ඉසිදත්ත ස්ථවිරගාථා වර්ණනාව
“පඤ්චක්ඛන්ධා පරිඤ්ඤාතා” යනු ආයුෂ්මත් ඉසිදත්ත තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? පෙර බුදුවරු ඉදිරියෙහි දී නිවන් පතාගෙන කළ ප්රාර්ථනා හා පුණ්යසම්භාර ධර්ම රැස්කර ගනිමින් පැමිණි මෙතෙම, විපස්සි භාග්යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි සිටුගෙයක ඉපිද වැඩිවියට පත් ව සිටියේ ය. ඒ සිටුතුමා දිනක් භාග්යවතුන් වහන්සේ වීථියෙහි වඩිනු දැක පැහැදුණු සිතින් එක් මිහිරි ආමෝද ඵලයක් උන්වහන්සේට පිළිගැන්වීය. ඒ පින්කමේ විපාක ලෙස දෙව් ලොව උපන් ඔහු, තව තවත් පින්දහම් සිදුකරමින් දෙව් මිනිස් දෙගතියෙහි සැරි සරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ දී අවන්තික රට වඩ්ඪ නම් ගමේ එක් සාත්තවාහකයකුගේ පුතු ව ඉපදුණෝය. ඉසිදත්ත නමින් ප්රකට වූ ඒ කුමරු තරුණවියට පත්ව, මච්ඡිකා සණ්ඩයේ චිත්ත ගෘහපතියාගේ නොදුටු මිතුරෙක් ව වාසය කළේය. චිත්ත ගහපති විසින් බුදුගුණ ලියා යැවූ හසුන කියවා බුදුසසුන කෙරෙහි හටගත් ප්රසාදයෙන් ඉසිදත්ත, මහා කච්චායන තෙරුන් සමීපයෙහි දී පැවිදි ව, විදසුන් වඩා නොබෝ දිනකින්ම ෂට් අභිඥා උපදවා ගත්තේය. අපදාන පාළියේ දී මෙසේ උන්වහන්සේගේ චරිතය දක්වන ලදි.
“ලෝකයාගේ පූජාවන් පිළිගත්තා වූ රන්වන් පාටින් බබළන වීථියෙහි වඩින බුදුරජාණන් වහන්සේ දැක, උන්වහන්සේට අමෝද ඵලයක් පිදුවෙමි.
මීට කල්ප අනූ එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා ම මම දුගතියක නූපන්නෙමි. ඵල දානයේ විපාකය වශයෙන් මේ දක්වා ම මම දුගතියක නූපන්නෙමි. ඵල දානයේ විපාකය මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
ෂට් අභිඥාලාභී වූ ඉසිදත්ත තෙරණුවෝ “බුදු උවටැනට යන්නෙමි” යි ස්වකීය ගුරු හිමියන්ගෙන් අවසර ගෙන අනුපිළිවෙලින් මධ්ය දේශයට පැමිණ ශාස්තෲන් වහන්සේ සමීපයට වැඩම කළහ. තමන් වහන්සේට වැඳ එකත් පසෙක සිටි ඉසිදත්ත තෙරුන්ගෙන් ශාස්තෲන් වහන්සේ “මහණ! කෙසේද යැපිය හැකි ද? ඉවසිය හැකි ද?” යනාදී වශයෙන් විමසා කරන ලද පිළිසඳර කථා ඇති සේක, “භාග්යවතුන් වහන්සේ! නුඹ වහන්සේගේ සසුනට පිවිසි කාලයෙහි පටන්ම මගේ සියලු දුක් දුරු වූයේය. සියලුම උපද්රව සංසිඳුණේය” යනුවෙන් පැවසූ, ඉසිදත්ත තෙරණුවෝ සිය රහත්බව ප්රකාශ කරන සේක් මේ ගාථාව වදාළහ.
“පඤ්චක්ඛන්ධා පරිඤ්ඤාතා, තිට්ඨන්ති ඡින්නමුලකා,
දුක්ඛක්ඛයො අනුප්පත්තො, පත්තො මෙ ආසවක්ඛයො”
දුක්ඛක්ඛයො අනුප්පත්තො, පත්තො මෙ ආසවක්ඛයො”
එහි “පඤ්චක්ඛන්ධා පරිඤ්ඤාතා” යනු මගේ මේ පඤ්ච උපාදානස්කන්ධය පිළිබඳව විදසුන් ප්රඥාව සහිත වූ මාර්ග ප්රඥාවෙන් “මෙය දුකයි, මෙපමණක් ම දුක ඇත, මෙයින් මත්තෙහි දුක නොපවතී” යනුවෙන් සියලුම ආකාරයෙන් පිරිසිඳ දැන, ඒ පිළිබඳව පඤ්චස්කන්ධය පිළිබඳ තවත් දතයුතු කිසිවක් නැත යන අදහසයි. “තිට්ඨන්ති ඡින්නමූලකා” යනු සියලුම ආකාරයෙන් පිරිසිඳ දත් බැවින් ම ඒවායේ අවිද්යා, තණ්හා දී මූලයන් මුලුමනින් ම සිඳ ආර්ය්ය මාර්ගයෙන් ප්රහීණ කරන ලද බැවින්, මේ පඤ්චස්කන්ධයෝ අවසන් සිත නිරුද්ධ වීම දක්වා පමණක් සිටිති. “දුක්ඛක්ඛයො අනුප්පත්තො” මුල් සිඳ දමන ලද බැවින් ඒ පඤ්චස්කන්ධය ආශ්රිත සංසාරික දුක ක්ෂය කරන ලදි. නිමා කරන ලදි. නිර්වාණය අවබෝධ කරගත්තෙමි. “පත්තො මෙ ආසවක්ඛයො” කාමාශ්රවාදී සියලු ආශ්රව ක්ෂය කළ කල්හි, අවබෝධ කරගත යුතු බැවින් “ආසවක්ඛය” නම් වූ “රහත්බවට පත්වූයෙමි. රහත් බව ලැබූවෙමි.” යන අර්ථයයි. ඇතැමෙක් මෙතැන දී “ආන්තිමායං සමුස්සයො” යන පාඨයක් දක්වති. නිවණ අවබෝධ කරගත් බැවින් මගේ මේ ආත්මභාවය අවසන් වූයේය. අවසන් ආත්ම භාවය ගතකරන මා හට පුනර්භවයක් නැත යනු එහි අර්ථයයි. මෙම වර්ණනාවේදී යම් පදයක අර්ථ නොපැවසූයෙම් ද එම පදයන්ගේ අර්ථ ඉහතින් පැවසූ හෙයින් අර්ථාවබෝධය ඉතා පහසු වේ.
ඉසිදත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
දොළොස්වන වර්ගයේ අර්ථවර්ණනාව සමාප්තයි.
මේ පරමත්ථදීපනී නම් ථෙරගාථා අර්ථ වර්ණනාවෙහි
එක සිය විස්සකට අධික වූ ථෙරගාථාවලින් යුක්ත ඒකකනිපාතයේ අර්ථවර්ණනාව නිමියේ ය.