මහානාම ස්ථවිරගාථා වර්ණනාව
“එසාව හීය්‍යසෙ පබ්බතෙන” යනු ආයුෂ්මත් මහානාම තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී පින් රැස් කරමින් අවුත් සුමේධ නම් භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි එක් බමුණු පවුලක උපන්හ. සියළු බ්‍රාහ්මණ ශිල්ප ශාස්ත්‍රයන්හි කෙළවරට ගිය හෙතෙම ගිහිවාසය අතහැර එක්තරා නදී තීරයක අසපුවක් කරවා බොහෝ බමුණන්ට වේද මන්ත්‍ර උගන්වමින් සිටියේය. එක් දිනක් සුමේධ බුදුරජාණන් වහන්සේ ඔහුට අනුග්‍රහ පිණිස ඒ අසපුවට වැඩි සේක. උන්වහන්සේ දැක පැහැදුණු සිතින් අසුනක් පැනවූ තාපස බමුණා එහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේට ඉතා මිහිරි මී පැණි පූජා කළේය. එය වැළඳූ භාග්‍යවතුන් වහන්සේ ඉහත අධිමුත්ත තෙරුන් වහන්සේගේ කථාවෙහි පැවසූ ලෙසම අනාගතය පිළිබඳ විවරණ දී වැඩියහ. ඒ පින්කමේ බලයෙන් දෙව්ලොව උපන් ඔහු, ඒ ඒ කාම සුගතීන්හිම සැරිසරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ සැවැත්නුවර එක් බමුණු පවුලක ඉපිද “මහානාම” නමින් ප්‍රකටව විය. වියපත් මහානාම කුමරු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ ධර්මය අසා ලැබූ ශ්‍රද්ධා ඇතුව සසුනේ පැවිදි වී කමටහන් රැගෙන නේසාදක නම් පර්වතයෙහි වාසය කළේය. මහානාම තෙරණුවෝ කෙලෙස් මුළුමනින්ම නසා දැමීමට අසමත් වූ සේක්, “මේ මාගේ කෙලෙස් සහිත ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක් ද? යි තම ජීවිතය පිළිබඳව කළකිරී උස් වූ පර්වතය මුදුනට ම නැග “මෙයින් වැටී මැරෙන්නෙමි” යි තමා වෙනත් අයෙකු මෙන් දක්වමින් මේ ගාථාව වදාළහ.
“එසාව හීය්‍යසෙ පබ්බතෙන බහුකුටජසල්ලකිතෙන,
නෙසාදකෙන ගිරිනා යසස්සිනා පරිච්ඡදෙන”
එහි “එසාව හීය්‍යසෙ” යනු මහානාමය! නුඹ මේ පැවිද්දෙන් එකතැන නවතින්නේ ය. පිරිහෙන්නේ ය. “පබ්බතෙන” වාසය කරන්නාවූ මේ පර්වතයෙන්, “බහුකූටජසල්ලකිතෙන” බොහෝ වූ කෙළි ද ගසින්, ඉඳුසල් ගසින් යුක්ත වූ හෝ කෙළිද - ඉඳුසල් ගස්වලින් යුක්ත “නෙසාදකෙන” එනම් ඇති, නේ සාද නම් වූ, “ගිරිනා” පර්‍වතයෙන්, ගල්පර්වතය වනාහී එකිනෙක ගැලපුණු පුරුක් (පබ්බ) වලින් යුක්තවූ බැවින් “පර්වතය” නම් වූත් පසෙක ඇති වනාන්තරාදියෙන් ද ජලාශ වලින් ද සාරවූ ද බෙහෙත් ද්‍රව්‍ය ආදියට නිවාස වූ බැවින් “ගිරි” නම් වූත් ස්ථානයකි. එම අර්ථ දෙකින් ම මෙහි “පර්වතය” යැයි ද “ගිරි” යැයි ද කියන ලදි. “යසස්සිනා” පර්වතයට අදාළ වූ ගුණාංගවලින් ප්‍රකට වූ ප්‍රසිද්ධ වූ “පරිච්ඡදෙන” යනු නානාවිධ වූ රුක්, ගොමු, ලතාදියෙන් යුක්ත වූ වැසුණු නුඹ වාසය කරන ස්ථානය මැනවින් වැසුණේය. මෙම ගාථාවේ අර්ථය මෙසේය - “මහානාමය! ඉදින් නුඹ කමටහන් අතහැර විතර්ක බහුල වන්නෙහි නම් වේ. සෙවණ හා දිය සහිත වූ ඉතා සුදුසු වාසස්ථානයක් වූ නේසාදක පර්වතයෙන් පිරිහුණු අයකු නොවේවා” යනුවෙනි. තෙරණුවෝ මෙසේ තමාට උපදෙස් දෙමින් සංවේගයට පත්වනවාත් සමගම විදසුන් වඩා රහත්බවට පත්වූහ. එනිසා උන්වහන්සේ තම චරිතාපදානය අපදාන පාළියේ මෙසේ දැක්වූහ.
“සින්‍ධුනදී තීරයෙහි මැනවින් කරණ ලද මාගේ අසපුවේ දී මම ලක්‍ෂණ ශාස්ත්‍රය සහිත ඉතිහාසය සිසුන්ට ඉගැන්වූයෙමි.
ධර්‍මය කැමති, විනීත වූ අනුශාසනය අසනු කැමති ඒ සිසුහු ෂඪංග වේදයෙහි (සය වැදෑරුම් වේදයෙහි) පරතෙරට ගියාහු සින්‍ධු ගං ඉවුරෙහි වෙසෙති.
භූතයන් පිළිබඳව විමසන උත්පාද ශාස්ත්‍රයෙහි ද අංග ලක්‍ෂණ ශාස්ත්‍රයෙහි ද දක්ෂ වූ උතුම් වූ අර්ථය සොයන්නාවූ ඔවුහු එම වනයේ වාසය කරති.
සුමේධ නම් බුදුරජාණන් වහන්සේ අපට අනුකම්පාවෙන් එකෙණෙහිම අප වෙත එළඹියේය.
එසේ එළඹි මහාවීර වූ සුමේධ නම් ලෝකනායකයන් වහන්සේ දුටු මම, උන්වහන්සේට තණ ඇතිරියක් සාදා දුන්නෙමි.
වනයෙන් මී ගෙනවුත් ලෝකයට ජ්‍යෙෂ්ඨවූ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට පූජාකළෙමි. බුදුපියාණන් වහන්සේ එය වළඳා මෙසේ වදාළහ.
“මා කෙරෙහි පැහැදුණු යම් අයෙක් මෙසේ මා වෙත මී පැණි පූජා කළේ ද ඔහුගේ අනාගතය පිළිබඳව පවසන්නෙමි. ඒ මාගේ වචනය අසවු.
මේ මී පැණි දානය හා තණ ඇතිරිය පිදීම නිසා මෙතෙම කල්ප තිස් දහසක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේය.
මෙයින් කල්ප තිස් දහසකට පසුව, ඔක්කාක කුලයේ උපදින්නාවූ ගෞතම ශාස්තෲහු ලොව පහළවෙති.
මොහු උන්වහන්සේගේ ධර්‍මය දායාද කරගත් ධර්මයෙන් නිර්මිත වූ ඖරස බුද්ධ පුත්‍රයෙක් ව සියලු ආශ්‍රව සිඳ පිරිනිවන්නේය.”