මලිතවම්භ ස්ථවිරගාථා වර්ණනාව
“උක්කණ්ඨිතො” යන ගාථාව ආයුෂ්මත් මලිතවම්භ තෙරුන් වහන්සේ විසින් පැවසූවකි. එහි උපත කෙසේ ද? මෙතෙමේ ද පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී හිමවතට නුදුරෙහි එක්තරා විලක හැසිරෙන කුරුල්ලෙක්ව උපන්නේය. පදුමුත්තර භාග්යවතුන් වහන්සේ එම පක්ෂියාට අනුග්රහ පිණිස එහි ගොස් විල් තෙර සක්මන් කළසේක. කුරුල්ලා භාග්යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතින් විලෙහි පිපුණු කුමුදු මල් ගෙන, ඉන් බුදුරදුන්ට පූජා කළේය. එම පින්කම නිසා දෙව් විසින් දෙගතියෙහි උපන් හෙතෙම සසර සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේ දී භාරුකච්ඡ නුවර එක්තරා බමුණකුට දාව පුතෙක් ව ඉපිද මලිතවම්භ නාමයෙන් ප්රකට විය. වියට පත් ඒ බමුණා පච්ඡාභූම මහා තෙරුන් වෙත පැමිණ උන්වහන්සේග්නේ ධර්මය අසා, ලද ශ්රද්ධාව ඇතිව සසුනේ පැවිදිව විදසුන් කමටහන වඩමින් වාසය කළේය. උන්වහන්සේගේ ස්වභාවය වෙනස් විය. යම් තැනක ආහාරපාන සුලභව නො ලැබේ ද සෙසු ප්රදේශවල ආහාරපාන සුලභ ද ඒ ආහාරපාන සුලභව ලැබෙන සෙනසුන එය හැර දමා ආහාරපාන දුලභ සෙනසුනක් වෙත උන්වහන්සේ පැමිණෙති. මෙසේ වාසය කළ මලිතවම්භ තෙරණුවෝ පූර්වහේතු සම්පත් ඇති බැවින් ද මහාපුරුෂයකු වන බැවින් ද නොබෝ දිනකින්ම විදසුන් වඩා රහත්බවට පත්වූහ. අපදාන පාළියේ උන්වහන්සේ මෙසේ පැවසූහ.
“හිමවතට නුදුරෙහි රත්පියුම්, උපුල්, හෙළ පියුම් ආදියෙන් ගැවසීගත් මහත් වූ ස්වාභාවික විලක් විය.
එවිට සිල්වත්, බුද්ධිමත් වූ කුසල් අකුසල් මේ මේ යැයි දැනගැනීමෙහි දක්ෂ වූ කකුධ නම් පක්ෂියෙක්ව මම උපන්නෙමි.
ලෝකයාගේ පූජාවන් පිළිගැනීමට සුදුසු වූ මහා මුනි වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඒ ස්වයංජාත විලට නුදුරෙහි සක්මන් කළ සේක.
ජලයෙහි හටගත් කුමුදු මලක් කඩාගත් මම ඒ මල බුදුරජාණන් වහන්සේ වෙත පිළිගැන්වූයෙමි. මගේ අදහස දත් උන්වහන්සේ එය පිළිගත්හ.
එම කුශලයෙන් මෙහෙය වූ මම මේ කල්ප ලක්ෂය මුලුල්ලෙහි ම දුගතියක නූපන්නෙමි.
මෙයින් කල්ප එක්දහස් හයසීයකට පෙර දී මහත් බල ඇති වරුණ නම් සක්විති රජවරු අටදෙනෙක් ව උපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව නැවත සිහිපත් කරමින් උදන් අණන සේක් මේ ගාථාව වදාළහ.
“උක්කණ්ඨිතොපි න වසෙ රමමානොපි පක්කමෙ,
තත්වෙවානත්ථසංහිතං වසෙ වාසං විචක්ඛණො”ති.
තත්වෙවානත්ථසංහිතං වසෙ වාසං විචක්ඛණො”ති.
මේ ගාථාවෙහි “උක්කණ්ඨි තොපි න වසෙ” යම් ආවාසයක වසන මා හට සුදුසු වූ ආහාර පාන දුලභවීමෙන් අධිකුශල දහම්හි කළකිරවන, එහි නොඇලෙන සිත් උපදීද, එබඳු තැන කළකිරීම ඇතිවූවත් මම වාසය කරමි. වෙනත් ආහාර පාන සුලභ තැන් සොයා නො යමි. “නවසෙ” මෙහි “න” කාරයෙන් “පක්කමෙ” යන පදය සම්බන්ධ කර අර්ථ ගතයුතුයි. “රමමානොපි පක්කමෙ” යම් ප්රත්ය අඩුවීමක් නැති ආවාසයක වෙසෙන මා හට කළකිරීම් ආදියක් ඇති නොවී ඒකාන්තයෙන් එහි ඇලීම් ඇතිවේ ද, එසේ ඇලීම ඇතිවන ආවාසය හැර ප්රත්ය පහසුකම් අඩු වූ සෙනසුනක් වෙත යන්නෙමි. මෙසේ පිළිපැද්දා වූ මම නොබෝ දිනකින් ම ස්වාර්ථ සාධනය කරගත්තෙමි. මෙය උන්වහන්සේ සිය පිළිවෙත සිහිපත් කර බැලීම් වශයෙන් වදාළ ගාථාවකි, අනුන්ට අවවාද දීමෙහි ද නොවැසියයුතු, හැරදැමියයුතු සෙනසුන් පිළිබඳ විධාන දී මෙහි ද මෙය යෙදිය හැකිවේ. “නත්වෙවානත්ථෙ සංහිතං වසෙ වාසං විචක්ඛණො” යම් ආවාසයක ප්රත්ය පහසුකම් දුලබ ද එහි මහණකම සම්පූර්ණ කරගත නොහැකි ද එය අනර්ථදායක ආවාසයකි. යම් ආවාසය ආහාරපාන සුලබ ද ශ්රමණධර්ම සම්පූර්ණවේ ද එබඳු සෙනසුන අර්ථ දායක වූවකි. අභිවෘද්ධිය අපේක්ෂා කරන විචක්ෂණ නුවණැත්තා අනර්ථදායක සෙනසුන හැරදමා ස්වාර්ථ සාධනය කරගනු කැමතිව එහි නොවසන්නේය. යම් තැනක අංග පසකින් සමන්විත වූ ආවාසයක් ලැබේ ද සත්විධ සප්පායයන් ලැබේ ද එහිම වාසය කළ යුතුයි.
මලිතවම්භ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
සුහේමන්ත ස්ථවිරගාථා වර්ණනාව
“සතලිඞ්ගස්ස අත්ථස්ස” යන ගාථාව ආයුෂ්මත් සුහේමන්ත තෙරුන් වහන්සේ විසින් පැවසූවකි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්රාර්ථනා ඇති ව ඒ ඒ භවයන් හි දී නිවන් පතාගෙන පින් රැස්කරමින් පැමිණියහ. මෙයින් කල්ප අනූ දෙකකට පෙර තිස්ස නම් භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී වැද්දෙක් ව ඉපිද වනයේ වාසය කළේය. ඔහුට අනුග්රහ පිණිස වනයට වැඩම වූ බුදුරජාණන් වහන්සේ එම වනය සමීපයේ රුකක් මුල හුන්සේක. භාග්යවතුන් වහන්සේ දුටු වැද්දා, පැහැදුණු සිතින් ඉතා සුවඳවත් දොඹ මල් කඩා උන්වහන්සේට පූජා කළේය. ඒ පින්කම නිසා දෙව්ලොව උපන් ඔහු තව තවත් පින්දහම් කොට දෙව් - මිනිසුන් අතර සැරිසරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ දී පර්යන්ත ප්රදේශයක සම්පත් ඇති බමුණකුගේ පුතෙකු වී උපන්නේය. සුහේමන්ත නම් වූ ඔහු වැඩි වියට පත්ව සඞ්කස්ස නුවර මිගදායෙහි වසන අප භාග්යවතුන් වහන්සේ වෙත පැමිණ දහම් අසා, ශ්රද්ධා ඇතිව පැවිදිවිය. උන්වහන්සේ ත්රිපිටකධාරීව විදසුන් භාවනාවෙහි සිත පිහිටුවා නොබෝ කලකින්ම ෂඩ් අභිඥාන උපදවා ගත්හ. උන්වහන්සේ සිය චරිතාපදානය අපදාන පාළියේ මෙසේ දැක්වූහ.
“වැද්දෙක් වූ මම මහවනයේ වාසය කළෙමි. පිපුණු දොඹගසක් දුටු මම බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේ සිහි කළෙමි.
වැල්ලෙහි සෑයක් සෑදු මම, ඒ මල් නෙලා යහපත් වූ, සුවඳවත් වූ ඒ මල් බුදුරදුන්ට පිදුවෙමි.
මෙයින් කල්ප අනූ දෙකකට පෙර යම් පුෂ්ප පූජාවක් කළෙම් ද එම බුදු පුදෙහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි.
මෙයින් කල්ප අනූ එකකට පෙර සත් රුවනින් ආඪ්ය වූ මහත් බල ඇති තමොනුද නම් සක්විති රජව උපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.
රහත්බවට පත්ව “මවිසින් බුද්ධ ශ්රාවකයන් පතන යම් මාර්ගඵලාදියක් වේ නම් එම මග ඵල ලැබුයෙමි, දැන් මම භික්ෂූන් වහන්සේලාට අනුග්රහ කරමින් විසීම මැනවි.” යනුවෙන් සිතූ සුහේමන්ත තෙරණුවෝ, සිවුපිළිසිඹියාපත් බැවින් ද නොපසුබස්නා වීර්ය ඇති බැවින් ද තම සමීපයට පැමිණි භික්ෂූන්ට ධර්මකථා දක්වමින් සුදුසු පරිදි අවවාද කළහ. අනුශාසනා කළහ. ඔවුන්ගේ සැක සංකා සිඳලූහ. නිරවුල්, ගැටළු රහිතවූ කමටහන් දෙමින් වාසය කළහ. එක් දිනක් තමා සමීපයට සපැමිණි භික්ෂූන්ට නුවණැති පුද්ගලයන්ගේ ගුණ විශේෂ දක්වමින් මෙම ගාථාව වදාළහ.
“සතලිඞ්ගස්ස අත්ථස්ස සතලක්ඛණධාරිනො,
එකඞ්ගදස්සී දුම්මෙධො සතදස්සී ච පණ්ඩිතො”
එකඞ්ගදස්සී දුම්මෙධො සතදස්සී ච පණ්ඩිතො”