බෙල්ලට්ඨිසීස ස්ථවිරගාථා වර්ණනාව
“යථාපි භද්දො ආජඤ්ඤො” යනු ආයුෂ්මත් බේලට්ඨ සීස තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ උසස් කුළයක ඉපදී, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ ධර්මය අසා, ලබන ලද ශ්‍රද්ධාව ඇතිව පැවිදි වී මහණදම් පිරූ නමුත් උපනිශ්‍රය සම්පත් නැති බැවින් ආර්ය ගුණ විශේෂයක් උපදවා ගැනීමට නොහැකි වූහ. නමුත් නිවන අරමුණු කරගෙන බොහෝ පින්දහම් සිදු කරගත් බැවින් දෙව් මිනිස් දෙගතියෙහි හැසිරෙන කල්හි; මෙයින් කල්ප තිස් එකකට පෙර දී වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ දැක - පැහැදී උන්වහන්සේට නාරන් ගෙඩියක් පූජා කළේය. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් ලොව ඉපිද, තව තවත් පින් දහම් රැස්කර සුගතියෙන් සුගතියට පත් වෙමින් සිට, අප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි සැවැත් නුවර එක් බමුණු ගෙදරක උපන්නේය. ඉපිද භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමට පෙර කාලයේදී උරුවේල කාශ්‍යප තාපසතුමා ළඟ තවුස් පැවිද්දෙන් පැවිදිව ගිනි පුදමින් සිටියේය. බුදුරජාණන් වහන්සේ උරුවෙල කාශ්‍යප දමනය කරමින් ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව පැවැත්වූ කල්හි පැරණි ජටිලයන් දහස සමගම රහත් බවට පත්විය. මෙම විස්තරය අපදාන පාළියේ ගාථාවලින් ද දැක්වේ. එහි සිංහලාර්ථය මෙසේය. (අපදාන පාළි II - මාතුලුඞ්ගඵලදායක ත්‍ථෙරාපදානං) -
“පණ්ණරසි දිනයේ (පසළොස්වක දා) සඳ මෙන් බබළන, කිණිහිරි රුකක් වැනි වූ පහන් ගසක් මෙන් දිලිසෙන ලෝක නායක වූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
උන්වහන්සේ කෙරෙහි පහන් සිත් උපදවා දක්‍ෂිණාර්හ වූ ප්‍රාඥ වූ ශාස්තෲන් වහන්සේට මම නාරන් ගෙඩියක් පිදුවෙමි.
එදා සිට, මෙයින් කල්ප තිස් එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නො ඉපදුනෙමි. ඵලදානයේ විපාකය එබඳුය.
ම විසින් කෙලෙස් දවන ලදි. සියලු භවයෝ නැසුවෙමි -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටු කළෙමි. (5425-5430)
මෙලෙස ලබන ලද රහත් බව ඇති, ආයුෂ්මත් ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද මහතෙරුන් වහන්සේගේ උපාධ්‍යාය වූ මේ බෙලට්ඨසීස තෙරණුවෝ; එක් දිනක් ඵල සමවතින් නැගී සිට, ශාන්ත වූ ප්‍රණීත වූ නිරාමිස සුවය ද තමාගේ පූර්ව යෝගයෙන් ද සිහිපත් කර බලා හටගත් ප්‍රීති සොම්නස් බව නිසා “යථාපි භද්දො ආජඤ්ඤො” යන ගාථාව වදාළ සේක.
එහි “යථාපි” යනු උපමාවක් දක්වන අරුතෙහි යෙදුණු නිපායකි. “භද්දො” යනු යහපත් වූ, සුන්දර වූ, වීර්ය බලයෙහි සමර්ථ වූ, ජව - පරාක්‍රමාදියෙන් යුක්ත වූ “ආජඤ්ඤො” යනු ආජානීය වූ, උසස් වර්ගයේ වූ, ජාතියේ හා කාරණා කාරණා නිවැරදිව දැනීම් වශයෙන් උසස් පැවතුම් ඇති, එබඳු සත්ත්වයෝ තිදෙනෙකි. ඔවුන් අතුරින් ආජානීය වෘෂභයා මෙහිදී අදහස් විය. ඔහු සී සෑමෙහි දක්‍ෂ ලෙස යොදා ඇත්තෙකි. එනිසා කියන ලදි. – “නඞ්ගලා වත්තනී” යනුවෙන්, හී වැටෙහි යොදන ලද, නගුලේ ද නගුල් තලයේ ද පෙරලීම් වශයෙන් “නඞ්ගලං” හි වැටෙති. නඞ්ගල පථයෙහි ඔබිනොබ පෙරලී කුඹුරෙහි සී සායි යන අර්ථයයි. නගුල පෙරලී යයි. එය මෙහි සිදුවේ යන අරුතින් “නඞ්ගලාවත්ත” නම් වේ. කෙතෙහි, නඟුල් පථයෙහි යන අරුතින්, එහි “නඞ්ගලාවත්තනි” නම් වේ. ගාථාවෙහි සුඛෝච්ඡාරණය සඳහා මෙහි “වත්තනී” යනුවෙන් දීර්ඝ කරන ලදි. “සිඛී” හිස මත වසාගෙන සිළු මෙන් සිටින බැවින් “සිඛා” නම් වූ අං එය ඇත්තේ “සිඛී” නම් වේ. ඇතැම්හු මෙහි “සිඛා” යනුවෙන් මොල්ලිය අදහස් කළ බව කියති. අර්ථ දෙකම ගත්තත්, මෙහිදී නඟුලම ඉස්මතු කර දක්වයි. “අප්පකසිරෙන” යනු අල්ප වෙහෙසකින්, නිදුකින්, “රත්තින්‍දිවා” යනු දවල් ද රාත්‍රියේ ද “මෙසේ මා හට නිදුකින් දිවා රෑ ගත වේ” යන අරුතයි. මෙය කියන ලදි. යම් සේ යහපත් වූ අජානීය වෘෂභයෙක් නොසළකමින් නිදුකින් ඔබිනොබ පෙරලමින් යන්නේද, යම්තාක් සී සෑමෙහි පරිශ්‍රමයක් උත්සාහයක් දක්වයිද, එලෙසින්ම මගේ දිවා රාත්‍රී කාලය නිදුකින්ම ගතවේ. ඉක්මවා යයි. එම හේතුවෙන් කියන ලදි. “සුඛෙ ලද්ධෙ නිරාමිසෙ” යනු “කාමුක ආමිෂ, ලෞකික ආමිෂ හා සසර පැවැත්මට හේතුවන ආමිෂාදියෙන් මිශ්‍ර නොවූ එනිසාම ශාන්ත වූ ප්‍රණීත වූ ඵලසමවත් සුව ලද බැවින්” යන අරුතයි. මෙය පඨමා විභක්ති අර්ථයේ තැබූ සත්තමී වචනයකි. “වනප්පගුම්බෙ” යන්න මෙනි. “එලෙසින්ම සෙසු අය ද පැවතිය යුතුයි” යන අරුතයි. නැතහොත් එතැන් පටන් රෑ දවල් නිදුකින්ම ගතවේ යැයි විමසීම සඳහා කියන ලදි. “සුඛො ලද්ධෙ නිරාමිසෙ” යනු නිරාමිස සුවය ලැබූ කල්හි “එය ලද අවස්ථාවෙහි සිට” යන අර්ථයයි.