වජ්ජිපුත්ත ස්ථවිරගාථා වර්ණනාව
“රුක්ඛමුලගහණං පසක්කිය” යනු ආයුෂ්මත් වජ්ජිපුත්ත තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ ඒ ඒ භවයෙ හි දී තව තවත් පින්දහම් සිදුකරමින් අවුත්, මෙයින් කල්ප අනූ හතරකට පෙර දී එක් පසේ බුදුවරයන් වහන්සේ කෙනෙකුන් පිඬුපිණිස හැසිරෙනු දැක පැහැදුණු සිතින් කෙලෙස් ගෙඩි පූජාකළහ. හෙතෙම ඒ පින්කම නිසා දෙව්ලොව ඉපදී තව තවත් පින් රැස්කරමින් දෙව් මිනිස් දෙගතියෙහි සැරි සරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ දී විශාලා මහනුවර ලිච්ඡවී රජ පවුලක කුමරෙක් ව උපන්නේය. වජ්ජි රජු පුතෙකු බැවින් “වජ්ජිපුත්ත” යන නමින් ඔහු හැඳින්විණි. එකුමරු කුඩා කාලයේ දීම හස්ථිශිල්පාදිය උගන්නා සමයෙහි පූර්ව හේතු වශයෙන් ගිහිගෙන් නික්මීමේ ආශාවෙන් හැසිරෙනුයේ ශාස්තෲන් වහන්සේ ධර්‍මදේශනා කරන වේලාවෙහි විහාරයට ගොස් පිරිස කෙළවර හිඳ ධර්‍මය අසා ලැබූ ශ්‍රද්ධාවෙන් ශාස්තෲන් වහන්සේ සමීපයෙහි පැවිදිවිය. වජ්ජිපුත්ත තෙරණුවෝ විදසුනෙහි සිත පිහිටුවා භාවනා කර, නොබෝ දිනකින් ම ෂඩ් අභිඥාලාභියෙකු වූහ. අපදාන පාළියෙහිදී උන්වහන්සේ තම අතීතය මෙසේ පැවසූහ.
“තමාම සත්‍යය අවබෝධ කරගත්, අපරාජිත වූ දහසක් රශ්මි ඇති භාග්‍යවතුන් වහන්සේ විවේකයෙන් නැගී සිට පිඬු පිණිස නික්මුණු සේක.
අතින් ඵල රැගෙන මම උන්වහන්සේ වෙත ගියෙමි, පැහැදුණු සිතින් සතුටින් යුක්තව මම උන්වහන්සේට නැටි සහිත වූ ඵල පිළිගැන්වූයෙමි.
මෙයින් කල්ප අනූ හතරකට පෙර ඵලදානයක් දුන්නෙම් ද එහි විපාකය වශයෙන් මේ දක්වා ම දුගතියක නූපන්නෙමි.
මවිසින් දැන් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
ෂඩ් අභිඥාලාභී වූ උන්වහන්සේ, ඊට පසු කාලයක, ශාස්තෲන් වහන්සේ පිරිනිවි නොබෝ කලකින් ධර්මය සංගායනා කිරීමට සනිටුහන් කරගත් මහතෙරුන් වහන්සේලා ඒ ඒ තැන වාසය කරන කල්හි, එක් දිනක් සේඛයකු වූ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් මහත් වූ පිරිසක් සහිතව ධර්‍මදේශනා කරමින් සිටිනු දැක, ආනන්‍ද තෙරණුවන් ඉහළ මාර්ගඵල අවබෝධයට යොමුකරවීම සඳහා උත්සාහවන්ත කරවීමට මේ ගාථාව වදාළහ.
“රුක්ඛමූලගහනං පසක්කිය, නිබ්බාණං හදයස්මිං ඔපිය,
ඣාය ගොතම මා පමාදො, කිං තෙ බිලිබිලිකා කරිස්සති”
එහි “රුක්ඛමුලගහනං” යනු රුක් මූලයන්ගේ ගහනය, වනය වදාළ බව දක්වයි. වන ගහන ඇති මුත් රුක්ඛ මූලයක් නැත. රුක්ඛ මූලයක් ඇත ගහනයක් නැත. ඒ ගහනයක් මෙන් වූ රුක්මුල්හි වූ වන වදුලේ සෙවණ සහිත බැවින් අවුවැසි ආදියෙන් උපද්‍රවයන්ගෙන් හා ජනයාගේ සම්බාධවලින් දුරු වූ බවද දක්වයි. ඒ දෙකම භාවනාවට යෝග්‍ය වේ. “පසක්කිය” පැමිණ, එතැනට ගොස්, “නිබ්බාණං හදයස්මිං ඔපිය” මෙසේ මා විසින් පිළිපැද නිවණ අවබෝධ කරගත යුතු”යි යනුවෙන් නිවණ සිතේ තබාගෙන, හදවතෙහි තබාගෙන “ඣාය” අනිත්‍යාදී ලක්‍ෂණ මෙනෙහි කරමින් ධ්‍යාන වඩන්න. විදර්ශනාව සහිත වූ මාර්ග භාවනාව වඩන්න. “ගෞතම” යනුවෙන් ධර්ම භාණ්ඩගාරිකයන් වහන්සේට ගෝත්‍රයෙන් ආමන්ත්‍රණය කරයි. “මා ච පමාදො” අධිකුසල දහම් හි පමා නොවන්න. දැන් තෙරුන්වහන්සේගේ ප්‍රමාද වීම ප්‍රතික්‍ෂේප කළයුතු බව දක්වමින් (ඊට විරුද්ධ බව දක්වමින්) “කිං තෙ බිලිබිලිකා කරිස්සති” යනුවෙන් “බිලිබිලි හඬ කවර අර්ථයක් නුඹට සලසන්නේ ද?” අසයි. එහි “බිලිබිලිකා” යනු බිලිබිලි ක්‍රියාවයි. බිලි බිලි යන හඬ පවතින නිරර්ථක වූ ක්‍රියාවකි. මෙබඳු නිරර්ථක වූ බිලිබිලි ශබ්ද නැගීමට ජනතාව සමග කරන කථා බහ සමානය. “කිං තෙ කරිස්සති” එම ක්‍රියාවෙන් නුඹට කුමන අර්ථයක් - යහපතක් ඉටුවේ ද? එනිසා ජනයා සමග කරන නිරර්ථක කතාබහ ඉවතලා ස්වාර්ථයෙහි ම යෙදෙන්නැයි අවවාද දෙයි.
එය අසා අන්‍යයන් විසින් පැවසූ විදසුන් නම් සුවඳ පවනින් උපන් සංවේග ඇති වූ ආනන්‍ද තෙරණුවෝ විදසුන් භාවනාවෙහි ම උත්සාහවත්ව රෑ බොහෝ වේලාවක් සක්මණින් කල්යවා, සෙනසුනට පිවිසියහ. එහි පිවිස ඇඳෙහි හොත් (දිගා වූ) ඇසිල්ලෙහි ම රහත් බවට පත්වූහ.
වජ්ජිපුත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
ඉසිදත්ත ස්ථවිරගාථා වර්ණනාව
“පඤ්චක්ඛන්‍ධා පරිඤ්ඤාතා” යනු ආයුෂ්මත් ඉසිදත්ත තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? පෙර බුදුවරු ඉදිරියෙහි දී නිවන් පතාගෙන කළ ප්‍රාර්ථනා හා පුණ්‍යසම්භාර ධර්‍ම රැස්කර ගනිමින් පැමිණි මෙතෙම, විපස්සි භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි සිටුගෙයක ඉපිද වැඩිවියට පත් ව සිටියේ ය. ඒ සිටුතුමා දිනක් භාග්‍යවතුන් වහන්සේ වීථියෙහි වඩිනු දැක පැහැදුණු සිතින් එක් මිහිරි ආමෝද ඵලයක් උන්වහන්සේට පිළිගැන්වීය. ඒ පින්කමේ විපාක ලෙස දෙව් ලොව උපන් ඔහු, තව තවත් පින්දහම් සිදුකරමින් දෙව් මිනිස් දෙගතියෙහි සැරි සරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ දී අවන්තික රට වඩ්ඪ නම් ගමේ එක් සාත්තවාහකයකුගේ පුතු ව ඉපදුණෝය. ඉසිදත්ත නමින් ප්‍රකට වූ ඒ කුමරු තරුණවියට පත්ව, මච්ඡිකා සණ්ඩයේ චිත්ත ගෘහපතියාගේ නොදුටු මිතුරෙක් ව වාසය කළේය. චිත්ත ගහපති විසින් බුදුගුණ ලියා යැවූ හසුන කියවා බුදුසසුන කෙරෙහි හටගත් ප්‍රසාදයෙන් ඉසිදත්ත, මහා කච්චායන තෙරුන් සමීපයෙහි දී පැවිදි ව, විදසුන් වඩා නොබෝ දිනකින්ම ෂට් අභිඥා උපදවා ගත්තේය. අපදාන පාළියේ දී මෙසේ උන්වහන්සේගේ චරිතය දක්වන ලදි.
“ලෝකයාගේ පූජාවන් පිළිගත්තා වූ රන්වන් පාටින් බබළන වීථියෙහි වඩින බුදුරජාණන් වහන්සේ දැක, උන්වහන්සේට අමෝද ඵලයක් පිදුවෙමි.
මීට කල්ප අනූ එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා ම මම දුගතියක නූපන්නෙමි. ඵල දානයේ විපාකය වශයෙන් මේ දක්වා ම මම දුගතියක නූපන්නෙමි. ඵල දානයේ විපාකය මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
ෂට් අභිඥාලාභී වූ ඉසිදත්ත තෙරණුවෝ “බුදු උවටැනට යන්නෙමි” යි ස්වකීය ගුරු හිමියන්ගෙන් අවසර ගෙන අනුපිළිවෙලින් මධ්‍ය දේශයට පැමිණ ශාස්තෲන් වහන්සේ සමීපයට වැඩම කළහ. තමන් වහන්සේට වැඳ එකත් පසෙක සිටි ඉසිදත්ත තෙරුන්ගෙන් ශාස්තෲන් වහන්සේ “මහණ! කෙසේද යැපිය හැකි ද? ඉවසිය හැකි ද?” යනාදී වශයෙන් විමසා කරන ලද පිළිසඳර කථා ඇති සේක, “භාග්‍යවතුන් වහන්සේ! නුඹ වහන්සේගේ සසුනට පිවිසි කාලයෙහි පටන්ම මගේ සියලු දුක් දුරු වූයේය. සියලුම උපද්‍රව සංසිඳුණේය” යනුවෙන් පැවසූ, ඉසිදත්ත තෙරණුවෝ සිය රහත්බව ප්‍රකාශ කරන සේක් මේ ගාථාව වදාළහ.
“පඤ්චක්ඛන්‍ධා පරිඤ්ඤාතා, තිට්ඨන්ති ඡින්නමුලකා,
දුක්ඛක්ඛයො අනුප්පත්තො, පත්තො මෙ ආසවක්ඛයො”
එහි “පඤ්චක්ඛන්‍ධා පරිඤ්ඤාතා” යනු මගේ මේ පඤ්ච උපාදානස්කන්‍ධය පිළිබඳව විදසුන් ප්‍රඥාව සහිත වූ මාර්ග ප්‍රඥාවෙන් “මෙය දුකයි, මෙපමණක් ම දුක ඇත, මෙයින් මත්තෙහි දුක නොපවතී” යනුවෙන් සියලුම ආකාරයෙන් පිරිසිඳ දැන, ඒ පිළිබඳව පඤ්චස්කන්‍ධය පිළිබඳ තවත් දතයුතු කිසිවක් නැත යන අදහසයි. “තිට්ඨන්ති ඡින්නමූලකා” යනු සියලුම ආකාරයෙන් පිරිසිඳ දත් බැවින් ම ඒවායේ අවිද්‍යා, තණ්හා දී මූලයන් මුලුමනින් ම සිඳ ආර්‍ය්‍ය මාර්ගයෙන් ප්‍රහීණ කරන ලද බැවින්, මේ පඤ්චස්කන්‍ධයෝ අවසන් සිත නිරුද්ධ වීම දක්වා පමණක් සිටිති. “දුක්ඛක්ඛයො අනුප්පත්තො” මුල් සිඳ දමන ලද බැවින් ඒ පඤ්චස්කන්‍ධය ආශ්‍රිත සංසාරික දුක ක්‍ෂය කරන ලදි. නිමා කරන ලදි. නිර්වාණය අවබෝධ කරගත්තෙමි. “පත්තො මෙ ආසවක්ඛයො” කාමාශ්‍රවාදී සියලු ආශ්‍රව ක්‍ෂය කළ කල්හි, අවබෝධ කරගත යුතු බැවින් “ආසවක්ඛය” නම් වූ “රහත්බවට පත්වූයෙමි. රහත් බව ලැබූවෙමි.” යන අර්ථයයි. ඇතැමෙක් මෙතැන දී “ආන්තිමායං සමුස්සයො” යන පාඨයක් දක්වති. නිවණ අවබෝධ කරගත් බැවින් මගේ මේ ආත්මභාවය අවසන් වූයේය. අවසන් ආත්ම භාවය ගතකරන මා හට පුනර්භවයක් නැත යනු එහි අර්ථයයි. මෙම වර්ණනාවේදී යම් පදයක අර්ථ නොපැවසූයෙම් ද එම පදයන්ගේ අර්ථ ඉහතින් පැවසූ හෙයින් අර්ථාවබෝධය ඉතා පහසු වේ.
ඉසිදත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
දොළොස්වන වර්ගයේ අර්ථවර්ණනාව සමාප්තයි.
මේ පරමත්‍ථදීපනී නම් ථෙරගාථා අර්ථ වර්ණනාවෙහි
එක සිය විස්සකට අධික වූ ථෙරගාථාවලින් යුක්ත ඒකකනිපාතයේ අර්ථවර්ණනාව නිමියේ ය.