ඛිතක ස්ථවිරගාථා වර්ණනාව
“ලහුකො වත මෙ කායෝ” යනු ආයුෂ්මත් ඛිතක තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? මේ තෙරුන් ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි පින් රැස්කරමින් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි දී යක්‍ෂ සෙන්පතියෙක් ව උපන්නේ ය. එක් දිනක් යක්‍ෂ සමාගමෙහි හුන් හෙතෙම ශාස්තෲන් වහන්සේ එක්තරා රුකක් මුල සිටිනු දැක, උන්වහන්සේට වැඳ එකත් පසෙක සිටියේය. ශාස්තෲන් වහන්සේ ඔහුට දහම් දෙසීය. දහම් ඇසූ යක් සෙනෙවි මහත් වූ ප්‍රීති සොම්නසක් විඳිමින් අත්පොළසන් දෙමින් නැගී සිටි ශාස්තෲන් වහන්සේට වැඳ පැදකුණු කොට ගියේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙවි මිනිසුන් අතර සැරිසැරූ ඔහු, අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි සැවැත්නුවර බමුණු පවුලක උපන්නේ ය. ඛිතක බමුණු නාමයෙන් ප්‍රකට වූ හෙතෙම වැඩි වියට පත්ව මහමුගලන් තෙරුන් වහන්සේගේ මහත් සෘද්ධිමය බව අසා, “මමත් සෘද්ධිමත් අයෙකු වන්නෙමි” යි පූර්ව හේතු බලයෙන් මෙහෙයවනු ලබන්නේ පැවිදිවිය. භාග්‍යවතුන් වහන්සේ හමුවේදී කමටහන් ගත් ඛිතක තෙරුන් වහන්සේ සමථ විදර්ශනාදියෙහි ම සිත පිහිටුවා කමටහන් වඩා නොබෝ දිනකින් ම ෂඩ් අභිඥා ලාභී මහතෙර නමක් බවට පත්වූහ. උන්වහන්සේ මෙසේ සිය චරිතාපදානය දැක්වූහ.
“ද්විපදෝත්තම වූ නරශ්‍රේෂ්ඨ වූ පසැස් ඇති පදුමුත්තර නම් වූ බුදුරජාණන් වහන්සේ තමන් විසූ වනයෙන් නික්ම අවුත් දහම් දෙසූහ.
ඒ මහර්ෂීන් වහන්සේ සමීපයෙහි යක්‍ෂ සමාගමක් විය. එකල යම් කරුණකින් ඔවුහු එහි පැමිණියාහු ද එය සපුරමින් බුදුරදුන් දෙස සාවධානව බලා සිටියහ.
මම බුදුරජාණන් වහන්සේගේ දහම් දෙසුම අසා, ප්‍රසන්න වූ සිත් ඇතිව අත්පොළසන් දී උන්වහන්සේට උපස්ථාන කළෙමි.
ශාස්තෲන් වහන්සේට මැනවින් කළ උවටැනෙහි විපාකය බලනු මැනවි. ඒ පිනෙන් මම තිස්දහසක් කල්ප මුලුල්ලෙහි දුගතියක නූපන්නෙමි.
මෙයින් එක්දහස් නවසිය වන කල්පයේ දී සත් රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති සුමංගල නම් සක්විති රජව උපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත්වූ ඛිතක තෙරණුවෝ වෙසෙසින් සෘද්ධිමය හැකියාවන්හි වශීභාවයෙන් නානා ප්‍රකාර වූ සෘද්ධිවිධයන්හි නියැලෙමින් සෘද්ධිමය ප්‍රාතිහාර්යයන් ගෙන් ද අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් ද සත්ත්‍වයන්ට අනුග්‍රහ කරමින් විසූහ. භික්‍ෂූන් වහන්සේලා උන්වහන්සේගෙන් “ඇවැත්නි! කෙසේ නම් නුඹ වහන්සේ සෘද්ධිමය ශක්‍යතා පරිහරණය කරන්නෙහි ද?” යි ඇසූහ. එයට පිළිතුරු දීම් වශයෙන් ඛිතක තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
“ලහුකො වත මේ කායො ඵුට්ඨො ච පීතිසුඛෙන විපුලෙන,
තූලමිව ඵරිතං මාළුතෙන පිලවතීව මෙ කායෝ” ති.
උදන් ඇණීම් වශයෙන් මේ ගාථාව වදාළ බව ඇතැම්හු පවසති.
එම ගාථාවේ “ලහුකෝ වත මෙ කායො” යනු පංචනීවරණාදිය විෂ්කම්භනය කිරීමෙන් ද දා හතර වැදෑරුම් චිත්ත දමනයන්ගෙන් ද සතර සෘද්ධිපාද වැඩීමෙන් ද මනාව පුහුණු කළ වශී භාවයෙන් ද මගේ රූපී කය සැහැල්ලුය. ඒකාන්තයෙන්ම මම මහා භූතයන්ගෙන් නිර්මිත මේ ශරීරය (කරජ කාය) සිතට අනුව පරිහරණය කරමි” යන අදහසයි. “පුට්ඨො ච පීති සුඛෙන විපුලෙන” සැමතැන්හිම පැතිර ගිය මහත් උදාර වූ ප්‍රීතිමත් සුවයෙන් මගේ කය ස්පර්ශ කරන ලදි. මේ කය එලෙසින්ම සැහැල්ලු වූවකි. ඒ බව දැක්වීමට මෙසේ පවසන ලදි. සුඛ සංඥාවට බැස ගැනීමත් සමග ම ලුහු (සැහැල්ලු) සඤ්ඤාවට පැමිණීම (බැස ගැනීම) වේ. සුවයේ පැතිරීම මෙහිදී ඒ සමුට්ඨාන රූප වශයෙන් දත යුතුයි. කෙසේ නම් චතුර්ථධ්‍යානයෙන් යුක්ත වූ ප්‍රීති සුව පැතිරවීම ඉක්ම වූ ප්‍රීති සුවය යැයි සම්මතවී ද? මෙහිදී චතුර්ථධ්‍යාන වශයෙන් නො පවසන ලදි. ඉක්බිති පූර්ව භාග වශයෙන් ප්‍රීති සුවයෙන් යැයි ප්‍රීතිය හා සමාන වූ සුවයෙන්, උපේක්‍ෂාව ද මෙහිදී ශ්‍රමණ ස්වභාවයක් බැවින් ඤාණ විශේෂ යෝගයක් වශයෙන් සැපය කැයි අදහස් කරන ලදි. එසේම කියන ලදි. “සුව සඤ්ඤාවට බැසගනී” යනුවෙන්, පාදක වූ ධ්‍යානාරම්මණයෙන් හෝ රූපකාය ආරම්මණයෙන් හෝ සෘද්ධිමය සිත සමග එකට උපන් (සහජාත) සුව සඤ්ඤාවට බැසගනියි. පිවිසෙයි. එය දකියි. ඊට සපැමිණෙයි. මෙම ගාථාවේ ද මෙම අර්ථය දත යුතුයි. අට්ඨකථාවෙහි එය එසේ ම කියන ලදි. “සුව (සුඛ) සඤ්ඤාව යනු උපේක්‍ෂාව සමග යෙදුණු සඤ්ඤාවයි. උපේක්‍ෂාව ශාන්ත වූ සුව එළවන්නකැයි කියන ලදි. එයම සඤ්ඤා නීවරණයන්ගෙන් ද විතර්කා දී විරුද්ධ ධර්‍මයන්ගෙන් ද මිදුණු බැවින් ලඝු (සැහැල්ලු) සඤ්ඤාවක් මෙන් දත යුතුයි. එම සඤ්ඤාවට සිත යොමුකළ තැනැත්තාට තම ශරීරය ද පුළුන් පොදක් මෙන් සැහැල්ලු භාවයෙන් වැටහේ. මේ ආකාරයෙන් එබඳු භික්‍ෂුව සුළඟින් ගසාගෙන යන පුළුන් රොදක් මෙන් සැහැල්ලු වූ නොපෙනෙන්නා වූ කයින් (ශරීරයෙන්) බඹලොව ද යයි.” ඒ නිසා මේ ගාථාවෙහි “තූලමිව ඵරීතං මාළුතෙන පිලවතීව මෙ කායො” යනුවෙන් කියන ලදි. එහි අර්ථය - යම් කලෙක මම බඹලොවට රහත්බවින් හෝ සෘද්ධියෙන් යනු කැමැති වූයෙම් ද එකල්හි සැඬ සුළඟන් ඔසවාගෙන යනු ලබන පුළුන් පොදක් මෙන් අහසෙහි පාවී මගේ කය යයි.