සුහේමන්ත ස්ථවිරගාථා වර්ණනාව
“සතලිඞ්ගස්ස අත්‍ථස්ස” යන ගාථාව ආයුෂ්මත් සුහේමන්ත තෙරුන් වහන්සේ විසින් පැවසූවකි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇති ව ඒ ඒ භවයන් හි දී නිවන් පතාගෙන පින් රැස්කරමින් පැමිණියහ. මෙයින් කල්ප අනූ දෙකකට පෙර තිස්ස නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී වැද්දෙක් ව ඉපිද වනයේ වාසය කළේය. ඔහුට අනුග්‍රහ පිණිස වනයට වැඩම වූ බුදුරජාණන් වහන්සේ එම වනය සමීපයේ රුකක් මුල හුන්සේක. භාග්‍යවතුන් වහන්සේ දුටු වැද්දා, පැහැදුණු සිතින් ඉතා සුවඳවත් දොඹ මල් කඩා උන්වහන්සේට පූජා කළේය. ඒ පින්කම නිසා දෙව්ලොව උපන් ඔහු තව තවත් පින්දහම් කොට දෙව් - මිනිසුන් අතර සැරිසරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ දී පර්යන්ත ප්‍රදේශයක සම්පත් ඇති බමුණකුගේ පුතෙකු වී උපන්නේය. සුහේමන්ත නම් වූ ඔහු වැඩි වියට පත්ව සඞ්කස්ස නුවර මිගදායෙහි වසන අප භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ දහම් අසා, ශ්‍රද්ධා ඇතිව පැවිදිවිය. උන්වහන්සේ ත්‍රිපිටකධාරීව විදසුන් භාවනාවෙහි සිත පිහිටුවා නොබෝ කලකින්ම ෂඩ් අභිඥාන උපදවා ගත්හ. උන්වහන්සේ සිය චරිතාපදානය අපදාන පාළියේ මෙසේ දැක්වූහ.
“වැද්දෙක් වූ මම මහවනයේ වාසය කළෙමි. පිපුණු දොඹගසක් දුටු මම බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කළෙමි.
වැල්ලෙහි සෑයක් සෑදු මම, ඒ මල් නෙලා යහපත් වූ, සුවඳවත් වූ ඒ මල් බුදුරදුන්ට පිදුවෙමි.
මෙයින් කල්ප අනූ දෙකකට පෙර යම් පුෂ්ප පූජාවක් කළෙම් ද එම බුදු පුදෙහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි.
මෙයින් කල්ප අනූ එකකට පෙර සත් රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති තමොනුද නම් සක්විති රජව උපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.
රහත්බවට පත්ව “මවිසින් බුද්ධ ශ්‍රාවකයන් පතන යම් මාර්ගඵලාදියක් වේ නම් එම මග ඵල ලැබුයෙමි, දැන් මම භික්‍ෂූන් වහන්සේලාට අනුග්‍රහ කරමින් විසීම මැනවි.” යනුවෙන් සිතූ සුහේමන්ත තෙරණුවෝ, සිවුපිළිසිඹියාපත් බැවින් ද නොපසුබස්නා වීර්ය ඇති බැවින් ද තම සමීපයට පැමිණි භික්‍ෂූන්ට ධර්‍මකථා දක්වමින් සුදුසු පරිදි අවවාද කළහ. අනුශාසනා කළහ. ඔවුන්ගේ සැක සංකා සිඳලූහ. නිරවුල්, ගැටළු රහිතවූ කමටහන් දෙමින් වාසය කළහ. එක් දිනක් තමා සමීපයට සපැමිණි භික්‍ෂූන්ට නුවණැති පුද්ගලයන්ගේ ගුණ විශේෂ දක්වමින් මෙම ගාථාව වදාළහ.
“සතලිඞ්ගස්ස අත්‍ථස්ස සතලක්ඛණධාරිනො,
එකඞ්ගදස්සී දුම්මෙධො සතදස්සී ච පණ්ඩිතො”
එහි “සතලිඞ්ගස්ස” සැඟවුණු, අප්‍රකට අර්ථ ප්‍රකට කරයි. අවබෝධ කරයි යන අර්ථයේ “ලිඞ්ඟ” නම්වේ. අර්ථවත් ශබ්දයන් හි පවතින නිමිත්තයි. නොයෙක් සිය ගණන් ලිඞ්ගයෝ මොවුන්ට ඇත යන අරුතින් “සතලිඞ්ග” නම් වේ. “සත” ශබ්ද අනේකාර්ථයෙහි යෙදේ. “න තථා සතං සහස්සං” ආදී තැන් හි මෙන් මෙහි ද ශබ්දය සංඛ්‍යාර්ථයේ යෙදී ඇත. ඒ සියක්, නොයෙක් ආකාර ලිංග ඇති තැනැත්තාට, “අත්‍ථස්ස” දතයුතු දේ දත්, “ඤාණයෙන් කෙලෙස් නැති කිරීමෙන් ලබන අර්ථය” යන තෙරුමයි. එහි ද එක් අයෙකුට වුවත් නොයෙක් අර්ථ ඇති සංඥානාම යෙදේ. යම්සේ ශක්‍රයා, පුරින්දද, මඝ යන නම් මෙන් ප්‍රඥාව, විද්‍යාව, නුවණ ඤාණය යන නම් ද එකම දෙයක් හැඳින්වුවත් නානාර්ථ ජනනය කරයි. නිදසුනක් ලෙස තාවතිංසයේ අධිපතියා යන අරුතින් “ඉන්ද්‍ර” ශබ්දය යෙදුණත්, ඔහුට “ශක්‍රයා” යන නම එම අර්ථයෙන් නොයෙදේ. එසේම සම්‍යක් දෘෂ්ටියෙහි අවබෝධයෙන් “ප්‍රඥාව” යන ශබ්දය පවතීද එම අර්ථය “විද්‍යා” ආදී ශබ්දයන් හි නොමැත. ඒ නිසා “සතලිඞ්ගස්ස අත්‍ථස්ස” නොයෙක් ලිංග ඇති අර්ථයාගේ යනුවෙන් කියන ලදි.
නොයෙක් ලක්‍ෂණ දරන බව “සතලක්ඛණධාරිනො” යන්නෙන් පැහැදිලි කරයි. මෙයින් ලකුණු කරයි යන අරුතින් “ලක්‍ෂණ” යන්න යෙදේ. අර්ථයට ප්‍රත්‍යවන බැවින්, තමාගේ ඵලයට ප්‍රත්‍යවන බැවින් ලක්‍ෂණ වේ. ඒ නිසා “ඒ මේ මෙහි හේතුවයි. කාරණයයි.” යනුවෙන් ලක්‍ෂ්‍ය කර, ඉලක්ක කර දක්වයිද එම එකම අර්ථයම අනේක ප්‍රභේදව වැටහේ. එනිසා “සතලක්ඛණධාරිනො” නොයෙක් ලක්‍ෂණ දරන්නාවූ යනුවෙන් කියන ලදි. නැතහොත් “ලකුණු කරයි” යන අරුතින් “ලක්‍ෂණ” නම් වේ. ඒ ඒ අර්ථයාගේ ලක්‍ෂණාදියේ ආකාර විශේෂයයි. එම ලක්‍ෂණ අර්ථ වශයෙන් ද අර්ථ විශේෂ වශයෙන් ද දත යුතුයි. එහිදී “ඒ අනිත්‍යාදී සාමාන්‍ය ලක්‍ෂණ දක්වයි. හඟවයි.” යන අරුතින් ලිංගයෝ යැයි කියන ලදි. එහිදී එකම වූ අර්ථයක ආකාර, ලක්‍ෂණ නානාවිධවූ දක්නට ලැබේ. ඒ නිසා “නොයෙක් ලිංග ඇති නොයෙක් ලක්‍ෂණ ඇති අර්ථයාගේ” යනුවෙන් කියන ලදි. ඒ නිසා ආයුෂ්මත් දම්සෙනෙවි සැරියුත් තෙරණුවෝ “සියලු දහම් සියලුම ආකාරයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඤාණයට ගොදුරුවන්නේ ය” යැයි වදාළහ.
“එකඞ්ගදස්සී දුම්මෙධො” යනු මෙසේ නොයෙක් ලිංගයන් හි, නොයෙක් ලක්‍ෂණයන්හි, නොයෙක් අර්ථයන්හි ඇති පදයන්ගේ යමෙක් එකම ලිංගයක්, එකම ලක්‍ෂණයක් එකම අයුරකින් දකීනම්, මද නුවණැති බැවින් මෙසේ දැක, “තමා දුටු දෙයම සත්‍යය වේ. සෙසු සියලු ඉගැන්වීම් බොරුය, හිස්ය.” යනුවෙන් සෙසු යහපත් දේ ඉවත දමත් ද ඔහු අඥානයෙකි. ඇතා දුටු අන්ධයෝ මෙන් එකම දෙයක් ගෙන අනුවණව, මෝඩකමින් එහිම ඇලී, ධර්‍මතාවල පවතින්නාවූ විවිධාකාර බව නොදැන වැරදි පිළිගැනීම් හි, දෘෂ්ටීන්හි එල්බෙති. එම දෘෂ්ටීන්ට සහාය දක්වති. “පණ්ඩිතො” යනුවෙන් ප්‍රඥාවන්තයා වනාහි තම නුවණින් ධර්‍මතාවන්හි නානාවිධ බව තම ප්‍රඥා ඇසින් (පණැසින්) සර්වප්‍රකාරයෙන් ම අවබෝධ කරගනියි. එහි ලැබෙන සියලුම කරුණු තම ප්‍රඥාවෙන් නිවැරදිව මැනවින් දකියි. අන්‍යයන්ට ද එම කරුනු පෙන්වා දෙයි. දේශනා කරයි. එවැනි පුද්ගලයා පණ්ඩිතයෙකි. විචක්‍ෂණයෙකි. අර්ථ දැක්වීමෙහි දක්‍ෂයෙකි. මෙලෙස සුහේමන්ත තෙරණුවෝ උසස් බවට පත් වූ තම සිවුපිළිසිඹියාපත් භාවය භික්‍ෂූන් වහන්සේලාට ප්‍රකට කළහ.