැබ ආදී රිය සකට අවශ්‍ය උපකරණ තුනී කරන, සසිත ලී වඩුවන් දැක එය ද සිත තබාගෙන විහාරයට නැවත වැඩි සේක. කරන ලද බත් කිස ඇති උන්වහන්සේ පා සිවුරු තබා, දිවා විහරණයෙහි යෙදුණු සේක් තමා විසින් දකින ලද නිමිති උපමා වශයෙන් ගෙන තම සිත දමනය කර ගැනීමට උත්සාහ ගත් සේක. “සිත් පිත් නැති ජලය පවා මිනිස්සු තමා රිසි තැනට ගෙන යති. එසේම අචේතනික වූ වක් වූ මේ හී දඬුව උපක්‍රමයෙන් සෘජු කරති. එසේම ලී වඩුවෝ මේ අචේතනික ලී දඬු, ලී කොට ආදිය නිම්වළලු ආදී වශයෙන් වක්‍රාකාරවද සෘජු බවට ද පමුණුවති. එනිසා කුමක් නිසා මා හට මාගේ සිත දමනය කරගත නොහැක්කේද?”යි දැඩිව සිතා විදර්ශනාව වෑයමින් වඩන්නේ නොබෝ කලකින් ම රහත් බවට පත් වූහ. මෙම විස්තර අපදාන පාළියේ මෙලෙස දැක්වේ. (අපදාන II - නාළිකෙරඵලදායක ත්‍ථෙරාපදානං) -