කුණ්ඩධාන ස්ථවිරගාථා වර්ණනාව
“පඤ්ච ඡින්‍දෙ පඤ්හ ජහෙ” යනු ආයුෂ්මත් කුණ්ඩධාන තෙරුන් වහන්සේගේ ගාථාවකි. එහි උපත කෙසේද? එම තෙරුන් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සමයෙහි හංසවතී නුවර කුල ගෙදරක ඉපිද වැඩිවියට පැමිණියේය. එම තරුණයා ද භාග්‍යවතුන් වහන්සේ වෙත පෙර පැවසූ පරිදිම අවුත් ධර්ම දේශනාවක් අසන්නේ, ශාස්තෲන් වහන්සේ විසින් එක් භික්‍ෂුව පළමුව සළාක ගන්නවුන් අතුරින් අග්‍රස්ථානයෙහි තබනු දුටුවේය. ඔහු එම තනතුරම ප්‍රාර්ථනා කරමින් ඊට අනුරූප වූ පින් දහම් සිදු කරමින් ජීවත් විය. ඔහු එක් දිනක් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ, නිරෝධ සමාපත්තියෙන් නැගිට සිටි කල්හි; රත් සිරියල් කුඩු ඉසින ලද මෙන් රතුපාට වූ මහත් වූ කෙසෙල් කැනක් ගෙන උන්වහන්සේට පූජා කළේය. භාග්‍යවතුන් වහන්සේ එය පිළිගෙන පරිභෝග කළ සේක. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් එකොළොස් වරක් ශක්‍ර දේවේන්‍ද්‍රයාව උපන්නේය. විසිහතර වාරයක් සක්විති රජකම ලැබුවේය. මෙලෙස ඔහු නැවත නැවතත් පින් දහම් කරමින් දෙව් මිනිස් දෙගතියෙහිම සැරිසරනුයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි භූමිගත දෙවියෙක්ව උපන්නේය. දීර්ඝායුෂ්ක බුදුවරුන්ගේ කාලවලදී අඩමසක් පාසා පොහොය කිරීමක් සිදු නොවේ. එසේමැයි. විපස්සි බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි වර්ෂ හයකට වරක් පොහොය කිරීම සිදුවිය. කස්සප බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි වර්ෂ හයකට වරක් පොහොය කිරීම සිදුවිය. කස්සප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි මාස හයකට වරක් ප්‍රාතිමෝක්‍ෂය උදෙසීමට රැස්වීම සිදුවිය. එලෙස පාමොක් උදෙසීමට රැස්වන කාලයේදී පිටිසර වැසි යහළු භික්‍ෂූහු දෙනමක් එක්ව “පොහොය කරන්නෙමු”යි නගරය බලා පිටත් වූහ.
මේ භූමිගත දෙවියා මෙසේ සිතීය.” මේ භික්‍ෂූන් වහන්සේලා දෙනමගේ මිත්‍රත්‍වය ඉතා දැඩි වූවකි. මේ දෙදෙන ඔවුනොවුන් බිඳවිය හැකිද? නොහැකිද? යි සිතමින්, ඒ භික්‍ෂූන්ගේ අවසරයක් අපේක්ෂා කරමින් ඔවුන් සමගම ගියේය. ඉක්බිති එක් තෙර නමක්, තම සිවුර යහළුවාගේ අතෙහි තබා ශරීර කෘත්‍ය කිරීමට දිය ඇති තැනකට ගොස්, සේදූ අත් පා ඇතිව වන ලැහැබින් නික්මී පැමිණියේය. බිම් වැසි දෙවියා ද එම තෙරුන්ගේ පසු පසින් ඉතා දැකුම්කළු ස්ත්‍රී රුවක් මවාගෙන, කේශ කලාපය කඩා විසුරුවාගෙන, කථා බස් කරගෙන සම්බන්ධ වූ බවක් පෙන්වමින්, පිටෙහි පස් පිස දමමින්, හැඳි සළුව නැවත නැවත සකසමින් තෙරුන්ගේ පසුපසින් ම වන ලැහැබින් නික්මුණේය. එකත් පසෙක සිටි යහළු තෙරුන් වහන්සේ මෙම සිදුවීම දැක, දොම්නසට පැමිණියේ “මේ භික්‍ෂුව සමග බොහෝ කාලයක් තිස්සේ පැවති විශ්වාසය දැන් නැසුණේය. ඉදින් මොහු මෙබඳු පවිටෙකැයි දන්නේ නම් මේ සා දිගු මාවතෙහි මොහු සමග නොඑන්නෙමි”යි සිතා, ළඟට පැමිණි එම තෙරුන්ට, “ඇවැත්නි! නුඹගේ පා සිවුරු වහා ගන්න. නුඹ වැනි පාපියෙකු සමග එක මාවතක නොයමි”යි පැවසූහ. එම කතාව ඇසූ, ඒ පාපයට ලැජ්ජා ඇති භික්‍ෂුවගේ හදවත තියුණු සැනකින් විඳින්නාක් මෙන් විය. ඉක්බිති උන්වහන්සේ තම යහළු තෙරුන්ට, “ඇවැත්නි! නුඹ වහන්සේ පවසනුයේ කුමක්ද? මම මෙපමණ කාලයක් දුක්කටාපත්තියකට පත් වූ බවක්වත් නොදනිමි. නුඹ මට අද “පාපියෙකි” යි කියන්නේය. නුඹ වහන්සේ දුටුවේ කුමක්ද?” යි පැවසීය. එබස් ඇසූ අනික් තෙර නම “අනිකක් කුමට දකින්නේද? නුඹ මෙවැනි අලංකාර වූ ස්ත්‍රියක් සමග එකතැනක හිඳ මෙහි පැමිණියේ නොවේද?” යි ප්‍රශ්න විචාළේය. එවිට නිර්දෝෂී භික්‍ෂූන් වහන්සේ, “ඇවැත්නි! එබඳු දෙයක් ම විසින් නොකරන ලදි. මෙබඳු වූ ස්ත්‍රියක් මා නම් නුදුටුවෙමි”යි තෙවැනිවර දක්වා ම සිය නිදොස් බව ප්‍රකාශ කළත්, අනික් තෙරනම එය නොපිළිගත්තේය. තමන් වහන්සේ දුටු කරුණ ම සත්‍ය ලෙස පිළිගත් උන්වහන්සේ යහළු තෙරුන් සමගින් එක මඟක නොයා, වෙනත් මඟකින් උන්වහන්සේ ශාස්තෲන් වහන්සේ වෙත ගියහ. අනික් භික්‍ෂුව ද වෙනත් මඟකින් ශාස්තෲන් වහන්සේ වෙතටම පැමිණියේය.
ඉක්බිති භික්‍ෂු සංඝයා පොහෝ කරන සීමා ගෙයට (පොහෝ ගෙයට) පිවිසෙන වේලාවෙහි එම භික්‍ෂුව, ස්ත්‍රිය සමග පැමිණි භික්‍ෂුව ද එම සඟ පිරිසෙහි සිටිනු දැක, “මේ පොහෝ සීමාවේ මෙබඳු පාපී භික්‍ෂුවක් සිටියි. මම ඔහු සමග පොහොය නොකරමි”යි කියා සීමාවෙන් පිටතට ගියේය. එවිට භූමි වැසි දෙවියා, “ම විසින් කළ දේ ඉතා බැරෑරුම් වූවකි”යි දැන මහලු උපාසකයකුගේ වේශයක් මවාගෙන උන්වහන්සේ වෙත පැමිණියේය. “ස්වාමීනි! ඔබ වහන්සේ කුමක් නිසා මෙතැන සිටින්නේද?”යි ඇසූ එම දෙවියාට තෙරුන් වහන්සේ, “උපාසකය! මේ පොහොය ගෙට එක් පාපී භික්‍ෂුවක් ඇතුළු විය. “මම ඔහු සමග පොහොය නොකරමි”යි කියා ඉන් නික්ම පිටත සිටියෙමි.” යි වදාළහ. එවිට දෙවියා, “ස්වාමීනි! මෙසේ එය පිළිනොගනු මැනවි. ඒ භික්‍ෂුව ඉතා පිරිසිදු සිල් ඇත්තෙකි. නුඹ වහන්සේ දුටු ස්ත්‍රිය වෙනත් අයෙකු නොව මම ම වෙමි. මවිසින් නුඹ වහන්සේලා විමසීම සඳහා ‘මේ දෙදෙනා වහන්සේගේ මිත්‍රත්‍වය ඉතා දැඩි වූවක් ද? එසේ නොවූවක්?” යි ලජ්ජි, අලජ්ජි භාවයන් බලා ගැනීම පිණිස එම ක්‍රියාව කළෙමි.”යි සියලු කරුණු හෙළි කළේය. එවිට එම තෙරුන්, “සත්පුරුෂය! නුඹ කවරෙක්ද?”යි ඇසීය. එවිට දෙවියා, “ස්වාමීනි, මම එක් භූමි වැසි දෙවියෙක්මි”යි කියමින්ම දිව්‍යාත්ම භාවයෙහි සිටගෙන තෙරුන්ගේ පා මුල වැටී, “ස්වාමීනි! මට සමාවන්න. මේ වරද එම තෙරුන් නොදනියි. උන්වහන්සේ සමග එක්ව පොහොය කරන්න”යි ඉල්ලීය. ඒ ඉල්ලීම අනුව එම තෙරුන් වහන්සේ පොහොය ගෙට පිවිස, යහළු තෙරුන් සමග එකතැන හිඳ පොහොය කළ සේක. නමුත් මිත්‍රත්‍ව වශයෙන් නැවත උන්වහන්සේ සමග එක තැන නොවිසීය. එම තෙරුන්ට සිදු වූ පුවත ද නොදැන්වීය. පාරාජිකාපත්තියෙන් චෝදනා ලද භික්‍ෂුව විදසුන් වඩනුයේ නොබෝ දිනකින් ම රහත් ඵලයෙහි පිහිටියේය.
ඒ භූමිවැසි දෙවියා ඒ පාප කර්මයේ විපාක වශයෙන් එක් බුද්ධාන්තරයක්ම අපායෙහි දුක් වින්දේය. යම්කිසි කලෙක මනුෂ්‍යාත්මයකට පත්වේද, එවිට අන් පුද්ගලයන් කරන වැරදි ඔහු මතම වැටේ. එම වැරදිවලට ඔහු ම හසුවේ. අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සැවැත් නුවර බ්‍රාහ්මණ පවුලක උපන්න ඔහු “ධාන මාණව” නමින් ප්‍රකට විය. ඔහු වැඩිවියට පත්ව ත්‍රිවේද පාර ප්‍රාප්තව තරුණු විය ගෙවා මහලු වූ කාලයේදී ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා, තබන ලද ශ්‍රද්ධාව ඇතිව සසුනෙහි පැවිදි වී උපසම්පදාව ලැබීය. උන්වහන්සේ උපසම්පදාව ලැබූ දවසේ සිටම ගමට පිවිසෙන කල්හිද, ගමින් බැහැරවන කල්හිද අලංකාරව සැරසුණු ස්ත්‍රියක් උන්වහන්සේගේ පසුපසින් එන්නීය. විහාරයට පිවිසෙන කල්හි ද ඇය, උන්වහන්සේ සමගම පිවිසේ. සිටින කල්හි සිටී. මෙසේ නිතරම ස්ත්‍රිය හා එක්ව වසන බවක් සෙසු මිනිසුන්ට පෙනේ. ඒ ස්ත්‍රිය තෙරුන්ට නොපෙනේ. උන්වහන්සේ පෙර අත්බවේ කල පාප විපාක වශයෙන් අනුන්ට පමණක් ඇය පෙනේ. ගමෙහි කැඳ බත් පිරිනමන ස්ත්‍රීහු, “ස්වාමීනි, මේ කැඳ හැන්ද නුඹ වහන්සේටය. මේ කැඳ හැන්ද අපගේ යෙහෙළියන්ටය”යි අපහාස කරමින් උන්වහන්සේට කැඳ බෙදති. ඉන් තෙරුන් වහන්සේ මහත් වූ වෙහෙසට, ලැජ්ජාවට පත්වෙති. විහාරයට ගිය විට සාමණේරවරු ද තරුණ පැවිද්දෝ ද උන්වහන්සේ පිරිවරාගෙන “ධාන කොණ්ඩයෙක් වීය” යනුවෙන් අපහාස කරති. මෙනිසා උන්වහන්සේ කුණ්ඩධාන තෙරුන් යැයි ප්‍රකට විය. උන්වහන්සේ නැගිට යනවිට ද සිටින විටද කරනු ලබන මේ විහිළු තහළු ඉවසීමට නොහැකිව, උමතුවක් ගෙන, “නුඹලා කොණ්ඩයෝය. නුඹලාගේ උපාධ්‍යායවරු කොණ්ඩයෝය. නුඹලාගේ ආචාර්යවරු කොණ්ඩයෝය.”යි බාල පැවිද්දන්ට අක්‍රෝශ පරිභව කළහ. එවිට ඔවුහු ශාස්තෲන් වහන්සේට මෙසේ දැන්වූහ. “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස, මේ කුණ්ඩධාන තෙරුන් ළදරු සාමණේරවරු සමග මෙබඳු පරුෂ වචනය කියන්නේය.” ශාස්තෲන් වහන්සේ එය අසා, “එසේනම් ඔහු කැඳවන්න”යි එම තෙරුන් කැඳවා, “ධානය! නුඹ සාමණේරවරුන් සමග මෙවැනි පරුෂ වදන් කථා කරනවා යැයි පැවසීම ඇත්තක්ද?”යි ඇසූ සේක. උන්වහන්සේ, “ස්වාමීනි, එය ඇත්ත” යැයි පිළිගත් කල්හි; “එසේ පරුෂ වදන් කියන්නේ ඇයි?” දැයි විචාළ සේක. කුණ්ඩධාන තෙරුන්, “ස්වාමීනි! නිතර මා වෙහෙසට පත් කිරීම ඉවසිය නොහැකිව මෙසේ පරුෂ වදන් කීවෙමි”යි පැවසීය. එවිට බුදුපියාණන් වහන්සේ, “නුඹ පෙර කරන ලද පාප කර්මය අද දක්වාම ක්‍ෂය කරගත නොහැකිව සිටින්නෙහිය. නැවත පරුෂ වදන් කියමින් භික්‍ෂූන් නිසා තවත් පවු රැස් කරගන්නෙහිද?”යි අසා, “මින් පසුව පරුෂ වදන් නොකියා නිහඬව සිටින්න”යි වදාළ සේක.