කිම්බිල ස්ථවිරගාථා වර්ණනාව
“අභිසත්‍ථොව නිපත්තී” යනු ආයුෂ්මත් කිම්බිල තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? පෙර බුදුවරු හමුවෙහි දී කරන ලද ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ; පෙර කකුසඳ නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද තරුණ වියට පත්වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ ධාතූන් වහන්සේ උදෙසා, එම සිටුතුමා විසින් හොර දඬුවලින් මණ්ඩපයක් කරවා පූජා කරන ලදි. ඒ පින්කමේ විපාක වශයෙන් තව්තිසා දෙව්ලොව උපන් හෙතෙම කාම සුගතීන්හිම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි කපිලවත්‍ථු නගරයේ ශාක්‍ය පවුලක උපන්නේය. කිම්බිල නමින් ප්‍රකට වූ ඒ කුමරු වැඩිවියට පත්ව කාමයෝගී සම්පතින් ආඪ්‍යව වාසය කළේය. ඔහුගේ නුවණ මුහුකුරා ගිය බව දුටු බුදුරජාණන් වහන්සේ ඔහුගේ සිතේ සංවේගය ඇතිකිරීමට අනුපිය අඹවනයේ දී ඉතා තරුණවියේ සිටි දැකුම්කළු ස්ත්‍රී රූපයක් මවා ඔහු ඉදිරියේදීම ක්‍රමයෙන් ජරාවට පත්වන, රෝගාබාධයන්ට ලක්වන ආකාරය දැක්වූ සේක. එය දුටු කිම්බිල කුමරු දැඩි සේ සංවේගයට පත්ව මේ ගාථාව පැවසීය.
“අභිසත්‍ථොව නිපතති වයො, රූපං අඤ්ඤමිව තථෙව සන්තං,
තස්සෙව සතො අවිප්පවසතො, අඤ්ඤස්සෙව සරාමි අත්තානං”
එහි “අභිසත්‍ථොව” ‘නුඹ වහා ගෙවී යනුව’ යි දෙවියන් විසින් අණකරන, නියෝග කරන ලද්දෙකු මෙන් “අභිසත්තොව” යන පාඨය ද යෙදේ, නුඹ වහා යව! කිසියම් ආශාවකින් දිව යන්නෙකු මෙන්, “නිපත්ති” වේගයෙන් වැටේ, වේගයෙන් ගතවේ. ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා ක්‍ෂයභාවයට, ව්‍යය වන ස්වභාවයට පැමිණේ! යන අර්ථයයි. “වයො” බාල, තරුණ ආදී ශරීරයේ අවස්ථා විශේෂය දැක්වීමකි. මෙහි දි තරුණ අවස්ථාව අදහස් විය. ඒ තරුණ අවස්ථාව වහා වැටේ, වහා ක්‍ෂය වී යයි, “රූපං” යනු රූප සම්පත්තියයි. “රූප” යන්නෙන් ශරීරය අදහස් වේ. “ඇට, නහර, මස් ආදියෙන් යුතු අකාශයෙන් පිරිවරාගත් රූපයම මෙහිදී අදහස් වේ.” ආදියේ දක්වන ලද්දාක් මෙනි. “අඤ්ඤමිව තථෙව සන්තං” මේ රූපය යම්සේ තමා ම ඒ ආකාරයෙන් ම පවතින, විද්‍යමාන වන අනිකක් (වෙනත් දෙයක්) මෙන් මට වැටහේ, ඇතැමෙක් “තථෙව සන්තං” යනුවෙන් පමණක් දක්වති. “තස්සෙව සතො” ඒ මාගේ අනිකකු නොවූ ආත්මයම, මාගේ ශරීරයම, “අවිප්ප වසතො”, “බොහෝ කාලයක් වෙන්ව විසුවේ නම් අනිකකු නොවූවත් අනිකකු මෙන් වැටහේ, ඒ කාරණය ද මෙහිදී මම නැත,” යන අදහසයි. “අඤ්ඤස්සෙව සරාමි අත්තානං” මේ මාගේ ආත්මභාවය වෙනත් සත්ත්‍වයකු මෙන් සිහිකරමි, සළකමි, හැඳිනගනිමි යන අර්ථයයි. මේ අයුරින් රූපයේ අනිත්‍යබව මෙනෙහි කළ කිම්බිලි කුමරුට දැඩි වූ සංවේගයක් ඇතිවිය. උපත් සංවේග ඇති හෙතෙම ශාස්තෲන් වහන්සේ වෙත පැමිණ, ධර්‍ම අසා, ලැබූ ශ්‍රද්ධාවෙන් පැවිදිවූයේ විදසුන් භාවනාවෙහි සිත පිහිටුවා නොබෝ කලකින් ම රහත්බවට පත්විය. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ පවසන ලදි -
“විසූ බඹසර ඇති පාපධර්‍ම බහා තැබූ කකුසඳ බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි, උන්වහන්සේට මම හොරදඬුවලින් මණ්ඩපමාලයක් කරවූයෙමි.
තව්තිසාවේ උපන් මම එහිදී උතුම් පහයක් ලැබුවෙමි. සෙසු දෙවියන් ඉක්මවා සිරි සැපතින් බැබලුනෙමි. මා කළ පින් කමේ විපාකය මෙබඳුය.
දවල් රෑ සක්මන් කරන හා සිටගෙන සිටින මා නිතර සලල මලින් වැසුණෙමි. ඒ පින්කමෙහි විපාක මෙබඳුය.
මේ කල්පයේ දී ම යම් බුදුකෙනෙකු පිදුවේම ද එනිසා දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවේ විපාකය මෙබඳුය.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටුකළෙමි.”
රහත්බවට පත් වූ කිම්බිල තෙරණුවෝ තමාට මුලින් ගිහි අවස්ථාවේ උපන් අනිත්‍යතාව මෙනෙහි කරමින්, එය ප්‍රකටව දක්වනසේක් එම ගාථාවම නැවත වදාළහ. එනිසා එම ගාථාව කිම්බිල තෙරණුවන්ගේ රහත්බව ප්‍රකාශ කරන ගාථාව ද විය.