දාසක ස්ථවිරගාථා වර්ණනාව
“මිද්ධි යදා” යනු ආයුෂ්මත් දාසක තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ මෙයින් කල්ප අනූ එකකට පෙර බුදුවරු නූපන් කාලයක මනුෂ්‍යයෙක්ම උපන්හ. ගන්‍ධ මාදන පර්වතයෙන් බැස මිනිස් පථයෙහි එක් ගමක පිඬු පිණිස හැසිරෙන අජිත නම් පසේ බුදුරජාණන් වහන්සේ දුටු ඔහු ඉතා රසවත් අඹ ගෙඩියක් උන්වහන්සේට පූජා කළේය. ඔහු ඒ පින් බෙලෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා කාශ්‍යප බුදුන්ගේ සසුනෙහි පැවිදිභාවයට පත්ව නිර්වාණය පතාගෙන බොහෝ පින් දහම් කළේය. මෙසේ රැස් කරන ලද කුසල ධර්ම ඇති ඔහු, සුගතියෙන් සුගතියට යමින් අප තථාගතයන් වහන්සේ ලොව පහළ වූ කාලයේ සැවැත් නුවර උසස් පවුලක ඉපිද “දාසක” නමින් ප්‍රකට විය. ඔහු අනේ පිඬු සිටුතුමා විසින් විහාරය ආරක්‍ෂා කිරීමෙහි යොදන ලදුව මැනවින් එම කටයුත්තෙහි යෙදුණි. එනිසා නිතරම බුදුන් දැකීමෙහි ද ධර්ම ශ්‍රවණයෙහි ද යෙදීමෙන් ලබන ලද ශ්‍රද්ධා ඇති ඔහු සසුනේ පැවිදි විය. ඇතැම්හු මෙසේ කියති. “මොහු කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ උසස් කුලයක ඉපිද, වැඩිවියට පත්ව එක්තරා රහතන් වහන්සේ නමකට උපස්ථාන කරනුයේ, දික් කිසියම් වැඩක් කරගනු කැමතිව උන්වහන්සේට අණ කරන ලදි. ඔහු එම පාප කර්මය නිසා අප භාග්‍යවතුන් ලොව පහළ වූ සමයේ සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ දාසියෙකුගේ කුසෙහි උපන්නේය.” යනුවෙනි. වැඩිවියට පත් වූ ඔහු, සිටුතුමා විසින් විහාරය ආරක්‍ෂා කිරීමෙහි යොදන ලදුව පෙරකී ලෙසම ලබන ලද ශ්‍රද්ධා ඇති විය. මහ සිටුතුමා ඔහුගේ යහපත් අදහස දැන දාස භාවයෙන් මුදවා “කැමති පරිදි පැවිදිවන්න”යි පැවසීය. පසුව ඔහු පැවිදිවිය. පැවිදි වූ දින සිටම උන්වහන්සේ, කුසීතව කම්මැලිව කිසිදු වත් පිළිවෙතක් නොකරති. ශ්‍රමණධර්ම කිරීමක් - මගඵල ලැබීමක් කොයින්ද? හුදෙක් ලැබෙනතාක් වළඳා නිදා ගැනීමෙන් ම කල් ගෙවීය. ධර්ම ශ්‍රවණය කරන කාලයෙහි ද ධර්මශාලාවෙහි එක් කොණක පිරිස කෙළවරම හිඳගෙන සුරු සුරු හඬින් ප්‍රාශ්වාස කරමින් නිදිකිරා වැටේ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ හිමිගේ පෙර උපනිශ්‍රය සම්පත් විමසා බලා, උන්වහන්සේට සංවේග ඉපදවීම පිණිස “මිද්ධි යදාහොති මහග්ඝසොච” යන ගාථාව වදාළ සේක.
එහි “මිද්ධි” යනු ථීන මිද්ධ දෙකින් මඩනා ලද, යමෙක් කායික මැලි බවින් යුතුවේද (මිද්ධ) ඔහුගේ සිත ද දුර්වල වේම (ථීන) ය. “යදා” යනු යම් කාලයක “මහාග්ඝසො” යනු මහත් වූ භෝජන අනුභව කරන්නෙක් වේ. පමණ ඉක්මවා අශීලාචාරව ආහාර ගන්නා හත්‍ථක, අලංසාටක, තත්‍රවට්ටක, කාකමාසක, භුත්තවමික යන බමුණන් පස්දෙන මෙන් ආහාර ගනී. “නිද්දායිතා” යනු නිදා ගන්නා වූ “සම්පරිවත්ත සායී” යනු පෙරැළී පෙරැළී නිදන්නේ වේ. මෙ වචන දෙකින්ම “නිදීමේ සුවය, ස්පර්ශ සුවය, කායික මැළි බවින් යුතු සැපය විඳිමින් කල් ගෙවයි” යන අරුතින් “නිවාපපුට්ඨෙ” යනු සහල් කුඩු ආදී ඌරු ආහාරදී පෝෂණය කළ ගෘහවැසි ඌරෝ, බාල කාලයේ පටන් පෝෂිත ශරීරය ඉතා මහත් වුවත්, ගෙයින් පිටව යාමක් නොසිතා ඇඳ පුටු ආදියේ යට පෙරැළෙමින් පෙරැළෙමින් ම නිදන්නේ මය. මෙම ගාථාවේ අදහස මෙසේය. – “යම් පුරුෂයකු කායික මැළි බවින් යුතුවේද ඔහු මහත් වූ ආහාර පානාදියෙන් පෝෂිත මහා ඌරෙකු මෙන්, වෙනත් ඉරියවුවකින් සිටීමට නොහැකිව පෙරැළෙමින් නිදාගැනීම ම කරයි. මෙසේ වූ පුද්ගලයා අනිත්‍යය දැක අනාත්ම යන ත්‍රිලක්‍ෂණය මෙනෙහි කිරීමට නොහැකිව වෙසේ. එය සිහිපත් නොකරන හෙයින් මඳ වූ ප්‍රඥා ඇති ඔහු නැවත නැවත මවුකුසට පැමිණේ. (සසර සැරි සරයි). ගැබෙහි වාසයෙන් නොමිදෙයි. මෙම ගාථාව ඇසූ දාසක තෙරණුවෝ සංවේග උපදවා විදසුන් වඩා නොබෝ දිනකින්ම රහත් බව සාක්‍ෂාත් කරගත්හ. මෙම සිදුවීම අපදාන පාළියේ මෙලෙස විස්තර වේ -
“එකල්හි මුනි ගුණ ඇති පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ සමාධියෙහි දක්‍ෂ වූ “අජිත” නම් පසේ බුදුරජාණන් වහන්සේ හිමවතෙහි වැඩ විසූහ.
ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ රන්වන් සිරුරැති බුදුරජාණන් වහන්සේ වීථියට පිළිපන් කල්හි මම එක් අඹ ඵලයක් පිදුවෙමි.
මෙයින් කල්ප අනූ එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතිය නොඉපදුනෙමි.
මවිසින් කෙළෙස් දවන ලදි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත් බවට පත් වූ එම දාසක තෙරණුවෝ මේ ගාථාවෙන් භාග්‍යවතුන් වහන්සේ මට අවවාද දුන්සේකැයි පවසා, “මේ ගාථාව මා හට හෙණ්ඩුවක් වී යැ”යි එම ගාථාව නැවත දේශනා කළ සේක. මෙලෙස මේ තෙරුන් වහන්සේ පෙරළා දැක්වීම් වශයෙන් (පරිවත්තාහාරනයෙන) තම රහත් බව ප්‍රකාශ කරන ලද්දේ වේ.
දාසක ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
සිගාලපීතෘ ස්ථවිරගාථා වර්ණනාව
“අහූ බුද්ධස්ස දායාදො” යනු සිඟාලක පිතු තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? ඔහු මෙයින් කල්ප අනූ හතරකට පෙර සතරංසි නම් පසේ බුදුරජාණන් වහන්සේ පිඬු පිණිස හැසිරෙනු දැක, පැහැදුණු සිත් ඇතිව උන්වහන්සේට වැඳ, තම අතේ තිබූ තල් ගෙඩියක් පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්ලොව ඉපිද, තව තවත් භවයන්හි පින්දහම් කරමින් සුගතීන්හි ම සැරිසරා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ මනුෂ්‍යයෙක්ව උපන්නේය. සසුනේ ලබන ලද ශ්‍රද්ධා ඇතිව පැවිදි භාවයට පත් වූ ඔහු අට්ඨි සඤ්ඤාව වැඩුවේය. නැවත අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි සැවැත් නුවර උසස් කුලයක ඉපිද වැඩිවියට පැමිණ විවාහ වී එක් පුතෙක් ලැබ, “සිඟාලක” යන නම එම පුතාට තබන ලදි. එනිසා ඔහුට “සිඟාලක පිතා” යැයි වහරන ලදි. “සිඟාලකගේ පියා” යන අරුතයි. පසුව හෙතෙම ගිහිගේ කළකිරී සසුනෙහි පැවිදි විය. භාග්‍යවතුන් වහන්සේ, සිඟාලක පිතු තෙරුන්ගේ අදහස් බලා, අට්ඨික සඤ්ඤාව කමටහනක් ලෙස දුන් සේක. උන්වහන්සේ එම කමටහන වඩමින් භග්ග ජනපදයේ සුංසුමාර ගිරි භේසකලාවනයෙහි සිටි සේක. ඉක්බිති එම වනයෙහි අධිගෘහිත දේවතාවා “මම හිමියන්ගේ උත්සාහය වඩවා භාවනා බලයෙන් නොබෝ කලකින්ම රහත් බව අතට පත් වූවක් කරන්නෙමි”යි සිතා එම අදහසම වෙනත් අයුරකින් දක්වමින් “අහු බුද්ධස්ස දායාදො” යන ගාථාව පැවසීය.
එහි “අහු” යනු වේ. මෙය වර්තමාන කාල අර්ථයේ යෙදුණු අතීත කාල වචනයකි. “බුද්ධස්ස” යනු සර්වඥ බුදුරජාණන් වහන්සේගේ “දායාදො” ධර්ම දායාද කරගත්, නව ලෝකෝත්තර ධර්මයට දායාද වූ තමාගේ සම්‍යක් ප්‍රතිපත්තියෙහි පිහිටා එය පිළිගන්නා වූ නැතහොත් “අහු” යනු විය. “මෙනම් වූ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දායාද වූ කිසියම් බැඳුණු පුද්ගලයෙක් මෙහිම සිටී” යන අර්ථයයි. එනිසා “කාමරාගය වහාම ප්‍රහීණ කරුණු ඇතැයි මම සිතමි” යනුවෙන් කියන ලදි. “භෙසකලාවනෙ” යන “භේසක” නම් යක්‍ෂයා විසින් තබන ලද, පිළිගන්නා ලද බැවින් “භේසකලාවන” නම් වූ දර ආදිය බහුල වූ බැවින් “භේසකලාවන” යැයි ලබන ලද නම් ඇති අරණ්‍යයෙහි කැළයෙහි ඒ භික්‍ෂුව බුදුරදුන්ගේ දායාද ලබාගත් බැවින්, හුදෙක් අට්ඨි සඤ්ඤාවම වඩන බැවින් “මේ මුළු පෘථිවියම” යැයි කියන ලදි. එහි “කෙවලං” යනු සියලු සමස්ත “අට්ඨික සඤ්ඤාය” යනු අට්ඨික භාවනාවෙන් සියලු දෙයම “ඇට” ලෙස සිතන භාවනා කමටහනින් “අඵරී” යනු “ඇට” යැයි ස්ථිර ලෙස පිහිටීම් වශයෙන් පැතුරුණා වූ “පඨවිං” යනු ආත්මභාවය නම් පොළොවෙහි. මෙහි ආත්ම භාවය “පඨවි” යනුවෙන් අදහස් කරන ලදි. “කවරෙක් නම් මේ පොළොව අත්හරින්නේද?” (ඛො ඉමං පඨවිං විජෙස්සතී) යනාදියෙහි මෙනි. “මඤ්ඤෙහං” යනු මම සිතමි. මෙහිදී “මඤ්ඤාහං” යන පාඨයද සුදුසුය. “සො” යනු ඒ භික්‍ෂුව වහාම - නොපමාව ම කාමරාගය දුරු කරයි. දුරු කරන්නේ යැයි මම සිතමි. කුමක් හෙයින්ද? අට්ඨික සඤ්ඤාවෙන් කාම රාගයේ සෘජු පටිපන්න භාවයට පත් වූ හෙයිනි. මෙය කියන ලදි. “යමෙක් එක් ප්‍රදේශයක ලබන ලද අට්ඨික සංඥාව, තම සියලුම ආත්මභාවය පුරාම පතුරුවා හැරියේද, ඒ භික්‍ෂුව ඒ අට්ඨික සංඥාව ම පාදක කරගෙන විදර්ශනාව වඩා නොබෝ දිනකින් ම අනාගාමී මාර්ගයන් උපදවා ගැනීමෙන් සියලුම ආකාරයෙන් කැමතිවීම් අරුතින් “කාම” නම් වූ ද ඇලීම් අර්ථයෙන් “රාග” යැයි ද ලබන ලද නම් ඇති කාමරාගය ද, අර්හත් මාර්ගයෙන් තණ්හාව ද දුරුකරන්නේය.” මේ ගාථාව ඇසූ ඒ තෙරුන් වහන්සේ “මේ දේවතාවා මා හට උත්සාහ ඉපදවීමට මෙසේ කියන්නේයැ”යි දැන අප්‍රතිහත ධෛර්යය උපදවා විදසුන් වඩා රහත් බවට පත් වූ සේක. එනිසා අපදාන පාළියේ එම තොරතුරු මෙසේ දක්වා ඇත. (අපදාන පාළි II - තාලඵලදායක ත්‍ථෙරාපදානං) -