වනවච්ඡ ස්ථවිරගාථා වර්ණනාව
“නීලබ්භවණ්ණා” යන මේ ගාථාව ආයුෂ්මත් වනවච්ඡ තෙරුන් වහන්සේ විසින් පැවසූවකි. එහි උපත කවරේද? වනවච්ඡ තෙරුන් පෙර අත්‍ථදස්සි භාග්‍යවතුන් ලොව පහළ වූ සමයේ කැසිබු යෝනියෙහි ඉපිද “විනතාය” නම් නදියේ වාසය කරයි. ඒ කැසුබුවාට ඉතා කුඩා සිරුරක් විය. ඔහු එක් දිනක් භාග්‍යවතුන් වහන්සේ නදී තෙර සිටිනු දුටුවේය. “භාග්‍යවතුන් වහන්සේ එතෙරට යනු කැමැත්තෙන් සිටිති”යි සිතා උන්වහන්සේ තම පිටෙහි හිඳුවාගෙන ගෙන යනු කැමතිව පාමුල හොත්තේය. භාග්‍යවතුන් වහන්සේ, කැසුබුවාගේ අදහස දැන ඔහුට අනුකම්පාවෙන් පිටට නැගි සේක. ඔහු එකෙණෙහිම ප්‍රීති සොම්නසට පැමිණ, ගඟට බැස දුනුදියේ වේගයෙන් විඳි සැරයක් මෙන් බුදුහු පරතෙරට ගෙන ගියේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ පින්ඵල ද මෙහිදී උපදින සම්පත් ආදිය ද දේශනා කොට වැඩිසේක. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරි සරා, නොයෙක් සිය ගණනක් වාරයන්හි තවුස් පැවිද්දෙන් පැවිදිව ආරණ්‍යවාසියෙක් විය. නැවත කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දවස පරෙවියෙකුව ඉපිද කැළයේ වෙසෙන මෙත් සහගත විහරණයෙන් සිටින භික්‍ෂුවක් දැක සිත් පැහැදවීය.
ඉන් චුත වූ ඔහු; බරණැස් නුවර එක් උසස් පවුලක ඉපිද, වැඩිවියට පැමිණ ගිහිගේ ගැන කළකිරී පැවිදිව නිවන් පතාගෙන බොහෝ පින්කම් කළේය. මෙසේ ඒ ඒ මනුෂ්‍යාත්මයන්හි හැසිර, අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයේදී කපිලවත්‍ථු නගරයේ “වච්ඡගොත්ත” නම් බමුණාගේ ගෙදර පිළිසිඳ ගත්තේය. ඔහුගේ මව, පිරිපුන් ගැබ ඇත්තී වනපෙත දැකීමට හටපත් දොළ දුක් ඇත්තී කැළයට පිවිස හැසිරුණාය. එවිට ඇයගේ කර්මජ වාතයෝ සැලුනහ. දැසි දැස්සෝ ඇය තිර වලින් වට කර ගත්හ. ඇය ඉතා පින්වත් පුතෙකු වැදුවාය. එකුමරු බෝසතුන් සමග වැලිකෙළියේ පටන් සිටි යහලුවෙකු විය. ඔහුගේ නම ද ග්‍රෝත්‍ර නාමය ද “වච්ඡ” යනු විය. වනයට ඇළුම් කළ බැවින් ඔහු “වනවච්ඡ” යැයි ප්‍රකට විය. පසු කාලයක මහා බෝසතාණන් වහන්සේ මහාභිනිෂ්ක්‍රමණය කොට, මහත් වූ ප්‍රධාන වීර්යය වඩන අවස්ථාවෙහි, “මම ද සිදුහත් කුමරුන් සමග කැළයෙහිම වෙසෙමි”යි සිතා ගෙදරින් නික්මවුන් තාපස පැවිද්දන් පැවිදිව හිම වතෙහි වාසය කළේය. පසුව “බෝසත්හු බුද්ධත්වයට පත්වූහ”යි අසා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, පැවිදිව කමටහන් රැගෙන ගොස් කැළයෙහි වාසය කළ වනවච්ඡ තෙරණුවෝ නොබෝ දිනකින් ම විදර්ශනාව වඩා රහත් ඵලය සාක්‍ෂාත් කරගත් සේක. ඒ පිළිබඳ විස්තරය අපදාන පාළියේ දැක්වේ. එම පාලි ගාථාවන්හි සිංහල අර්ථය මෙසේය. (අපදාන පාළි II, තරණීය ත්‍ථෙරාපදානං)
“ලොව දතයුතු සියල්ල තමන් වහන්සේ ම අවබෝධ කරගත්, ලෝක නායක වූ අත්‍ථදස්සී බුදුරජාණන් වහන්සේ විනතා නදී තීරයට වැඩි සේක.
එකල මම දියේ හැසිරෙන කැසුබුවෙක් වීමි. බුදුරජාණන් වහන්සේ ගඟින් එතෙර කරවනු කැමැති වූ මම උන්වහන්සේ වෙත ගියෙමි.
“මහාමුනි වූ බුදුරජුනි! මාගේ පිටට නගින්න. ලෝක සත්ත්‍වයා සසර දුකින් එතෙර කරවන ඔබ වහන්සේ, මේ ගඟින් එතෙර කරවන්නෙමි.”යි යන මාගේ අදහස දැනගත් කීර්තිමත් අත්‍ථදස්සි බුදුහු මාගේ පිටට නැගි සේක.
යම් තැනක පටන් මට සිහිපත් කළ හැකි ද යම් භවයක මම ඤාණවන්ත බවට පැමිණියෙම් ද මේ කාලය තුළ ඔබවහන්සේගේ පාදස්පර්ශය ලැබූ මොහොතෙහි මා ලැබූ සුවය බඳු සැපක් නම් නොලැබුවෙමි.
මහත් යශස් ඇති අත්‍ථදස්සි බුදුහු ගංතෙර සිට මෙසේ වදාළහ.
“මේ ගඟෙහි සැඬ පහර තරණය කරමි”යි පැමිණි මාගේ සිත දත් මෙම කැසිබු රජු මා ඉන් එතෙර කර වූයේය.
මොහු බුදුන් එතෙර කරවූ පිනින් ද මෙත් සිත් ඇති බැවින් ද කල්ප දහ අටක් දෙව් සැප විඳින්නේය.
එම කුසලය නිසා දෙව්ලොවින් චුතව බුදුසස්නක පැවිදිව සැක සංකා නම් සැඬ පහර තරණය කරන්නේය.”
මෙසේ වදාළ බුදු වදන් ඇසූ මම; සරු කෙතක රෝපිත ස්වල්ප වූ බිජුවට මැනවින් වැසි වැටී මහත් ශස්‍ය ඵලයක් ලැබීමෙන් සතුටුවන ගොවියකු මෙන් බුදුන්ගේ වදන් නමැති වැසි දිය වැටුණු මාගේ පුණ්‍යඵලය මා සිත තුටු කරන්නේය.