යස ස්ථවිරගාථා වර්ණනාව
“සුවිලිත්තො සුවසනො” යනු ආයුෂ්මත් යස තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී සසරින් මිදීම සඳහා පින් රැස්කරමින් පැමිණ සුමේධ නම් භාග්යවතුන් වහන්සේ ලොව උපන් කාලයෙහි මහානුභාව නාගරාජයෙකු වී උපන්හ. නා රජු බුද්ධප්රමුඛ මහා සංඝරත්නය තම භවනට වැඩමවාගෙන ගොස් මහදන් පැවැත්වීය. භාග්යවතුන් වහන්සේට මහත් අනර්ඝ තුන් සිවුරක් පූජාකළේය. එක් එක් භික්ෂුවට මහත් අනර්ඝ වූ වෙන් වෙන් වස්ත්ර යුගල බැවින් ද සියලු ශ්රමණ පිරිකර ද පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසැරූ හෙතෙම සිද්ධත්ව භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුපුතෙක් ව මහ බෝ මැඩට සත්විධ රත්නයන්ගෙන් පූජා කළේය. මෙසේ කාම සුගතීන් හි ම සැරි සරමින් අවුත් මේ අපගේ භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී මහත් සම්පත් ඇති සිටුවරයෙකුට දාව බරණැස් නුවර දී ඉපිද යස නමින් ප්රකට විය. ඔහු අතිශයින් සියුමැලිය.
ඔහුට මාලිගා තුනක් විය. මේ ආදී තොරතුරු ඛන්ධක විනයෙහි (මහාවග්ග පාළි - මාහා ඛන්ධක) විස්තර වන පරිදිම දතයුතුයි. ඒ සිටුපුත් පෙර කුසල කර්මබලයෙන් මෙහෙයවනු ලබන්නේ රාත්රියේ නිදාගත් පිරිවර ජනයාගේ විප්රකාර දැක හටගත් සංවේගය නිසා රන්මිරිවැඩි සඟලකින් ගෙයින් නික්ම, දෙවියන් විසින් හැරදැමූ නුවර දොරටුවෙන් පිටතට අවුත් ඉසිපතනය සමීපයට පැමිණියේය. ඔහු “භවත්නි! ඒකාන්තයෙන් තණ්හාදිය විසින් පීඩා කරන ලද්දේය. තණ්හාදී ක්ලේශධර්මවලින් පීඩා කරන ලද්දේය.” යනුවෙන් පැවසීය. එසමයෙහි භාග්යවතුන් වහන්සේ ඉසිපතනයෙහි වැඩවසන සේක්, ඔහුට අනුග්රහ පිණිසම එළිමහනෙහි සක්මන් කරන සේක් “යස! එන්න, මෙහි තණ්හාදී පීඩාවන් නැත. මෙහි තණ්හාදී උපද්රවයන් නැත”යි වදාළහ. එය ඇසූ යස කුමරු “පීඩා නැති උවදුරු නැති ජීවිතයක් ද ඇතැයි” සතුටුව රන්පාවහන් ගලවා භාග්යවතුන් වහන්සේ වෙත එළඹ එකත් පසෙක සිටියේය. එසේ සිටි කුමරුට අනුපිළිවෙල කථාව වදාළ බුදුරජාණන් වහන්සේ අනතුරුව චතුරාර්ය සත්ය දේශනා කළ සේක. එය අසා සෝවාන් ඵලයෙහි පිහිටි යස කුමරු, තමා සොයා පැමිණි පියාට භාග්යවතුන් වහන්සේ දෙසූ සත්ය පිළිබඳ දම් දෙසුම අසා රහත් ඵලයෙහි පිහිටියේය. ඒ බව අපදාන පාළියේ දී යස තෙරණුවෝ මෙසේ වදාළහ.
“මහ සමුදුර සමීපයෙහි මට භවනයක් මැවිණි. සක්වාලිහිණි හඬ ඇති මන්දාර, පියුම්, උපුල් මලින් ගැවසුණු පොකුණක් ඒ අසල මැවිණි.
ඒ පෙදෙසෙහි සිත්කලු වූ මනා තොටුපල ඇති මස් කැසුබුවන් ගැවසුනු විහඟ සමූහයා රැස්වූ නදියක් ගලාබසී.
මොණර, කොස්වාලිහිණි, කොවුල් ආදී පක්ෂි නාදයෙන් ඒ මනරම් නදී පෙදෙස දොඩමලුය.
පරවි, රවිහංස, සක්වා ලිහිණි, නදීචර, දිය කිරල, සැළලිහිණි, උණහපුළු, ජීවංජීවක යන මොවුහු එහි රැස්ව සිටියහ.
එහි නිති රැව්දෙන හංසයෝ කොස්වා ලිහිණියෝ, බකමුහුනෝ, පිංගලයෝ යන පක්ෂීහු බොහෝ වූහ.
සත්රුවනින් පිරි මිණිමුතු සහිත වැලිද නොයෙක් සුවඳ හමන හැම රන්මුවා වූ ගස් ද ඒ භවනය දිවා රෑ හැමකල්හි බබුලුවයි.
සැටදාහක් තූර්යනාද උදේ සවස පැවැත්වෙයි. හැම කල්හිම සොළොස් දහසක් ස්ත්රීහු මා පිරිවරාගෙන සිටිති.
භවනයෙන් නික්මුණු මම ප්රසන්න වූ සිතින් සතුටු සිතින් මහත් යශස් ඇති ලෝකනායක වූ ඒ සුමේධ බුදුරදුන් වැන්දෙමි.
බුදුරදුන්ට වැඳ, සංඝයා සහිත උන්වහන්සේට දන් පිණිස ආරාධනා කළෙමි. ලෝකනායක වූ ප්රාඥවූ බුදුරජහු එය පිළිගත්හ.
අනතුරුව උන්වහන්සේ මා හට ධර්මකථාවක් කළහ. උන්වහන්සේ වැඳ මාගේ භවනට ගිය මම පිරිවර ජනයා අමතා, “පෙරවරු කල්හි බුදුරජහු මාගේ භවනට වඩිනසේක. නුඹලා සැම රැස්වවු” යි පැවසීමි.
ඒ පිරිවර ජනයා “ඔබ සමීපයෙහි විසීම අපට වූ ලාභයකි. යහපත් ලැබීමකි. අපිත් ශාස්තෲ වූ බුදුරජාණන් වහන්සේට පූජාවක් කරන්නෙමු”යි පැවසූහ.
ආහාරපාන පිළියෙල කළ මම බුදුරදුන්ට කාලය දැන්වීමි. ලෝකනායක වූ උන්වහන්සේ ලක්ෂයක් රහතුන් පිරිවරා දනට වැඩිසේක.
පසඟතුරු සහිත වූ මම පෙරගමන් කළෙමි. පුරුෂෝත්තම වූ බුදුරජාණන් වහන්සේ මුළුමනින් ම රනින් නිමවූ පුටුවෙහි වැඩහුන්හ.