එකොළොස් වැනි වග
බෙලට්ඨානික ස්ථවිරගාථා වර්ණනාව
“හිත්‍වා ගිහී ත්‍වං අනවොසිතත්තො” යනු ආයුෂ්මත් බෙලට්ඨානික තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි නිදානය කෙසේද? මෙම තෙරණුවෝ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව, මෙයින් කල්ප තිස් එකකට පෙර වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු පවුලක ඉපිද බමුණ ශිල්ප ශාස්ත්‍රයන්හි නිෂ්පත්තියට පැමිණියහ. ඔහු ගිහිගේ හැර සෘෂි පැවිද්දෙන් පැවිදිව සෘෂිවරුන් පිරිවරාගෙන හැසිරෙනුයේ එක් දිනක් වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ දැක ප්‍රීති සොම්නසට පැමිණ, ශාස්තෲන් වහන්සේගේ ඤාණ සම්පත්තිය හේතුවෙන් සිත පහදවා එම උතුම් ඤාණය උදෙසා මලින් පූජාවක් කළේය. ඒ පින්කම හේතුවෙන් දෙව්මිනිසුන් අතර සැරිසරමින් සැප විඳ ඔහු, අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සැවැත්නුවර බමුණු පවුලක ඉපිද බෙලට්ඨානික නමින් ප්‍රකට ව, වැඩිවියට පත් ව ශාස්තෲන් වහන්සේගේ ධර්‍ම දේශනාව අසා ලැබූ ශ්‍රද්ධාවෙන් පැවිදි ව, කමටහන් ගෙන කොසොල් රටෙහි අරණ්‍යයක වාසය කළේය. උන්වහන්සේ පසුව අලසව කය වැඩීමෙහි ම නියැලී පරුෂවදන් කියන්නෙකු වූහ. මහණදම් වැඩීමෙහි සිතක් නො ඉපදවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, උන්වහන්සේගේ ඤාණයේ මුහුකුරා යෑම බලා මෙම අවවාද ගාථාවෙන් උන්වහන්සේ සංවේගයට පත්කළ සේක.
“හිත්‍වා ගිහී ත්‍වං අනුවොසිතත්තො, මුඛනංගලී ඔදරිකො කුසීතො,
මහා වරාහොව නිවාප පුට්ඨො, පුනප්පුනං ගබ්භමුපෙති මන්‍දො”තී.
උන්වහන්සේ තමන් ඉදිරියේ සිටි බුදුරදුන් මෙසේ අවවාද දෙන්නාක් මෙන් වැටහී මෙම ගාථාව අසා දැඩිසේ සංවේගයට පත්වූහ. එම අවස්ථාවෙහි ඤාණය මුහුකුරා ගිය බැවින් විදසුන් වඩා නොබෝ කලකින් ම රහත්බවට පත් වූ බෙලට්ඨානික තෙරණුවෝ මෙසේ සිය චරිතාපදානය දැක්වූහ.
“සුපිපි කිණිහිරි රුකක් මෙන් බබළන කඳු අතරෙහි හුන්නා වූ ඔසධී තාරකාවක් මෙන් සියලු දිශා ආලෝකවත් කරන්නාවූ බුදුරදුන් දුටුවෙමි.
තම බමුණු දහමෙහි මැනවින් හික්මුණු මානවකයෝ තිදෙනෙක් පිරිකර බර ගෙන මා පසුපසින් නිතර පැමිණෙති.
තවුසකු විසින් ගොටුවක තබා මට පිළිගැන්වූ මල් සතක් ගත් මම ඉන් වෙස්සභූ බුදුරදුන්ගේ සර්වඥ ඥානයට පිදුවෙමි.
මෙයින් කල්ප තිස් එකකට පෙර යම් පුෂ්ප පූජාවක් කළෙම් ද ඒ හේතුවෙන් දුගතියක නූපන්නෙමි. ඤාණ පූජාවේ විපාකය මෙබඳුය.
මීට කල්ප විසි නවයකට පෙර සත්රුවනින් යුතු මහත් බල ඇති විපුලාභාස නම් සක්විති රජව උපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත්බවට පත්ව ශාස්තෲන් වහන්සේගේ අවවාදයට ප්‍රතිපූජා කරමින්, උන්වහන්සේට ස්තුති කිරීම් වශයෙන් ද තම රහත් බව ප්‍රකට කිරීම් වශයෙන් ද මෙම ගාථාව ම නැවත බෙලට්ඨානික තෙරුන් විසින් දේශනා කරන ලදි.
එම ගාථාවෙහි “හිත්‍වා ගිහීත්‍වං” යනු ගිහිබව හැරදමා, පැවිදි වී යන අර්ථයයි. “අනවොසිතත්තො” යනු සුදුසු වූ වාසයෙහි නොයෙදුණු, යම් අර්ථයක් සඳහා සසුනේ පැවිදි වී ද සුදුසු වූ විශේෂ දැනීම් ආදියෙහි නොහැසිරීමෙන්, අවසන් නොකළ පරිපූර්ණ නොවූ අර්ථ ඇති, කළයුතු කටයුතු නොකළා වූ. නැතහොත් “අනවොසිතත්තො” යනු නොකළා වූ අනුව පැවතීම් ස්වභාව ඇති විසුද්ධි මාර්ගයෙහි ද අනු පිළිවෙලින් විසිය යුතු වූ වාසය කිරීම් ඇත, දස වැදෑරුම් ආර්යවාසයන් හි ද අනු පිළිවෙලින් විසිය යුතු වූ වාසය කිරීම් ඇති දස වැදෑරුම් ආර්යවාසයන්හි නොයෙදුණු නොවිසූ “මුව නම් වූ නගුලක් මොහුට ඇත” යන අරුතින් “මුඛනංගලී” වේ. නගුලෙන් පොළව කනින්නාක් මෙන් අනුන්ට ඵරුස වචන කීමෙන් තමා සරසමින් යන අර්ථයයි. “ඔදරිකො” යනු උදර පුරණයෙහි යෙදුණු, බඩ වැඩීමෙහිම නියලුණු, “කුසීතො” යනු අලස වූ සිත වැඩීමෙහි නොයෙදුණු, මෙසේ යෙදුණු, කටයුතු කරන්නාගේ නිෂ්පත්තිය දක්වමින්, “මහා වරාහොව නිවාප පුට්ඨො පුනප්පුනං ගබ්භ මුපෙති මන්‍දො” යනුවෙන් පැවසූ පාඨයේ අර්ථ ඉහතින් කියූ පරිදිමය. කුඩු ආදියෙන් බඩ වඩාලන්නා මහ ඌරෙකු මෙන් නැවත නැවත ගැබෙහි වාසයට පැමිණේ, මෙහි ද යම්සේ පැවිදිව වැස නිම නොකළ ආර්‍ය්‍යවාස ඇති බැවින් අනුවණය, නැවත නැවත මවුකුසට පැමිණේ, මා වැනි පඬිවරු මෙසේ විපරීතභාවයට පත් නොවී, යහපත්ව පිළිපැදීමෙන් අරමුණ මස්තක ප්‍රාප්ත කරගෙන පිරිනිවේ යන්න ප්‍රකාශ කරමින් රහත්බව දක්වන ලදැයි දත යුතුයි.
බේලට්ඨානික ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.