වනවච්ඡත්‍ථේර සාමණෙරගාථා වර්ණනාව
එහි පර්වත දෙකක් අතරෙහි වැඩහුන් වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ දැක, පැහැදුණු සිතින් උන්වහන්සේ සමීපයට ගොස් වැඳ, ඇඳිලි බැඳගෙනම සිටියේය. නැවත එම වනයේ තිබූ මනහර ඇත්දෙමට ගෙඩි දැක, එම ගෙඩි කඩා බුදුරදුන්ට පිදුවේය. බුදුපියාණන් වහන්සේ ඔහුට අනුකම්පාවෙන් එම ගෙඩි පිළිගත් සේක. ඔහු ඒ පින්කමේ විපාක විඳිමින් දෙව් මිනිස් දෙගතියෙහි සැරි සරන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි මිනිස් භාවයක් ලබා තම මාමා සමගම පැවිදි වී නිර්වාණය පතාගෙන බොහෝ කුසල් රැස් කළේය. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වූ කාලයෙහි ඔහු වනවච්ඡ තෙරුන්ගේ බෑණා වී උපන්නේය. ඔහුට “සීවක” යන නම තැබීය. ඔහුගේ මව “තම වැඩිමල් සොයුරා වූ වනවච්ඡ, සසුනෙහි පැවිදිව, මහණකමේ කටයුතු නිමවා කැළයේ සුවසේ වසන්නේයැ”යි අසා තම පුතුට මෙසේ කීවාය. “දරුව සීවකය! තෙරුන් සමීපයේ පැවිදි වී උන්වහන්සේට උපස්ථාන කරන්න. දැන් වනවච්ඡ තෙරණුවෝ ඉතා මහලු වූවෙකි.” ඔහු මවගේ එම වදන ඇසූ පමණින්ම පෙර සසරේ කරන ලද පුරුදුතාවය නිසා මාමා වූ තෙරුන් ළඟ පැවිදි විය. උන්වහන්සේට උපස්ථාන කරමින් වනයෙහි ම වාසය කළේය.
එම සාමණේරයෝ කිසියම් කටයුත්තකට ගමට වැඩම වූ කල්හි, උන්වහන්සේට දරුණු ආබාධයක් හට ගත්තේය. ගමේ මිනිස්සු ද බෙහෙත් ආදිය කළ නමුත් එම ආබාධය සුව නොවිණි. සාමණේර නම පමාවනු දුටු තෙරුන් වහන්සේ, “සාමණේරයන් වහන්සේ පමාවනුයේ කවර කරුණකින්ද?” යි සිතා, එම ගමට ගොස්, ඔහුගේ දැඩි ගිලන් බව දැක කළ යුතු යම් යම් කටයුතු කරමින් දිවා කාලය ගත කළ සේක. රාත්‍රී කාලයේදී ඉතා අලුයම් වේලෙහි තෙරණුවෝ, “සීවකය! මම පැවිදි වූ දා සිට මේ දක්වා ගමෙහි රෑ ගත නොකළෙමි. එනිසා දැන් මම කැළයට යන්නෙමි’යි පැවසූහ. එය ඇසූ සීවක සාමණේරයන් ද “ස්වාමීනි! මගේ ද කය පමණක් ගමේ ඇත. සිත වනාහි ඇත්තේ කැළයේමය. එනිසා නිදාගෙනම කැළයට යන්නෙමි”යි පැවසීය. එය ඇසූ තෙරුන් වහන්සේ ඔහුගේ අත අල්ලාගෙන කැළයටම ගෙන ගොස් අවවාද දුන් සේක. සාමණේරයෝ එම තෙරුන්ගේ අවවාදයෙහි ම පිහිටා සිට, විදසුන් වඩා රහත් බවට පත්වූහ. එම විස්තරය අපදාන පාළියේ මෙසේ දැක්වේ. (අපදාන පාළි I, කාසුමාරි ඵලදායක ත්‍ථෙරාපදානං)
“කඳු අතරෙහි කිණිහිරි රුකක් මෙන් බබළමින් වැඩ සිටියා වූ කෙලෙස් දූවිල ඉවත ලූ ලෝකයාටම ජ්‍යෙෂ්ඨ වූ නර ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
උන්වහන්සේ කෙරෙහි පහන් සිත් ඇති මම සොම්නස් වූයෙම්, හිසෙහි ඇඳිළි බැඳගෙන ඇත් දෙමට ඵල කඩාගෙන බුදුරදුන්ට පූජා කළෙමි.
මීට කල්ප තිස් එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක ලෙස මම දුගතියෙහි නූපදුනෙමි.
ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වෙත පැමිණි මාගේ ගමන යහපත් වූවකි. ත්‍රිවිද්‍යා ලැබූ මම බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කළෙමි. මවිසින් සියලු කෙලෙස් දවන ලදි. සියලු භව නසන ලදි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනය ඉටුකළෙමි.” (3272-3277)
උන්වහන්සේ රහත් බවට පත්ව; උපාධ්‍යායන් වහන්සේ විසින් තමාට දේශනා කළ අවවාද සසඳා බලා - තමාගේ විවේකයේ ඇලීම ද කළ කටයුතු ඇති බවද ප්‍රකාශ කරමින් “උපජ්ඣායො මං අවචා” යන ගාථාව වදාළ සේක.
එහි “උපජ්ඣායො” යනු හරි වැරදි නැවත නැවත සිහිපත් කරයි. හිතෛශීභාවය උපදවා නැණසින් බලයි යන අරුතින් “උපාධ්‍යාය” නම් වේ. “මං” යනුවෙන් තමන් වහන්සේ දක්වයි. “අවචා” යනු දේශනා කළ සේක. “ඉතො ගච්ඡාම සීවක” යනු කියන ලද ආකාරය දැක්වීමයි. “සීවකය!, එන්න මේ ගමෙන් නික්මී ආරණ්‍යයටම යමු. ඒ කැළයම අපගේ වාසයට යෝග්‍ය වේ” යන අදහසයි. මෙසේ උපාධ්‍යායන් වහන්සේ වදාළ විට සීවක සාමණේරයෝ ඉතා කීකරු වූ යහපත් අජානීය අශ්වයකු මෙන් කශයෙන් පහර ලැබ හටගත් සංවේග ඇති වූයේ ආරණ්‍යයටම - වනයටම යනු කැමැති බව ප්‍රකට කරමින්,
“ගාමෙ මෙ වසති කායො, අරඤ්ඤං මෙ ගතං මනො,
සෙමනාකො’පි ගච්ඡාමි, නත්‍ථි සඞ්ගා විජානතං” යනුවෙන් පැවසූහ.
එහි අර්ථ මෙසේය. “යම් හෙයකින් දැන් මගේ සිරුර පමණක් ගමෙහි පවතී, සිත වනාහි වනයට ම ගියේ වේද එහෙයින් සයනය කරන්නෙම් නමුදු වනයට ම යමි. ගිලන් බව නිසා සයනය කරමින් සිටි සාමණේරයෝ; හිඳගෙන හෝ සිටගෙන යාමෙහි අසමත් වෙති. “සයනය කරමින් ම, මේ නිදා සිටින ඉරියවුවෙන්ම සර්පයකු මෙන් ඇදෙමින්, ස්වාමීනි! එන්න වනයට ම යමු.” කුමක් නිසාද? “නත්‍ථි සඞ්ගො විජානතං” යනු කාමයන්හි ද සංසාරයෙහි ද ආදීනව මෙන්ම යථාස්වභාව ධර්මය ද නික්මීමෙහි හා නිර්වාණයෙහි අනුසස් ද තත්වූ පරිදිම දන්නා බැවින් මා හට කිසිදු තැනක ඇලීමක් නැත. එනිසා උපාධ්‍යායන් වහන්සේගේ ප්‍රකාශය ඇසූ වනම, එය පිළිගෙන සිටියේ, එම උපදේශයේ පිහිටා රහත් බව ප්‍රකාශ කරන ලදි.