පාරාසරිය ස්ථවිරගාථා වර්ණනාව
“ඡ ඵස්සායතනෙ හිත්‍වා” යනු ආයුෂ්මත් පාරාසරිය තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ සිදුවීද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි දී කළ ප්‍රාර්ථනාව ඇතිව ඒ ඒ භවයන්හි දී පින් රැස්කර ගනිමින් පැමිණ, පියදස්සී භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී වැදි කුලයෙහි උපන්හ. වියපත් වූ ඒ වැදි තෙම හැසිරෙන එක්තරා වන ලැහැබකට, ඔහුට අනුග්‍රහ පිණිස වැඩම කළ, පියදස්සි බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුනහ. ඒ වැදි තෙමේ ද මුවන් සොයමින් එතැනට පැමිණ ශාස්තෲන් වහන්සේ දැක පැහැදුණු සිතින් උන්වහන්සේට සුවසේ වැඩ සිටීමට ආවරණය වන පරිදි කුළුගෙයක් වැනිවූ ගස් අතු මණ්ඩපයක් සාදා, නෙළුම් මුලින් එය වසා මහත් වූ ප්‍රීති සොම්නසක් විඳින්නේ සත්දිනක් උන්වහන්සේට වැඳගෙන සිටියේය. දිනපතා මැලවෙන මල් ඔහු ඉවත් කරයි. අලුත් මලින් කුටිය වසයි. ශාස්තෲන් වහන්සේ සත්දින ගෙවුණු පසු නිරෝධ සමාපත්තියෙන් නැගී සිට, භික්ෂු සංඝයා පිළිබඳව සිහිපත් කළ සේක. එකෙණෙහිම අසූදාහක් පමණ භික්ෂූහු ශාස්තෲන් වහන්සේ පිරිවරා ගත්හ. “මිහිරි දහම් කථාවක් අසමු”යි දෙවියෝ රැස්වුනහ. එවිට මහත් වූ සමාගමයක් විය. ශාස්තෲන් වහන්සේ පුණ්‍යානුමෝදනාව පවත්වා, ඒ වැදි පුරුෂයා ලබන දෙව් මිනිස් සැප හා මේ බුද්ධෝත්පාද කාලයේ දී ලබන ශ්‍රාවක බෝධිය පිළිබඳව විවරණ දී වැඩිසේක. ඒ වැදිතෙම එසේ කරන ලද පින්කම නිසා දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයේදී රජගහ නුවර බමුණු පවුලක ඉපිද වියපත්ව ත්‍රිවේද පාරගත වූයේ පරාසර ගෝත්‍රයේ බැවින් “පාරාසරිය” යනුවෙන් ප්‍රසිද්ධව බොහෝ බමුණන්ට වේද මන්ත්‍ර ඉගැන්වීය. ශාස්තෲන් වහන්සේ රජගහ නුවරට වැඩම වූ අවස්ථාවෙහි බුද්ධානුභාවය දැක ලැබූ ශ්‍රද්ධාවෙන් පැවිදි වු හෙතෙම විදසුන් වඩා නොබෝ දිනකින් ම රහත් බවට පත් වූයේය. උන්වහන්සේ අපදාන පාලියේදී සිය චරිතය මෙසේ දැක්වූහ -
“තමන් වහන්සේ ම සියල්ල අවබෝධ කරගත්තා වූ ලෝකනායක වූ සර්‍වඥ වූ මුනිගුණයෙන් යුක්ත වූ සමාධියෙහි දක්‍ෂ වූ පියදස්සී භාග්‍යවතුන් වහන්සේ විවේකය කැමති වූහ.
මහා මුනිවූ පුරුෂෝත්තම වූ ඒ පියදස්සි බුදුරජාණෝ වන ලැහැබට පිවිස පාංශුකූල සිවුර අතුරා සමවත් සුවයෙන් වැඩහුන්හ.
එකල්හි මම වනයෙහි හැසිරෙන මුව වැද්දෙක් වූයෙමි. තිත් මුවෙකු සොයමින් වනයේ ඇවිද ගිය මම එහිදී චතුරෝඝයන් තරණය කළ ආශ්‍රව රහිත වූ පිපියා වූ සල් ගසක් බඳු වූ අහස මැදට පැමිණි සූර්යයා බඳු වූ සම්බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
දේවාතිදේව වූ මහත් යශස් ඇති ඒ පියදස්සී බුදුරජාණන් වහන්සේ දුටු මම ස්වාභාවිකවම හටගත් විලකට බැස පියුම් රැගෙන ආවෙමි.
සියස් පත් ඇති මනරම් වූ පියුම් රැගෙන ආ මම, කුළුගෙයක් සාදා එය පියුමින් වැසූවෙමි.
පස් මරුන් ජයගත් සත්වයන්ට අනුකම්පා කරන කාරුණික මහාමුනීන්‍ද්‍ර වූ පියදස්සී බුදුහු දවල් රෑ සතක් ඒ කුළුගෙයි විසූහ.
පරණ පියුම් ඉවත් කළ මම අලුත් පියුම් වලින් කුළුගෙය සෙවිලි කළෙමි. එකෙණෙහිම ඇඳිලි බැඳ සිටියෙමි.
සමාධියෙන් නැගිට සිටි ලෝකනායක වූ පියදස්සී බුදුරජාණෝ, දස දෙස බලමින් වැඩහුන්හ.
එවිට ම පියදස්සී බුදුරජාණන් වහන්සේගේ සුදස්සන නම් අග්‍ර උපස්ථායක භික්‍ෂුව බුදු සිත දැන, අසූදාහක් භික්‍ෂූන් පිරිවරා වනයේ සුවසේ වැඩහුන් ලෝකනායකයන් වහන්සේ වෙත එළඹියේය.
එවිට වන ලැහැබෙහි අධිගෘහිත සියලුම දෙවියෝ ද බුදුසිත දැන එතැනට රැස්වූහ.
කුම්භාණ්ඩයන් ද රකුසන් සහිත යකුන් ද රැස්වූ කල්හි, භික්‍ෂු සංඝයා ද වැඩම වූ කල්හි බුදුහු මෙසේ වදාළහ.
“යමෙක් සතියක් පුරා මා පිදුවේ ද මට ආවාසයක් කරවූයේ ද ඔහු කවරෙක්දැයි මම පවසමි. එසේ පවසන මාගේ වදන් අසවු,
ඉතා දුකසේ දැකිය හැකි වූ ඉතා සියුම් වූ ද ඉතා ගැඹුරු වූද ඒ පින්කම මැනවින් ප්‍රකාශිතය. එය නුවණින් බලා පවසන්නෙමි. ඒ මාගේ වචනය අසවු.