දොළොස් වැනි වග
ජෙන්ත ස්ථවිරගාථා වර්ණනාව
“දුප්පබ්බජ්ජං වෙ දුරධිවාසා ගෙහා” යනු ආයුෂ්මත් ජෙන්ත තෙරණුවන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද පූර්ව ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී නිවන් පතාගෙන කුසල් රැස්කර ගත්හ. සිඛී බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී දෙව් පුතෙකුව ඉපිද, දිනක් උන්වහන්සේ දැක - පැහැදුණු සිතින් කිංකිරාත මලින් පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයේ දී මගධ රට “ජෙන්ත” නම් ගම එක් මාණ්ඩලික (ප්‍රාදේශීය) රජෙකුගේ පුතුව උපන්නේය. ජෙන්ත නමින් ප්‍රකට වූ හෙතෙම වියපත් ව, තරුණකාලයේ දී ම හේතු සම්පත් බලයෙන් මෙහෙයවනු ලබන්නේ පැවිද්දට ඇලුණු සිතැතිව සිට නැවත මෙසේ සිතීය. “පැවිද්ද නම් දුෂ්කර වූවකි. ගෘහ වාසය ද අතිදුෂ්කර වූවකි. ධර්‍මය ද ඉතා ගැඹුරුය. භෝග සම්පත් ලැබීම ද අසීරුය. මම කුමක් කළයුතුද?” මෙසේ සිතමින් වෙසෙන කල්හි දිනක් ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් ධර්‍මය ඇසුවේය. ධර්‍මය ඇසූ දින පටන් පැවිද්දට ඇලුණු සිතැතිව, ශාස්තෲන් වහන්සේ සමීපයේ පැවිදි වූ උන්වහන්සේ කමටහන් ගෙන විදසුන් වඩා, සුව ප්‍රතිපදාවෙන් වහා අභිඥා උපදවා රහත් බවට පත්වූහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.
“මම පෙර දෙව් පුතෙකුව ඉපිද කිංකිරාත මල් රැගෙන සිඛී බුදුරජාණන් වහන්සේට පූජා කොට නමස්කාර කළෙමි.
මෙයින් කල්ප තිස් එකකට පෙර එසේ යම් මල් පූජාවක් කළෙම් ද ඒ හේතුවෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවේ විපාකය මෙබඳුය.
මෙයින් කල්ප පහකට පෙර සත්රුවනින් හෙබි මහ බලවත් සත්තුත්තම නම් සක්විති රජ ව උපන්නෙමි.
දැන් මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් වූ ජෙන්ත තෙරණුවෝ තමාගේ ප්‍රතිපත්තිය විමසා බලා, “මම ඒකාන්තයෙන්ම මා හට මුලදී උපන් විතර්කය සිඳ දැමීමට හැකියාව ලද්දෙමි”යි සතුටට පැමිණ, විතර්කයේ උපන්දින ස්වභාවය ද එය මනාව සිඳ දැමීම ද දක්වමින්, මෙම ගාථාව වදාළහ.
“දුප්පබ්බජ්ජං වෙ දුරධිවාසා ගෙහා, ධම්මො ගම්භීරො දුරධිගමා භොගා,
කිච්ඡා වුත්ති නො ඉතරීතරෙනෙව, යුත්තං චින්තෙතුං සතත මනිච්චතං” න්ති.
එහි “දුප්පබ්බජ්ජං” යනු අල්ප හෝ මහත් වූ සම්පත් මෙන් ම ඤාති සමූහයා ද අත්හැර මේ බුදුසසුනෙහි ඇල්ම උපදවා පැවිදිවන්නාට එය දුෂ්කර වූවක් බැවින් පැවිද්ද දුෂ්කරය. දුෂ්කර පැවිද්ද දුප්පබ්බජ්ජ නම් වේ. “වෙ” යනු නිපාතයක් පමණි. පැවිද්ද දැඩි වූවක් ද දුක්ගෙන දෙන්නක් ද වේ. ගිහි ගේ විසීමත් “දුරධිවාසා ගෙහා” ඉතා දුෂ්කරය. ගිහි ගේ වසන රජවරු රාජ්‍ය කටයුතු ද ප්‍රධානීහු ප්‍රධාන කටයුතු ද ගහපතියෝ ගහපති කටයුතු ද කළයුතුය. ඔවුහු තම පිරිවර ජනයාට ද මහණබමුණන්ට ද සංග්‍රහ කළයුතු වෙති. මෙම කටයුතු මැනවින් ඉටුකළත් ගිහිගේ විසීම නම් හිල් වූ කලයක් හෝ මහ මුහුද හෝ දියෙන් පිරවීම මෙන් සම්පූර්ණ නොවන්නකි. එනිසා ගිහිගේ විසීම ද අති දුෂ්කර වූවකි. දුෂ්කර වාසය කිරීම් ඇත්තකි. ඉදින් පැවිදිව සිටින්නේ නම් උගත යුතු ධර්‍මය ගැඹුරුය. පැවිද්දෙකු විසින් අවබෝධ කරගත යුතු වූ ප්‍රතිවේධ සද්ධර්මය ගැඹුරු බැවින් අවබෝධ කරගැනීමට අපහසුය. ඉදින් ගිහිගේ වසන්නේ නම් සම්පත් සෙවීම අපහසු වේ. සම්පත් නොමැතිව ගිහිගේ විසීමට නොහැක. ඒ භව භෝගාදී සම්පත් සෙවීම දුකින් ම කරදරවලින් ම කළයුතු බැවින් දුකසේ ලැබිය යුතුවේ. මෙසේ ඇති කල්හි ගිහිගේ හැර පැවිද්දෙහිම එකඟ වූ සිතින් පවතින්නේ නම් එය අන්‍ය කටයුතුවලට වඩා අපට දුෂ්කරය. මේ බුදුසසුනෙහි යථා ලාභ ප්‍රත්‍යයෙන් ම අපගේ ජීවිතය පවත්වා ගැනීම දුෂ්කර වූවකි. ගිහිගෙදර විසීමත් දුෂ්කර වාස ඇති බැවින් ද භෝගයන් දුකසේ ලැබිය යුතු බැවින් ද කිසියම් ප්‍රත්‍යයකින් යැපිය යුතු බැවින් ද අපට ඉතා දුෂ්කර ද අමාරු වූ දිවිපැවැත්මකි. මෙහිදී අප කුමක් කළයුතු ද? යි සිතීමට සුදුසුය. නිතර අනිත්‍ය බව, මුලු දවසම රාත්‍රියට පෙරත් පසුවත් සියලු ත්‍රෛභූමික වූ හටගත්, උපන් ධර්‍මයෝ අනිත්‍යයැයි දැකිය යුතුයි. ඉපිද නැසෙන බැවින් අනිත්‍ය ලෙස ගතයුතුයි. එමෙන්ම තාවකාලික බැවින් නිත්‍ය - ස්ථිර නොවේ යන අදහසින් අනිත්‍ය ලෙස සිතීමට විදර්ශනා වැඩීමට සුදුසු ය. අනිත්‍යානුපස්සනාව මගින් ම සෙසු අනුපස්සනා භාවනාවන් ඉටුවන බැවින්, මෙහිදී අනිත්‍ය පිළිබඳ මෙනෙහි කරන භාවනාවම අදහස් කරන ලදි. අනිත්‍යයේ දුක - අනාත්ම භාවයන් අභිබවා නොයන බැවින් ද සසුනෙහි සැප අල්ලා ගන්නා බැවින් ද අනිත්‍ය අනුපස්සනාව මෙහි දී අදහස් වේ. “යමක් අනිත්‍ය නම් එය දුකකි, යමක් දුක නම් එය අනාත්ම වේ” යනුවෙන් එනිසා කියන ලදි. “යම්කිසි හේතු ප්‍රත්‍ය සමවායෙන් හටගන්නා ධර්‍මයක් වේ නම් එය හේතු ප්‍රත්‍ය වෙන් වීමෙන් නිරුද්ධවන නැති ව ධර්‍මයක් වේ. සංස්කාරයෝ නැසෙන සුලුය.” මෙසේ “අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිපක්‍ෂ වූ වෙන වෙනම උපන් විතර්ක දුරුකර, අනිත්‍යතාව ප්‍රමුඛ වූ විදසුන් භාවනාව ඇරඹු මම දැන් කළයුතු කටයුතු නිමවූවෙමි” යි දක්වයි. ඒ සඳහා තමාගේ පිළිවෙත ප්‍රත්‍යවේක්‍ෂා කරමින් යනාදී විස්තරය පවසන ලදි. මෙම ගාථාව ම ජෙන්ත තෙරුන්ගේ රහත් බව ප්‍රකාශ කරන ගාථාව විය.