ධම්මසව ස්ථවිරගාථා වර්ණනාව
“පබ්බජිං තුලයිත්වාන” යනු ආයුෂ්මත් ධම්මසව තෙරුන් වහන්සේගේ ගාථාවකි. එහි උපත කෙසේද? උන්වහන්සේ පෙර පදුමුත්තර භාග්යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි සුවච්ඡ නම් බමුණෙක් ව ත්රිවිධ වේදයන්හි පරතෙරට ගොස් ගිහි වාසයේ දොස් දැක තවුස් පැවිද්දෙන් පැවිදිව, පර්වතයක් අතර වූ අරණ්යයක අසපුවක් කරවාගෙන, බොහෝ තාපස පිරිස් සමඟ විසූහ. ඉක්බිති ඔහු තුල කුසල බීජයක් රෝපණය කරනු කැමති පදුමුත්තර භාග්යවතුන් වහන්සේ අසපුව සමීපයෙහි අහසෙහි සිට සෘද්ධිමය ප්රාතිහාර්යයක් දැක්වූ සේක. එය දුටු තවුසා සතුටට පත්ව පැහැදුණු සිතින් පූජා කිරීමට නාමල් ගෙන්වා ගත්තේය. ශාස්තෲන් වහන්සේ “මොහුට කුසල් බීජය සඳහා මෙපමණක්ම සෑහේ” යනුවෙන් සිතා නැවත වැඩම කළ සේක. තවුසා නාමල් ගෙන උන්වහන්සේ වැඩමවන මාර්ගයේ විසුරුවා සිත පහදවාගෙන ඇඳිලි බැඳගෙන සිටියේය. ඒ පිංකමේ විපාක වශයෙන් දෙව්ලොව උපන් ඔහු ඒ ඒ භවයන්හි දී කාම සුගති ආත්මභාව ලබමින් සසර සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයෙහි මගධ රට බමුණු පවුලක ඉපිද “ධම්මසව” නමින් ප්රකට විය. වියට පත් ඔහු පූර්ව හේතු බලයෙන් මෙහෙයවනුයේ ගිහිගේ ආදීනව දැක පැවිද්දෙහි ආනිසංස ද දැක, දක්ෂිණාගිරියෙහි වාසය කරන භාග්යවතුන් වහන්සේ වෙත පැමිණ දහම් අසා ලැබූ ශ්රද්ධාවෙන් පැවිදි වී විදසුන් කමටහන් ගෙන, එය වඩා නොබෝ දිනකින්ම රහත්ඵලයට පත්වූවේය. ධම්මසව තෙරණුවෝ සිය චරිතාපදානය අපදාන පාළියේ මෙසේ දැක්වූහ.
“මන්ත්ර පාරගත වූ සුවච්ඡ නම් බමුණෙක්ව සිය ශිෂ්ය සමූහයා සමග පර්වතාන්තරයෙහි මම වාසය කළෙමි.
ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර නම් ඒ බුදුරජාණන් වහන්සේ මා සසරින් ගොඩගනු කැමතිව එතැනට වැඩම කළහ.
උන්වහන්සේ අහසෙහි සක්මන් කළහ. දුම් දැමූහ. එසේම ඇවිලගත්හ. එසේ පෙළහර දක්වා මා සතුටු වූ බව දැන ප්රාචීන දිශාභිමුඛව වැඩම කළහ.
විශ්මය ජනක වූ ලොමු ඩැහැගන්නා වූ ඒ අසිරිමත් සිදුවීම දුටු මම නාමල් ගෙන උන්වහන්සේ වැඩම කළ මගෙහි ඇතිරූවෙමි.
මෙයින් කල්ප ලක්ෂයකට පෙර මල් විසිරිවීමේ යම් බුද්ධ පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියකට නොගියෙමි.
මෙයින් කල්ප තිස් එකකට පෙර මහබල ඇති මහාරථ නම් සත්රුවනින් හෙබි සක්විති රජව සැප වින්දෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.
රහත් ඵලයට පත් වූ උන්වහන්සේ, තමන් වහන්සේගේ ප්රතිපත්තිය ප්රත්යවේක්ෂාකර, සතුටට පත්ව උදම් ඇණීම් වශයෙන් මෙම ගාථාව වදාළහ.
“පබ්බජිං තුලයිත්වාන අගාරස්මා අනගාරියං,
තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං”
තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං”
එම ගාථාවෙහි “පබ්බජිං තුලයිත්වාන”, “ගිහි වාසය සම්බාධ - කරදර සහිතය. කෙලෙස්වලට මාවතකි.” ආදී වශයෙන් සඳහන් වන ගිහි වාසයේ ඇති “කාමයේ අල්ප වූ ආස්වාද ඇත. බොහෝ දුක් ගෙන දේ. බොහෝ වෙහෙස ගෙනදේ” ආදී වශයෙන් කාමයෙහි ආදීනව දැක, ගිහි කාමුක බව ප්රතික්ෂේපකර නික්මීමෙහි ආනිසංස සලකාබලා නුවණින් මෙනෙහි කර, විමසා බලා පැවිදිවූයෙමි. සෙසු පදයන්ගේ අර්ථ ඉහතින් පැවසූ පරිදිම දතයුතුයි. මෙය ම තෙරුන් වහන්සේ ගේ රහත් බව ප්රකාශ කිරීම ලෙස දත යුතුයි.
ධම්මසව ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
ධම්මසවපිතු ස්ථවිරගාථා වර්ණනාව
“සවිසං වස්ස සතිකො” යනු ආයුෂ්මත් ධම්මසව පිතු තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? පෙර බුදුවරු හමුවෙහි කළ ප්රාර්ථනා ඇති උන්වහන්සේ පෙර බුදුවරු ශූන්ය වූ කාලයක සිටුවරයෙක් ව ඉපදුනහ. හේ තුරුණුවියට පැමිණ භුතගණ නම් පර්වතයේ වැඩවසන පසේ බුදුවරයකු දැක, පැහැදී උන්වහන්සේ ට බෝලිද්ද මල් පූජා කළේය. ඒ පිනෙහි විපාක වශයෙන් දෙව්ලොව උපන් ඔහු තව තවත් පින් දහම් කර, කාම සුගතීන්හිම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි මගධයේ බමුණු පවුලක උපන්නේ ය. වියපත් ව විවාහ වූ ඔහු, ධම්මසව නම් තම පුතු තරුණ වියේදී පැවිදි වූ කල්හි, “මගේ පුතා තරුණයෙකුව සිටියදීම පැවිදි විය. මම පැවිදි නොවන්නේ කුමක් නිසාද?” යි එකසිය විසිවයස් වූ තමාගෙන් අසා හටගත් සංවේගයෙන් ශාස්තෲන් වහන්සේ වෙත ගොස් ධර්මය අසා පැවිදි විය. කමටහන් ගෙන විදසුන් භාවනාව වැඩූ ධම්මසව පිතු තෙරණුවෝ නොබෝ දිනකින් ම රහත් වූහ. අපදාන පාළියේ උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.
“හිමවතට නුදුරෙහි භූතගණ නම් පර්වතයක් විය. සියලු දෙය තමන්වහන්සේම දැනගත් ලොව හා නොගැටුණු සිඛීනම් එක් පසේ බුදුවරයෙක් වැඩ විසූහ.
බෝලිද්ද මල් ගෙන ඒ බුදුරදුන්ට පිදූ මම එහි විපාක වශයෙන් කල්ප එකුන් සිය දහසක් මුලුල්ලෙහි දුගතියකට නොගියෙමි.
මීට කල්ප එකොලොසකට පෙර “ධරණීපති” නම් මහත් බලැති සක්විති රජව, සත්රුවනින් පිරි රජය කරවූයෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් වූ උන්වහන්සේ තම පිළිවෙත සිහිපත්කර බලා, හටගත් සොම්නසින් ප්රීති වාක්ය පහළ කරනසේක්; මෙම ගාථාව වදාළහ.
“සවීසං වස්සසතිකො පබ්බජිං අනගාරියං,
තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං”
තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං”
එහි “සවීසං වස්සසතිකො” යනු උන්වහන්සේ එක්සිය විසි වයස් වූවෙකි. ඒ මම උපතින් එක්සිය විසි වසරකට වඩා වයස් ඇත්තෙක්ව, “පබ්බජිං” පැවිදිවූයෙමි. ශ්රමණභාවයට පැමිණියෙමි. සෙසු පදයන්ගේ අර්ථ ඉතා ප්රකටය. මෙම ගාථාව ම ධම්මසවපිතු තෙරණුවන්ගේ රහත්බව ප්රකාශ කරන ගාථාව විය.
ධම්මසවපිතු ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
සඞ්ඝරක්ඛිත ස්ථවිරගාථා වර්ණනාව
“නනූනායං පරමහිතානුකම්පිනො” යනු ආයුෂ්මත් සංඝරක්ඛිත තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? පූර්ව බුදුවරු හමුවෙහි තැබු ප්රාර්ථනා ඇති උන්වහන්සේ ද පෙර ඒ ඒ ජාතිවල දී පින් රැස්කර ගනිමින්, මෙයින් කල්ප අනූහතරකට පෙර දී සිටුගෙයක ඉපිද වැඩිවියට පත්වූහ. එක් දිනක් ඒ සිටුකුමරු පර්වත පාදයක වසන පසේ බුදුවරු සත් නමක් කෙරෙහි පැහැදුණු සිතින් බක්මී මලින් පූජා කළේය. ඒ පිංකමේ විපාක වශයෙන් දෙව්ලොව උපන් හෙතෙම තව තවත් පින් දහම් සිදුකර සුගතීන් හිම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර සමෘද්ධිමත් කුලයක උපන්නේ ය. ඔහුට “සංඝරක්ඛිත” යන නාමය තබන ලදි. තුරුණු වියට පත් වූ ඒ කුමරු, ශ්රද්ධාව උපදවා ගෙන සසුනේ පැවිදි ව කමටහන් රැගෙන, එක් භික්ඛුවක් සහාය කරගෙන අරණ්යයෙහි වාසය කරයි. එම තෙරුන් වසන තැනට නුදුරෙහි එක් වන ලැහැබක මුවැත්තියක් පැටවකු වදා, බඩසයින් පෙලුණත් පැටවා අත් නොහැර දරු සෙනෙහස නිසා සමීපයෙහි ඇති ගොදුරුම ගත්තීය. ඇය සමීපයෙහි තණ හා දිය නිමවූ පසු ඇය ආහාර නොලැබ ක්ලාන්ත වූවාය. මෙය දුටු තෙරුන් වහන්සේ, “අනේ ඒකාන්තයෙන්ම මේ ලෝ වැසියා තණ්හාවෙන් බැඳීම නිසා මහත් වූ දුක් විඳිති. ඒ තණ්හාව සිඳ දැමීමට අසමත් වෙති”යි සංවේගයෙන් සිහිකර, ඒ කරුණම අංකුසයක් කරගනිමින් විදසුන් භාවනාව වඩා රහත්වූහ.