මහාවච්ඡ ස්ථවිරගාථා වර්ණනාව
“පඤ්ඤාබලී” යනු ආයුෂ්මත් මහාගවච්ඡ තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? මොහු පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ භික්ෂු සංඝයාට පැන් දානයක් දුන්නේය. පසුව සිඛී භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි ද උපාසකයෙක් වී නිවණම අරමුණු කරගෙන බොහෝ පින්කම් කළේය. ඔහු එම පින්කම්වල විපාක වශයෙන් ඒ ඒ කාම සුගති භවයන්හි ම ඉපදෙමින් සසර සැරිසරා, අප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි මගධ රට, නාළක ගමෙහි සමිද්ධි නම් බමුණාගේ පුත්රයෙකු ලෙස උපන්නේය. ඔහුට “මහාගවච්ඡ” යන නම විය. ඔහු වැඩිවියට පැමිණ “ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේගේ ශ්රාවකයෙකි”යි අසා; “ඒ සැරියුත් තෙරණුවෝ මහා ප්රඥාවන්තයෙකි. උන්වහන්සේ ශ්රාවක බවට පත් වූ යමෙක් වේ ද ඔහු නියතයෙන්ම මේ ලොව අග්රම පුද්ගලයා විය යුතුයැ”යි භාග්යවතුන් වහන්සේ කෙරෙහි සැදැහැසිත් උපදවා, උන්වහන්සේ සමීපයේ පැවිදි විය. පැවිදිව කමටහන් ගෙන එහි යෙදුණු මහාගවච්ඡ තෙරණුවෝ නොබෝ දිනකින්ම රහත් බවට පත් වූ සේක. මේ බව අපදාන පාළියේ විස්තර වේ. එහි සිංහලාර්ථ මෙසේය. (අපදාන පාළි, II උදක දායක ත්ථෙරාපදානං)
“පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ අනුත්තර වූ භික්ෂු සංඝයා කෙරෙහි පැහැදුණු සිත් ඇති මම සතුටු සිතින් පැන් කළයක් පිදුවෙමි.
පර්වත මුදුනක වුවද ගස් මුදුනක හෝ අහසෙහි හෝ පොළොවෙහි හෝ යම් තැනක හිඳ පැන් කැමති වේද වහා මට පැන් පහළ වේ.
එදා මීට කල්ප ලක්ෂයකට පෙරදී පැන් කලයක් දන් දුන්නෙම්ද ඒ දානයේ විපාක ලෙස මේ දක්වා දුගතියකට නොගියෙමි.
මවිසින් කෙලෙස් දවන ලදි. සියලු භවයන් නැසුවෙමි. බැඳුම් සිඳින ලද ඇත් රජෙකු මෙන් ආශ්රව රහිතව සුවසේ වෙසෙමි. බුදුරදුන් වෙත මාගේ පැමිණීම ඉතා යහපත් පැමිණීමකි. ත්රිවිද්යාවන් ලබන ලද මම බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කළෙමි. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ට විමෝක්ෂයෝද ෂඩ් අභිඥාවෝ ද මවිසින් සාක්ෂාත් කරන ලදහ. බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කළෙමි.” (5298-5303)
උන්වහන්සේ මෙසේ රහත් බවට පත්ව විමුක්ති සුව විඳිමින් සසුනේ නෛර්ය්යාණිකභාවය ප්රකට කිරීමෙන්, සබ්රහ්මචාරීන්ගේ උත්සාහය ජනනය කිරීම, වර්ධනය කිරීම පිණිස “පඤ්ඤාබලී” යන ගාථාව වදාළ සේක.
එහි “පඤ්ඤාබලී” යනු පරිහරණය කළ යුතු ප්රඥාවෙන් හා විදර්ශනා ප්රඥාවෙන් නිතර උත්සාහවත් වී අතිශය වූ ප්රඥා බලයෙන් යුක්ත වූ “සිලවතූප්පන්නො” යනු උසස් බවට ගිය මතුපාරිශුද්ධි ශීලයෙන් ද ධූතාංග ධර්ම නම් වත් පිළිවෙතින් ද යුක්ත වූ, බබළන්නා වූ “සමාහිතො” යනු උපචාර හා අර්පණා භේද ඇති සමාධියෙන් සන්සුන් වූ සිත් ඇති “ඣානරතො” යනු එම අරමුණම සිහි කිරීමෙහිම ලක්ෂණ සිහි කිරීමෙහි ම යෙදුණු සිහියෙන් යුක්ත වූයේ සැම කල්හි සිහියෙන් තොරව නොවසන හෙයින් “සතිමා” නම් වූ “යදත්ථියං” යනු අර්ථ වශයෙන් අපේක්ෂා රහිත වූ එහි යමෙකුට යමකින් අර්ථයක් වේ ද ඒ යදත්ථිය නම්වේ. යම් ප්රත්යයක් පරිභෝග කරන්නාට පරිභෝජනයෙන් වනාහී ඒ අර්ථය ඉටුවේ. දායාද පරිභෝජනයෙන් අන්ය වූ වෙනත් භෝජනයක් ද නිදසුන් වශයෙන් දත යුතුයි. අනුභව කරනුයේ පරිභෝජනය කරනුයේ ‘භෝජන’ යි. (භුඤ්ජීයති පරිභුඤ්ජීයතීතිවා භොජනං) මෙහි භෝජන යනු සිවුපසයයි. “යදත්ථිකං” යන පාඨයද මෙහි යෙදේ. “යම් අර්ථයකට, යමක් සඳහා ශාස්තෲන් වහන්සේ විසින් ප්රත්යය අනුදන්නා ලද සේක් ද, ඒ අර්ථය සඳහා කය පවත්වා ගැනීමේ කැමැත්ත” ආදී වශයෙන් අර්ථ දත යුතුයි. “අර්ථය” යනු අනුපාදිසේස නිර්වාණ ධාතුවට සමවැදීමයි. එනිසා අනුපාදිසේස පිරිනිවණට පත්වීම සඳහා සිවුපසය අනුභව කරන තමාගේ අනුපාදිසේස පරිනිර්වාණ කාලයේ පැමිණීම ම අපේක්ෂා කරමින් සිටියි. මෙහි මේ සම්බුද්ධ ශාසනයේ වීතරාගී වූ උතුමන්ට පමණක් මේ අපේක්ෂාව ඇත. ඉන් බැහැර වූ සසුනක කාමයන්හි නොඇලීමක් ඇත්තහුට “මෙය නැත”, “මෙබඳු සිතක් - අපේක්ෂාවක් නැත” යන අදහසයි.
මහාගවච්ඡ ථේර ගාථා අර්ථ වර්ණනාව නිමියේය.
වනවච්ඡ ස්ථවිරගාථා වර්ණනාව
“නීලබ්භවණ්ණා” යන මේ ගාථාව ආයුෂ්මත් වනවච්ඡ තෙරුන් වහන්සේ විසින් පැවසූවකි. එහි උපත කවරේද? වනවච්ඡ තෙරුන් පෙර අත්ථදස්සි භාග්යවතුන් ලොව පහළ වූ සමයේ කැසිබු යෝනියෙහි ඉපිද “විනතාය” නම් නදියේ වාසය කරයි. ඒ කැසුබුවාට ඉතා කුඩා සිරුරක් විය. ඔහු එක් දිනක් භාග්යවතුන් වහන්සේ නදී තෙර සිටිනු දුටුවේය. “භාග්යවතුන් වහන්සේ එතෙරට යනු කැමැත්තෙන් සිටිති”යි සිතා උන්වහන්සේ තම පිටෙහි හිඳුවාගෙන ගෙන යනු කැමතිව පාමුල හොත්තේය. භාග්යවතුන් වහන්සේ, කැසුබුවාගේ අදහස දැන ඔහුට අනුකම්පාවෙන් පිටට නැගි සේක. ඔහු එකෙණෙහිම ප්රීති සොම්නසට පැමිණ, ගඟට බැස දුනුදියේ වේගයෙන් විඳි සැරයක් මෙන් බුදුහු පරතෙරට ගෙන ගියේය. භාග්යවතුන් වහන්සේ ඔහුගේ පින්ඵල ද මෙහිදී උපදින සම්පත් ආදිය ද දේශනා කොට වැඩිසේක. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරි සරා, නොයෙක් සිය ගණනක් වාරයන්හි තවුස් පැවිද්දෙන් පැවිදිව ආරණ්යවාසියෙක් විය. නැවත කාශ්යප බුදුරජාණන් වහන්සේ දවස පරෙවියෙකුව ඉපිද කැළයේ වෙසෙන මෙත් සහගත විහරණයෙන් සිටින භික්ෂුවක් දැක සිත් පැහැදවීය.