වනවච්ඡ ස්ථවිරගාථා වර්ණනාව
“අච්ඡොදිකා පුථුසිලා” යනු ආයුෂ්මත් වනවච්ඡ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ අර්හත්වය පිණිස ප්‍රාර්ථනා කරන ලදුව, ඒ ඒ භවයන්හිදී සසරින් මිදීම සඳහා කුසල් බීජ රෝපණය කරමින් පැමිණ, විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ සමයේ දී එක් සිටුගෙයක ඉපිද, වැඩිවියට පැමිණ අනුන්ගේ කටයුතු කරදෙමින් ජීවත් වූහ. දිනක් කිසියම් අපරාධයක් කොට මරණභයින් තැතිගෙන දුවයන ඔහු අතර මග දී බෝධි වෘක්ෂයක් දැක පැහැදුණු සිතින් එහි මුල පිරිසිදු කර මනාව පිපුණු අශෝක මල් පොකුරු පූජාවක් පවත්වා වැඳ, ඒ බෝරුක ඉදිරියේ නමස්කාර ගෙන ම පලක් බැඳගෙන හුන්නේ ය. තමා මැරීමට පැමිණි සතුරන් දැක, ඔවුන් කෙරෙහි මෙත් සිත් පතුරුවා බෝ රුක පිළිබඳ ව සිතමින් හුන් ඒ සිටුපුත්‍රයා පසුව සතපෝරිස ප්‍රපාතයෙහි වැටී මළේය. ඒ පින්කම නිසා දෙව් ලොව උපන් හෙතෙම තව තවත් පින්දහම් සිදුකොට දෙව් මිනිසුන් අතර සැරි සරා මේ බුද්ධෝත්පාද කාලයේ දී රජගහ නුවර මහත් සම්පත් ඇති බමුණු පුතෙක් ව උපන්නේ ය. ඔහුගේ නම වච්ඡ විය. තරුණ වියට පත් වූ වච්ඡ බමුණා බිම්බිසාර රජු බුදුරදුන් හමු වූ ප්‍රථම අවස්ථාවෙහි සසුනේ පැහැදී පැවිදිව රහත්භාවය ලබාගත්තේය. අපදාන පාළියේ මෙසේ සිය චරිතාපදානය දක්වන ලදි.
“අනුනට බැලමෙහෙ කිරීමෙහි යෙදුනා වූ මම අපරාධයක් කෙළෙමි. එනිසා භයජනක අරමුණුවලින් තැති ගත් මම වනයට පලාගියෙමි.
පොකුරු බැඳි මනාව සුපිපි අශෝක මල් ගසක් දැක, ඉන් තඹවන් මල් රැගෙන බෝධිය සමීපයට ඉසීමි.
ඒ උතුම් පළොල් බෝ මුල හැම ද, ඒ බෝ මුලෙහි පලඟ බැඳ හුන්නෙමි.
අපරාධය කර පලාගිය මා සොයමින් පැමිණි අය මා ළඟට පැමිණියහ. ඔවුන් දුටු මම උතුම් වූ බෝධියම සිහිපත් කළෙමි.
පහන් සිතින් බෝධිය වැඳ ඉදිරියට ගිය මම, බොහෝ තල් රුක් ගණනින් ගිණිය යුතු (අතිශය ගැඹුරු වූ) භයානක ගිරි දුර්ගයක වැටුණෙමි.
මෙයින් කල්ප අනූ එකකට පෙර යම් මල් පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. බෝධිපූජාවේ විපාක මෙබඳුය.
මීට කල්ප තුනකට පෙර දී මම මහත් බලැති සත්රුවනින් හෙබි සන්තුසිත නම් සක්විති රජව උපන්නෙමි.
දැන් මම සියළු කෙලෙස් දැවුයෙමි. බුදුරදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් වූ උන්වහන්සේ විවේකයෙහි ඇලී වනයෙහි ම වාසය කළහ. එනිසා වනවච්ඡ නාමයෙන් උන්වහන්සේ ප්‍රකටවූහ. ඉක්බිති කිසියම් කලෙක එම තෙරණුවෝ නෑ සමූහයාට අනුග්‍රහ පිණිස රජගහ නුවරට වැඩමවා එහි දී නෑයන්ගේ පුදසත්කාර ලබමින් සිට, නැවත පැමිණීමට සූදානම් වූහ. එය දුටු ඤාතීහු “ස්වාමීනි අපට අනුග්‍රහ පිණිස ජීවිත කාලයම මෙහි වසනු මැනවි, අපි උපස්ථාන කරන්නෙමු”යි ආරාධනා කළහ. තෙරණුවෝ ඔවුන්ට තමන්වහන්සේ පර්වත, ආරණ්‍ය සෙනසුන් ප්‍රිය කරන බවත් විවේකයෙහි කැමති බවත් දැනුම් දෙන සේක්, මේ ගාථාව වදාළහ.
“අච්ඡොදිකා පුථුසිලා ගොනඞ්ගූල මිගා යුතා,
අම්බු සෙවාල සඤ්ඡන්නා තෙ සෙලා රමයන්ති මං”
අම්බු සෙවාල සඤ්ඡන්නා තෙ සෙලා රමයන්ති මං”
එහි “අච්ඡොදිකා” යනු පිරිසිදු, බහුල නොවූ, සියුම් වූ දියදහර ඇති බව අච්ඡොදිකා යනු වේ. මෙහි “අච්ඡොදිකා” යි කිවයුතු වුවත් ලිංග විපර්යාසවීමෙන් “අච්ඡොදිකා” යනුවෙන් දක්වන ලදි. මෙයින් ඒ කඳුවල පැවති ජලසම්පත දක්වයි. “පුථුසිලා” යනු පෘථුල, පැතිරුණු මෘදු සුව පහස් ඇති ගල්තලාවන් ඇති, මෙයින් හිඳීමට නිදීමට සෙනසුන් සම්පත්තිය ඇති බව දක්වයි. ගුන්නයක් (වැලක්) මෙන් වූ වලිගයක්, නගුටක් ඇති බැවින් ගෝනංගුල නම් වූ කළු වඳුරෝ, ස්වාභාවික වඳුරෝ යැයි ද මතයකි. “වඳුරන්ගෙන් ද සිවුපා සතුන්ගෙන් ද ඒ ඒ තැන හැසිරෙන්නවුන්ගෙන් ද වනය යුක්තය. මිශ්‍රිතය” යනුවෙන් “ගොනඞ්ගූලමිගා යුතා” පදයෙන් පවසයි. මේ වදනින් අමනුෂ්‍යයන් හැසිරෙන බව ආරණ්‍යයේ ලක්ෂණයක් ලෙසින් දක්වයි. “අම්බු සෙවාල සඤ්ඡන්නා” ගලා බැසීම නිසා නිතර දිය වැගිරෙන ඒ ඒ තැනින් හටගත් දිය සෙවෙල් වලින් ගැවසුණු, වැසුණු, “තෙ සෙලා රමයන්ති මං” මම යම් තැනක වසම් ද එහි ඇති මෙබඳු ගල් පර්වත විවේකයේ ඇලුණු මගේ සිත අලවයි. එනිසා “එහි වාසය කිරීමට යමි” යන අදහසයි. මෙම ගාථාව ම වනවච්ඡ තෙරුන්ගේ රහත් බව ප්‍රකාශ කරන ගාථාව විය.
වනවච්ඡ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
අධිමුත්ත ස්ථවිරගාථා වර්ණනාව
“කාය දුට්ඨුල්ලගරුනො” යනු ආයුෂ්මත් අධිමුත්ත තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? හෙතෙම පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි බමුණු පවුලක ඉපිද වැඩිවිය පැමිණෙත්ව සියලු බමුණු ශිල්පශාස්ත්රයන්හි පරතෙරට ගියේය. කාමයෙහි ආදීනව දුටු මේ තරුණ බමුණා ගිහිගේ හැර තවුස් පැවිද්දෙන් පැවිදිව අරණ්‍යයෙහි වාසය කළේය. බුදුරදුන්ගේ පහළවීම ඇසූ තාපසතුමා මිනිස් වාසයට පැමිණ භික්ෂු සංඝයා පිරිවරා වඩින ශාස්තෲන් වහන්සේ දැක, පැහැදුණු සිතින් තමාගේ වැහැරි සිවුර වියූ උන්වහන්සේගේ පාමුල ඇතිරීය. ඔහුගේ අදහස දැනගත් ශාස්තෲන් වහන්සේ එහි වැඩ සිටියේය. එසේ සිටි භාග්‍යවතුන් වහන්සේට කාලෝචිත පරිදි සුවඳ දුම් පුදා “සමුද්ධංසි මා ලොකං” යනාදී අපදානපාළියෙහි එන ගාථා දහයෙන් ස්තුති කළේය. එවිට ශාස්තෲන් වහන්සේ “අනාගතයේ මෙයින් කල්ප ලක්ෂයකට පසුව ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සසුනේ පැවිදිවන මොහු ෂඩ් අභිඥාලාභී වන්නේය.” යනුවෙන් විවරණ දී වැඩියහ. ඒ පිංකමේ විපාක ලෙස දෙව්ලොව උපන් තාපසතුමා අපගේ බුදුරජාණන් වහන්සේ පහළවීම දක්වාම දෙව් මිනිස් දෙගතියේ සැරිසරා, අවුත් සැවැත්නුවර බමුණු පවුලක ඉපිද “අධිමුත්ත” නමින් ප්‍රකට විය. වැඩිවියට පැමිණ බ්‍රාහ්මණ විද්‍යාවන්හි පරතෙරට ගිය හෙතෙම, එහි හරයක් (සාරයක්) නොදැක, පශ්චිම භවික බැවින් පිහිටක්, සසරින් මිදීමක් සොයමින් යන්නේ, ජේතවනාරාමය පිළිගැනීමේදී පැවති උතුම් බුද්ධානුභාවය දැක ලබන ලද ශ්‍රද්ධාවෙන් ශාස්තෲන් වහන්සේ සමීපයේ පැවිදි විය. පැවිදි වූ අධිමුත්ත තෙරණුවෝ විදසුන් භාවනාවේ සිත පිහිටුවා නොබෝ කලෙකින් ම රහත් බවට පත්වූහ. එනිසා අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ පැවසූහ.