ධම්මසවපිතු ස්ථවිරගාථා වර්ණනාව
“සවිසං වස්ස සතිකො” යනු ආයුෂ්මත් ධම්මසව පිතු තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ පෙර බුදුවරු ශූන්‍ය වූ කාලයක සිටුවරයෙක් ව ඉපදුනහ. හේ තුරුණුවියට පැමිණ භුතගණ නම් පර්වතයේ වැඩවසන පසේ බුදුවරයකු දැක, පැහැදී උන්වහන්සේ ට බෝලිද්ද මල් පූජා කළේය. ඒ පිනෙහි විපාක වශයෙන් දෙව්ලොව උපන් ඔහු තව තවත් පින් දහම් කර, කාම සුගතීන්හිම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි මගධයේ බමුණු පවුලක උපන්නේ ය. වියපත් ව විවාහ වූ ඔහු, ධම්මසව නම් තම පුතු තරුණ වියේදී පැවිදි වූ කල්හි, “මගේ පුතා තරුණයෙකුව සිටියදීම පැවිදි විය. මම පැවිදි නොවන්නේ කුමක් නිසාද?” යි එකසිය විසිවයස් වූ තමාගෙන් අසා හටගත් සංවේගයෙන් ශාස්තෲන් වහන්සේ වෙත ගොස් ධර්‍මය අසා පැවිදි විය. කමටහන් ගෙන විදසුන් භාවනාව වැඩූ ධම්මසව පිතු තෙරණුවෝ නොබෝ දිනකින් ම රහත් වූහ. අපදාන පාළියේ උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.
“හිමවතට නුදුරෙහි භූතගණ නම් පර්වතයක් විය. සියලු දෙය තමන්වහන්සේම දැනගත් ලොව හා නොගැටුණු සිඛීනම් එක් පසේ බුදුවරයෙක් වැඩ විසූහ.
බෝලිද්ද මල් ගෙන ඒ බුදුරදුන්ට පිදූ මම එහි විපාක වශයෙන් කල්ප එකුන් සිය දහසක් මුලුල්ලෙහි දුගතියකට නොගියෙමි.
මීට කල්ප එකොලොසකට පෙර “ධරණීපති” නම් මහත් බලැති සක්විති රජව, සත්රුවනින් පිරි රජය කරවූයෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් වූ උන්වහන්සේ තම පිළිවෙත සිහිපත්කර බලා, හටගත් සොම්නසින් ප්‍රීති වාක්‍ය පහළ කරනසේක්; මෙම ගාථාව වදාළහ.
“සවීසං වස්සසතිකො පබ්බජිං අනගාරියං,
තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං”
එහි “සවීසං වස්සසතිකො” යනු උන්වහන්සේ එක්සිය විසි වයස් වූවෙකි. ඒ මම උපතින් එක්සිය විසි වසරකට වඩා වයස් ඇත්තෙක්ව, “පබ්බජිං” පැවිදිවූයෙමි. ශ්‍රමණභාවයට පැමිණියෙමි. සෙසු පදයන්ගේ අර්ථ ඉතා ප්‍රකටය. මෙම ගාථාව ම ධම්මසවපිතු තෙරණුවන්ගේ රහත්බව ප්‍රකාශ කරන ගාථාව විය.
ධම්මසවපිතු ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
සඞ්ඝරක්ඛිත ස්ථවිරගාථා වර්ණනාව
“නනූනායං පරමහිතානුකම්පිනො” යනු ආයුෂ්මත් සංඝරක්ඛිත තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? පූර්‍ව බුදුවරු හමුවෙහි තැබු ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ ද පෙර ඒ ඒ ජාතිවල දී පින් රැස්කර ගනිමින්, මෙයින් කල්ප අනූහතරකට පෙර දී සිටුගෙයක ඉපිද වැඩිවියට පත්වූහ. එක් දිනක් ඒ සිටුකුමරු පර්වත පාදයක වසන පසේ බුදුවරු සත් නමක් කෙරෙහි පැහැදුණු සිතින් බක්මී මලින් පූජා කළේය. ඒ පිංකමේ විපාක වශයෙන් දෙව්ලොව උපන් හෙතෙම තව තවත් පින් දහම් සිදුකර සුගතීන් හිම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර සමෘද්ධිමත් කුලයක උපන්නේ ය. ඔහුට “සංඝරක්ඛිත” යන නාමය තබන ලදි. තුරුණු වියට පත් වූ ඒ කුමරු, ශ්‍රද්ධාව උපදවා ගෙන සසුනේ පැවිදි ව කමටහන් රැගෙන, එක් භික්ඛුවක් සහාය කරගෙන අරණ්‍යයෙහි වාසය කරයි. එම තෙරුන් වසන තැනට නුදුරෙහි එක් වන ලැහැබක මුවැත්තියක් පැටවකු වදා, බඩසයින් පෙලුණත් පැටවා අත් නොහැර දරු සෙනෙහස නිසා සමීපයෙහි ඇති ගොදුරුම ගත්තීය. ඇය සමීපයෙහි තණ හා දිය නිමවූ පසු ඇය ආහාර නොලැබ ක්ලාන්ත වූවාය. මෙය දුටු තෙරුන් වහන්සේ, “අනේ ඒකාන්තයෙන්ම මේ ලෝ වැසියා තණ්හාවෙන් බැඳීම නිසා මහත් වූ දුක් විඳිති. ඒ තණ්හාව සිඳ දැමීමට අසමත් වෙති”යි සංවේගයෙන් සිහිකර, ඒ කරුණම අංකුසයක් කරගනිමින් විදසුන් භාවනාව වඩා රහත්වූහ.
උන්වහන්සේ විසින් සිය චරිතය අපදාන පාළියෙහි මෙසේ දැක්වූහ. “හිමවතට නුදුරෙහි කුක්කුට නම් පර්වතයක් ඇත. ඒ පර්වතපාදයේ පසේ බුදුවරු සත්නමක් වෙසෙති.
උදා වූ චන්ද්‍රයා හා සමානව බබලන පිපුණු කොළොම් ගසක් දුටු මම, ඒ මල් දෝතින් ගෙන සත් පසේ බුදුවරයන්ට පිදුවෙමි.
මෙයින් සිවු අනූවන කපෙහි යම් මල් පූජාවක් කළෙම් ද එනිසා දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවේ විපාකය මෙයයි.
මෙයින් කල්ප අනූදෙකකට පෙර සත්රුවනින් පිරි, මහත් බලැති ඵුල්ල නම් සක්විති රජ ව උපන්නෙමි.
දැන් මවිසින් සියලු කෙලෙස් දැවුයෙමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් වූ උන්වහන්සේ තම සහායක භික්‍ෂුව මිථ්‍යා විතර්ක බහුලව වාසය කරනු දැක, ඒ මුවදෙන ම උපමා කොට ඒ භික්‍ෂුවට අවවාද දෙනසේක්, මෙම ගාථාව වදාළහ.
“න නූනායං පරමහිතානුකම්පිනො, රහොගතො අනුවිගණෙති සාසනං,
තථාභයං විහරති පාකතින්‍ද්‍රියො, මිගී යථා තරුණජාතිකා වනෙ”ති.
එහි “න නූනායං” යන්නෙහි “න” යනු ප්‍රතිශේධාර්ථයේ නිපාතයකි. “නූනං” සිතීමෙහි, කල්පනා කිරීමෙහි, නනුනායං යන්නෙහි පද වෙන් කිරීම “න නුනං අයං” වේ. “පරමහිතානුකම්පිනො” අතිශයින් ම අනුත්තර වු හිතවත් වු සත්ත්‍වයන්ගේ යහපත කැමති, සත්වයන්ට අනුකම්පා කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ, “රහොගතො” රහසිගත වූ ශූන්‍යාගාරයක් - මිනිසුන්ගේ විරහිත වූ ස්ථානයක්. කායවිවේකයෙන් යුතු වූයේ යන අර්ථයයි. “අනුවිගණෙති” යනු මෙතැනට “න නුනං” යන දෙපදය සම්බන්‍ධ කළ යුතුයි. ඒකාන්තයෙන් අනුගමනය කරන්නේ යැයි නොසිතමි. නොයෙදේ යැයි සිතමි යනුවෙන් කල්පනා කරයි, සිතයි, “සාසනං” යනු ප්‍රතිපත්ති ශාසනයයි. චතුරාර්ය සත්‍ය කමටහන වැඩීමකි” යන අදහසයි. “තථාහි” ඒ කාරණයෙන් ම, ශාස්තෘ අනුශාසනය ඉටුනොකරමින් මං “අයං” මේ භික්‍ෂුව. “පාකතින්‍ද්‍රියො” මනස සයවැනි කොට ඇති ඉඳුරන්ගේ, යම්සේ සිය අරමුණ විෂයන් හි විද්‍යමානවන ස්වාභාවික ඉඳුරන්හි “සංවර නොවූ චක්‍ෂුද්වාරාදී ඉඳුරන්හි” යන අර්ථයයි. යම් තණ්හාවෙන් ඇලුණු තැනැත්තෙකුගේ සසර පැවැත්ම නොසිඳුණේ ද ඒ භික්‍ෂුව ප්‍රකෘති ඉඳුරන් ඇතිව ම මෙසේ, එහි උපමාව දක්වමින්, “මිගී යථා තරුණජාතිකා වනෙ” යන්න පවසන ලදි. යම්සේ මේ තරුණ ස්වභාවයෙන් යුතු මුවදෙන පුත්‍ර ස්නේහය නොසිඳුණු බැවින් වනයෙහි දුක් අනුභව කරන්නීය. ඒ දුක ඉක්මවා නොයන්නීය, “එසේ ම මේ භික්‍ෂුව ද ඇලීම, ගේහසිත නොසිඳු බැවින් පියවි ඉඳුරන් ඇතිව වෙසෙමින් සසර දුක ඉක්මවා නොයයි” යන අදහසයි. “තරුණවිජාතිකා” යන පාඨය ද යෙදේ, වැදූ අලුත, ළදරු පැටවකු ඇති යන අර්ථයයි. මෙම ගාථාව ඇසූ ඒ සහායක භික්‍ෂුව හටගත් සංවේග ඇතිව විදසුන් වඩා නොබෝ කලකින් ම රහත් බවට පැමිණියේය.
සංඝරක්ඛිත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.