අධිමුත්ත ස්ථවිරගාථා වර්ණනාව
“කාය දුට්ඨුල්ලගරුනො” යනු ආයුෂ්මත් අධිමුත්ත තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? හෙතෙම පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි බමුණු පවුලක ඉපිද වැඩිවිය පැමිණෙත්ව සියලු බමුණු ශිල්පශාස්ත්රයන්හි පරතෙරට ගියේය. කාමයෙහි ආදීනව දුටු මේ තරුණ බමුණා ගිහිගේ හැර තවුස් පැවිද්දෙන් පැවිදිව අරණ්‍යයෙහි වාසය කළේය. බුදුරදුන්ගේ පහළවීම ඇසූ තාපසතුමා මිනිස් වාසයට පැමිණ භික්ෂු සංඝයා පිරිවරා වඩින ශාස්තෲන් වහන්සේ දැක, පැහැදුණු සිතින් තමාගේ වැහැරි සිවුර වියූ උන්වහන්සේගේ පාමුල ඇතිරීය. ඔහුගේ අදහස දැනගත් ශාස්තෲන් වහන්සේ එහි වැඩ සිටියේය. එසේ සිටි භාග්‍යවතුන් වහන්සේට කාලෝචිත පරිදි සුවඳ දුම් පුදා “සමුද්ධංසි මා ලොකං” යනාදී අපදානපාළියෙහි එන ගාථා දහයෙන් ස්තුති කළේය. එවිට ශාස්තෲන් වහන්සේ “අනාගතයේ මෙයින් කල්ප ලක්ෂයකට පසුව ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සසුනේ පැවිදිවන මොහු ෂඩ් අභිඥාලාභී වන්නේය.” යනුවෙන් විවරණ දී වැඩියහ. ඒ පිංකමේ විපාක ලෙස දෙව්ලොව උපන් තාපසතුමා අපගේ බුදුරජාණන් වහන්සේ පහළවීම දක්වාම දෙව් මිනිස් දෙගතියේ සැරිසරා, අවුත් සැවැත්නුවර බමුණු පවුලක ඉපිද “අධිමුත්ත” නමින් ප්‍රකට විය. වැඩිවියට පැමිණ බ්‍රාහ්මණ විද්‍යාවන්හි පරතෙරට ගිය හෙතෙම, එහි හරයක් (සාරයක්) නොදැක, පශ්චිම භවික බැවින් පිහිටක්, සසරින් මිදීමක් සොයමින් යන්නේ, ජේතවනාරාමය පිළිගැනීමේදී පැවති උතුම් බුද්ධානුභාවය දැක ලබන ලද ශ්‍රද්ධාවෙන් ශාස්තෲන් වහන්සේ සමීපයේ පැවිදි විය. පැවිදි වූ අධිමුත්ත තෙරණුවෝ විදසුන් භාවනාවේ සිත පිහිටුවා නොබෝ කලෙකින් ම රහත් බවට පත්වූහ. එනිසා අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ පැවසූහ.
“පිපුණු කිණිහිරි රුකක් මෙන් බබලන, පහන් ගසක් මෙන් දිලිසෙන ඕසධී තාරකාව මෙන් ආලෝකවත් වූ අහසෙහි විදුලි එළියක් බඳු වූ බිය හා තැති ගැනීම් නොමැති කේශර සිංහරාජයෙකු වැනි වූ තීර්ථක සමූහයා මඬින්නාවූ ඤාණාලෝකය ප්‍රකට කරන, මෙම ලෝ වැසියන් දුකින් ගොඩලන සියලු සැක සිඳින ලද සිංහ රාජයකු මෙන් ගුගුරන ලෝකනායක වූ බුදුරදුන් දිටිමි.
එකල මම ජටා සහ අඳුන් දිවිසම් දරන්නෙක් වූයෙමි. වැඩෙන්නා වූ සෘජු වූ ප්රතාපවත් වූවෙක් වීමි. වැහැරී සිවුරු ගෙන ඒ බුදුරදුන්ගේ පාමුල ඇතුළෙමි.
කසාවන් අගිල් (කළුවැල්) ගෙන බුදුරදුන්ගේ ශ්‍රී ශරීරයේ ආලේප කළෙමි. තථාගතයන් එසේ ආලේප කර ලෝකනායකයන් වහන්සේට ස්තුති කළෙමි.
“සමුද්ධරසි මං ලොකං පටිගණ්හ මහාමුනී,
ඤාණා ලොකෙන ජොතෙසි පවරං ඤාණමුත්තමං”
ඤාණා ලොකෙන ජොතෙසි පවරං ඤාණමුත්තමං”
චතුරෝඝය තරණය කළ උතුමාණෙනි! මහාමුනීන්ද්රයාණෙනි! ඔබ මේ ලෝ වැස්සා සසරින් ගොඩලන්නාහුය. ඤාණාලෝකයෙන් ආලෝක කරන්නාහුය. ඔබගේ උතුම් ඤාණය ද අනාවෘතයි.
“ධම්ම චක්කං පවත්තෙසි, මද්දසෙ පරතිත්ථියෙ,
උසභො ජිතසඞ්ගාමො, සම්පකම්පෙසි මෙදිනිං”
උසභො ජිතසඞ්ගාමො, සම්පකම්පෙසි මෙදිනිං”
ඔබ වහන්සේ දම්සක් පැවැත්වූහ. අන්‍ය තීර්ථකයන් මැඩලන්නාහුය. දිනූ මාරසංග්රාම ඇති ශ්‍රේෂ්ඨ වූ ඔබ වහන්සේ පෘථිවිය කම්පා කරන්නාහුය.
“මහාසමුද්දෙ ඌමියො වෙලන්තං හි පභිජ්ජරෙ,
තථෙව තව ඤාණම්හි සබ්බා දිට්ඨි පභිජ්ජරෙ”
තථෙව තව ඤාණම්හි සබ්බා දිට්ඨි පභිජ්ජරෙ”
මහ සමුදුරෙහි තරංගයෝ වෙරළෙහි ගැටී බිඳෙති. එමෙන්ම අන්‍ය මිසදිටු අදහස් ඔබ වහන්සේගේ නුවණෙහි ගැටී බිඳීයයි.
“සුඛුමච්ඡිකෙ යථා ජාලෙ පාරම්හි සම්පසාරිතෙ,
අන්තොජාලගතා පාණා පීළිතා හොන්ති තාවදෙ”
අන්තොජාලගතා පාණා පීළිතා හොන්ති තාවදෙ”
විලක් සියුම් ඇස් ඇති දැලකින් අතුළ කල්හි එකෙණෙහි ම දැළ තුලට ගිය ප්‍රාණීහු පෙළුණාහු වෙත්ද
“තථෙව තිත්ථියා ලොකෙ පුථුපාසණ්ඩ නිස්සිතා,
අන්තො ඤාණවරෙ තුය්හං පරිවත්තන්ති මාරිස”
අන්තො ඤාණවරෙ තුය්හං පරිවත්තන්ති මාරිස”
එසේම ලෝකයෙහි අන්‍යාගමික පාෂණ්ඩ ධර්ම ඇසුරු කළ අන්‍ය තීර්ථකයෝ ඔබ වහන්සේගේ උතුම් නුවණ නම් දැළෙහි බැඳී පෙරළෙති.
“පතිට්ඨාවුය්හතං ඔඝෙ ත්වං හි නාථො අබන්ධුනං,
භයද්දිතානං සරණං මුත්තත්ථීනං පරායණං”
භයද්දිතානං සරණං මුත්තත්ථීනං පරායණං”
චතුරෝඝ නම් වූ සැඩ පහරෙහි ගසාගෙන යන්නවුන්ට පිහිටවූ ඔබ වහන්සේ නො නෑයන්ට ද පිහිට වූහ. භයින් පීඩිතයන්ට ද පිහිට වූහ. ලෝකයා අත්හැර දැමූ අනාථයන්ට ද පිහිට වූහ.
“එකවීරො අසදිසො මෙත්තා කරුණා සඤ්චයො,
අසමො සුසමො සන්තො වසී තාදී ජිතඤ්ජසො”
අසමො සුසමො සන්තො වසී තාදී ජිතඤ්ජසො”
අසහාය වීර වූ අසදෘශ වූ කරුණා මෛත්‍රී සඤ්චය (එකතුවීම්) ඇති උතුම් සිල් ඇති අසම වූ ශාන්ත වූ ධ්‍යානයන් හි වශී වූ තාදී ගුණ ඇති දින මාර්ග ඇති
“වීරො විගතසම්මොහො අනෙජො අකථංකථී,
තුසිතො වන්තදොසොසි නිම්මලො පයතො සුචී”
තුසිතො වන්තදොසොසි නිම්මලො පයතො සුචී”
වීර වූ පහකළ මෝහ ඇති, නිදොස් වූ සැක සංකා දුරුකළ, වැස නිමවූ බඹසර ඇති, නිර්මල වූ අශූචීන් දොවා හළ, එහෙයින්ම පිරිසිදු වූ ඔබවහන්සේ වැමෑරූ රාගාදී දොස් ඇති සේක.
“සඞ්ගාතිගො ගතමදො තෙවිජ්ජොසි භවන්තගො,
සීමාතිගො ධම්මගරු කතත්තො හිතවප්පථො.”
සීමාතිගො ධම්මගරු කතත්තො හිතවප්පථො.”
කෙලෙස් ඇලීම් ඉක්ම වූ නැසූ මද ඇති ත්‍රිවිද්‍යා ඇති තුන් ලෝ මුදුන් පත් වූ සීමාව ඉක්මවා ගිය ධර්ම ගරුක වූ කෘත්‍ය වූ ඔබ වහන්සේ වෙත, ලෝකයාට හිත වූ මාර්ග ඇති සේක.
“තාරකො ත්වං යථා නාවා නිධීව ස්සාසකාරකො,
අසම්හීතො යථා සීහො නාගරාජාව දම්මිතො.”
අසම්හීතො යථා සීහො නාගරාජාව දම්මිතො.”
ඔබ වහන්සේ නැවකට මගපෙන්වන තරුවක් වැනිය. අස්වැසීම ගෙන දෙන නිධානයක් බඳුය. සිංහයකු මෙන් බිය රහිත වූවෙහිය. හස්ති රාජයකු මෙන් ගර්විත වූවෙහිය.