වච්ඡගොත්ත ස්ථවිරගාථා වර්ණනාව
“තෙවිජ්ජොහං මහාඣායි” යන ගාථාව ආයුෂ්මත් වච්ඡගොත්ත තෙරුන් විසින් වදාරන ලදි. එහි උපත කෙසේද? පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ ද ඒ ඒ භාවයන්හි දී නිවන් පතාගෙන කසල බීජ රෝපණය කරනුයේ විපස්සි බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයේ බන්ධුමතී නුවර සිටුගෙයක උපන්හ. වියටපත් වූ එම සිටුතුමා, දිනක් රජු ද නගර වැසියන් සමග ද එක් වී බුද්ධ පූජාවක් කර, ඉන් පසුව දෙව් මිනිසුන් අතර සැරි සරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහනුවර සම්පත් ඇති බමුණු පුතෙක්ව උපන්නේ ය. ඔහුගේ පියා වච්ඡ ගෝත්‍රික බැවින් පුතුට ද “වච්ඡගොත්ත” යන නාමය ම තබන ලදි. නිසි වයසට පැමිණි ඒ බමුණු කුමරු ත්‍රිවේද පාරගතව විමුක්තිය සොයනුයේ, වේදයෙහි හරයක් නොදැක පිරිවැජි පැවිද්දෙන් පැවිදි ව සැරිසරනුයේ ශාස්තෲන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලැබීය. එසේ පැවිදිව විදසුන් කමටහන වඩමින් නොබෝ දිනකින් ම ෂඩ් අභිඥාලාභී වූ රහතන් වහන්සේ නමක් වූ වච්ඡගොත්ත තෙරණුවෝ තම චරිතාපදානය අපදානපාළියෙහි දී මෙසේ දැක්වූහ.
“උදාවන්නා වූ සූර්යයා මෙන් ද රන්වන් රැස් ඇති හිරු මෙන් ද පසළොස්වක් දින පායන සඳුමෙන් ද තම අරමින් නික්මෙන ලෝකනායකයන් වහන්සේ දුටුවෙමි.
හැට අට දහසක් වූ සියලු ක්ෂීණාශ්රවයෝ ඒ ද්විපදෝත්තම නරශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ පිරිවරා ගත්හ.
මම බුදුරදුන් නික්මෙන කල්හි ඒ වීථිය නැමද පහන් සිතින් එහි ධජයක් එසවීමි.
මෙයින් කල්ප අනූඑකකට පෙර එසේ ධජයක් පිදුවෙම් ද ඒ හේතුවෙන් මේ දක්වා දුගතියකට පත්නොවූයෙමි. ධජ දානයේ විපාකය මෙබඳුය.
මෙයින් කල්ප හතරකට පෙර මහත් ධන ඇති සර්වප්රකාරයෙන් ම සම්පූර්ණ වූ සුධජ නමින් ප්‍රකට වූ රජෙක් ව උපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
ෂඩ් අභිඥාලාභී වූ වච්ඡගොත්ත තෙරණුවෝ තම පිළිවෙත ප්රත්යවේක්ෂා (නැවත සිහිපත් කර බලා) කට හටගත් ප්‍රීතියෙන් මෙම ගාථාව වදාළහ.
“තෙවිජ්ජොහං මහාඣායී, චෙතො සමථකොවිදො,
සදත්ථො මෙ අනුප්පත්තො, කතං බුද්ධස්ස සාසනං”
සදත්ථො මෙ අනුප්පත්තො, කතං බුද්ධස්ස සාසනං”
එහි “තෙවිජ්ජොහං” යනු පෙර මම ත්‍රිවේද පාර ගත වූ බැවින් තේවිජ්ජ බ්‍රාහ්මණ නාමයෙන් හැඳින්විණි. එය හැඳන්වීමක් පමණි, වේදයෙහි විද්‍යාමය කටයුතු නැති බැවින් දැන් මේ බුදු සසුනේ පැවිදි වූ මම පුර්වේනිවාසානුස්සති යනාදී ත්‍රිවිද්‍යාව අවබෝධ කළ බැවින් පරමාර්ථ වශයෙන් ම “තේවිජ්ජ” නම් වේ. ඉතිරි නොවන සේ මහත් වූ තණ්හාදී කෙලෙස් සමූහයා දවා වැනසීම් වශයෙන් ද මහත් වූ මාර්ගඵල ධ්‍යානයෙන් ද මහත් වූ උදාර වූ ප්‍රණීත වූ නිවන වැඩීම් වශයෙන් ද “මහාඣායී” මහත් ධ්‍යාන ඇත්තෙමි. “චෙතො සමථ කොවිදො” යනු සිත කළඹන්නා වූ කෙලෙස් දහම් සංසිඳවීමෙන් සිත දමනය කර ගැනීමෙහි දක්ෂවූයෙමි. මෙයින් විද්‍යා බවට හේතුව දක්වන ලදි. සමාධියට සමවැදීමේ දක්ෂ බව සහිත වූ ආශ්රවක්ෂය කිරීමෙන් තේවිජ්ජ නම් වූයෙමි. හුදකලාව ආශ්‍රව ක්ෂය කළෙම් නොවෙමි. “සදත්ථො” යනු ස්වකීය අර්ථය සිද්ධකරගත් “සකත්ථ” නම් වේ. එහි ‘ක’ යන්නට ‘ද’ යන්න පැමිණීමෙන් “අනුප්පත්තසදත්ථො” යන තැන මෙන් “සදත්ථ” පද සිද්ධිය විය. “සදත්ථො” යන්නෙන් ස්ව අර්ථ සිද්ධිය වූ අර්හත්වය අදහස් වේ. එහි දී තමා හා ප්‍රතිබද්ධ වූ අරුතින් ද තමා අත්නොහැර යන අරුතින් ද තමාගේ පරමාර්ථ වශයෙන් ද තම යහපත-අර්ථය සිදුකරනුයේ “සකත්ථ” නම් වේ. ඒ මේ ස්වකීය අර්ථය, අර්හත්වය මවිසින් අවබෝධ කළෙමි. ඊට පැමිණියෙමි, මෙයින් මහත් වූ ධ්‍යාන ඇති බව ආදී හැකියාවන් කුළුගන්වා දක්වයි. සෙසු පදයන්ගේ අර්ථ ඉතා ප්රකටය.
වච්ඡගොත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
වනවච්ඡ ස්ථවිරගාථා වර්ණනාව
“අච්ඡොදිකා පුථුසිලා” යනු ආයුෂ්මත් වනවච්ඡ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ අර්හත්වය පිණිස ප්‍රාර්ථනා කරන ලදුව, ඒ ඒ භවයන්හිදී සසරින් මිදීම සඳහා කුසල් බීජ රෝපණය කරමින් පැමිණ, විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ සමයේ දී එක් සිටුගෙයක ඉපිද, වැඩිවියට පැමිණ අනුන්ගේ කටයුතු කරදෙමින් ජීවත් වූහ. දිනක් කිසියම් අපරාධයක් කොට මරණභයින් තැතිගෙන දුවයන ඔහු අතර මග දී බෝධි වෘක්ෂයක් දැක පැහැදුණු සිතින් එහි මුල පිරිසිදු කර මනාව පිපුණු අශෝක මල් පොකුරු පූජාවක් පවත්වා වැඳ, ඒ බෝරුක ඉදිරියේ නමස්කාර ගෙන ම පලක් බැඳගෙන හුන්නේ ය. තමා මැරීමට පැමිණි සතුරන් දැක, ඔවුන් කෙරෙහි මෙත් සිත් පතුරුවා බෝ රුක පිළිබඳ ව සිතමින් හුන් ඒ සිටුපුත්‍රයා පසුව සතපෝරිස ප්‍රපාතයෙහි වැටී මළේය. ඒ පින්කම නිසා දෙව් ලොව උපන් හෙතෙම තව තවත් පින්දහම් සිදුකොට දෙව් මිනිසුන් අතර සැරි සරා මේ බුද්ධෝත්පාද කාලයේ දී රජගහ නුවර මහත් සම්පත් ඇති බමුණු පුතෙක් ව උපන්නේ ය. ඔහුගේ නම වච්ඡ විය. තරුණ වියට පත් වූ වච්ඡ බමුණා බිම්බිසාර රජු බුදුරදුන් හමු වූ ප්‍රථම අවස්ථාවෙහි සසුනේ පැහැදී පැවිදිව රහත්භාවය ලබාගත්තේය. අපදාන පාළියේ මෙසේ සිය චරිතාපදානය දක්වන ලදි.
“අනුනට බැලමෙහෙ කිරීමෙහි යෙදුනා වූ මම අපරාධයක් කෙළෙමි. එනිසා භයජනක අරමුණුවලින් තැති ගත් මම වනයට පලාගියෙමි.
පොකුරු බැඳි මනාව සුපිපි අශෝක මල් ගසක් දැක, ඉන් තඹවන් මල් රැගෙන බෝධිය සමීපයට ඉසීමි.
ඒ උතුම් පළොල් බෝ මුල හැම ද, ඒ බෝ මුලෙහි පලඟ බැඳ හුන්නෙමි.
අපරාධය කර පලාගිය මා සොයමින් පැමිණි අය මා ළඟට පැමිණියහ. ඔවුන් දුටු මම උතුම් වූ බෝධියම සිහිපත් කළෙමි.
පහන් සිතින් බෝධිය වැඳ ඉදිරියට ගිය මම, බොහෝ තල් රුක් ගණනින් ගිණිය යුතු (අතිශය ගැඹුරු වූ) භයානක ගිරි දුර්ගයක වැටුණෙමි.
මෙයින් කල්ප අනූ එකකට පෙර යම් මල් පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. බෝධිපූජාවේ විපාක මෙබඳුය.
මීට කල්ප තුනකට පෙර දී මම මහත් බලැති සත්රුවනින් හෙබි සන්තුසිත නම් සක්විති රජව උපන්නෙමි.
දැන් මම සියළු කෙලෙස් දැවුයෙමි. බුදුරදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් වූ උන්වහන්සේ විවේකයෙහි ඇලී වනයෙහි ම වාසය කළහ. එනිසා වනවච්ඡ නාමයෙන් උන්වහන්සේ ප්‍රකටවූහ. ඉක්බිති කිසියම් කලෙක එම තෙරණුවෝ නෑ සමූහයාට අනුග්‍රහ පිණිස රජගහ නුවරට වැඩමවා එහි දී නෑයන්ගේ පුදසත්කාර ලබමින් සිට, නැවත පැමිණීමට සූදානම් වූහ. එය දුටු ඤාතීහු “ස්වාමීනි අපට අනුග්‍රහ පිණිස ජීවිත කාලයම මෙහි වසනු මැනවි, අපි උපස්ථාන කරන්නෙමු”යි ආරාධනා කළහ. තෙරණුවෝ ඔවුන්ට තමන්වහන්සේ පර්වත, ආරණ්‍ය සෙනසුන් ප්‍රිය කරන බවත් විවේකයෙහි කැමති බවත් දැනුම් දෙන සේක්, මේ ගාථාව වදාළහ.