බන්‍ධුර ස්ථවිරගාථා වර්ණනාව
“නාහං එතෙන අත්‍ථිකො” යනු ආයුෂ්මත් බන්‍ධුර තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී එක්තරා රජකුගේ අන්තඃපුරයෙහි ආරක්‍ෂක සේවයේ නියැලියෙක් වූහ. එක් දිනක් එම භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් පිරිවරා ගෙන රාජාංගනයෙහි වඩිනු දුටු ඔහු පැහැදුණු සිතින් කණවේර මලින් භික්‍ෂු සංඝයා සහිත බුදුරදුන් පිදුවේය. ඒ පින්කමේ බලයෙන් දෙව්ලොව උපන් ඔහු, කාමසුගතීන්හිම සැරිසරමින් අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ සීලවතී නම් නුවර සිටු පුතෙක් ව ඉපිද බන්‍ධුර නාමයෙන් ප්‍රකට විය. වැඩිවියට පත් බන්‍ධුර සිටුපුතු කිසියම් කටයුත්තක් සඳහා සැවැත්නුවරට ගියේය. එහිදී විහාරයට යන උපාසකවරු සමග ගොස් ශාස්තෲන් වහන්සේගේ දම්දෙසුම ඇසූ ඔහු ලබන ලද ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදි විය. උන්වහන්සේ ඤාණය මුහුකුරා ගිය බැවින් විදසුනෙහි සිත පිහිටුවා නොබෝ දිනකින් ම රහත් ඵලයෙහි පිහිටියහ. බන්‍ධුර තෙරණුවෝ අපදාන පාළියේ මෙසේ සිය චරිතාපදානය දැක්වූහ.
“ලෝකජ්‍යෙෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සිද්ධත්‍ථ නම් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් පිරිවරා නගරයට පිවිසි සේක.
එකල්හි මම රජුගේ මැනවැයි සම්මත වූ අන්තඃපුර පාලකයා වූයෙමි. පහයෙහි සිටි මම ඒ ලෝකනායකයන් වහන්සේ දුටුවෙමි,
කණවේරමල් රැගත් මම ඒ මල් භික්‍ෂු සංඝයා වෙත ඉස්සෙමි, ඉන් වැඩි කොටස බුදුරදුන් උදෙසා පිදුවෙමි.
මෙයින් කල්ප අනූහතරකට පෙර කළ පුෂ්ප පූජාවේ විපාක වශයෙන් මම මේ දක්වා ම දුගතියක නූපන්නෙමි. මල් පූජාවේ විපාක එබඳුය,
මෙයින් කල්ප අසූ සතකට පෙර සත්රුවනින් හෙබි මහ බලැති මහිද්ධික නම් වූ සක්විති රජවරු සිවුදෙනෙක්ව උපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත්බවට පත් ව, කළගුණ සැලකීමෙහි සිත පිහිටුවා, තමාට පෙර උපකාර කළ රජුට ප්‍රත්‍යුපකාර කිරීම සඳහා සීලවතී නුවරට ගොස් රජුට ධර්‍මදේශනා කරමින් චතුරාර්ය සත්‍ය ධර්‍මය ප්‍රකාශ කළ උන්වහන්සේගේ දේශනාව අසා රජු සෝවාන් විය. තම නුවර සුදස්සන නම් මහා විහාරයක් කරවු රජතුමා එය තෙරුන් වහන්සේට පූජා කළේය. බන්‍ධුර තෙරුන්ට එතැන් පටන් මහත් ලාභ සත්කාර ඉපදුණි. උන්වහන්සේ එම සියලු ලාභ සත්කාර ද විහාරයද සංඝයාට පවරා දී තමන්වහන්සේ පෙර මෙන් ම පිඬුපිණිස හැසිරෙමින් යැපුණු සේක. මෙසේ දින කිහිපයක් එහි විසූ උන්වහන්සේ සැවැත් නුවරට යනු කැමති වූහ. එවිට භික්‍ෂූහු “ස්වාමීනි! නුඹ වහන්සේ මෙහිම වාසය කරනු මැනවි. ඉදින් සිවු පසයෙන් අඩුවක් වේ නම් අපි එය සම්පූර්ණ කරන්නෙමු,” යි පැවසූහ. එවිට බන්‍ධුර තෙරණුවෝ, “ඇවැත්නි! මට මහත් වූ සිවුපසයෙන් ප්‍රයෝජනයක් නැත, ලැබෙන ප්‍රත්‍යයකින් යැපෙමි, මා ධර්‍මරසයට ම කැමැත්තෙමි, එය පමණක් ම මට අවශ්‍යය”යි පවසමින් මෙම ගාථාව වදාළහ.
“නාහං එතෙන අත්‍ථිකො, සුඛිතො ධම්මරසෙන තප්පිතො,
පිත්‍වාන රසග්ගමුත්තමං, නච කාහාමි විසෙන සන්‍ථවං”
එහි ගාථාවෙහි “නාහං එතෙන අත්‍ථිකො” යම් හෙයකින් නුඹලා මා සතුටු කරනු කැමතිව සිවුපසයෙන් සම්පූර්ණව උපස්ථාන කරන්නෙමු යි පවසත් ද එබඳු ආමිෂ ලාභයක්, ආමිෂ ප්‍රත්‍ය රසයක් මා හට අවශ්‍ය නැත, මට ඉන් ප්‍රයෝජනයක් නැත, “ලද දෙයින් සතුටු වීම උතුම් සැපය වේ.” එ නිසා මම ලද දෙයින් තුටුව ඉන් යැපෙමි, දැන් එසේ ආමිෂ ප්‍රත්‍ය අනවශ්‍ය බවට හේතු දක්වමින් මෙසේ පවසයි, “සුඛිතො ධම්මරසෙන තප්පිතො” සත්තිස් බෝධිපාක්‍ෂික ධර්‍ම රසයෙන් මෙන් ම නවවිධ ලෝකෝත්තර ධර්‍ම රසයෙන් ද සන්තර්පිතව ප්‍රීතිවෙමි. සුවපත්වෙමි, උතුම් වූ සුවයෙන් යුක්ත වෙමි යන අර්ථයයි. “පීත්‍වාන රසග්ගමුත්තමං” සියලු රස අතුරින් අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ ඒ උතුම් රසයම පානය කර සිටියෙමි, “සියලු රස අතුරින් දහම් රසයම පානය කර සිටියෙමි, එනිසා “සියලු රස අතුරින් දහම් රසය ම ජයගනී” යැයි කියන ලදි. “නච කාහාමි විසෙන සන්‍ථවං” මෙබඳු වූ රසයෙන් උතුම් වූ දහම් රසය පානය කර සිටියෙමි. පස්කම් සුවය නම් විෂ රසයෙන් ප්‍රීතිවීම, එම විෂ රසය හා එක්වීම නොකරන්නෙමි. එසේ පස්කම් සුව ප්‍රියකිරීමට කරුණක්, හේතුවක් නොමැත.
බන්‍ධුර ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
ඛිතක ස්ථවිරගාථා වර්ණනාව
“ලහුකො වත මෙ කායෝ” යනු ආයුෂ්මත් ඛිතක තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? මේ තෙරුන් ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි පින් රැස්කරමින් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි දී යක්‍ෂ සෙන්පතියෙක් ව උපන්නේ ය. එක් දිනක් යක්‍ෂ සමාගමෙහි හුන් හෙතෙම ශාස්තෲන් වහන්සේ එක්තරා රුකක් මුල සිටිනු දැක, උන්වහන්සේට වැඳ එකත් පසෙක සිටියේය. ශාස්තෲන් වහන්සේ ඔහුට දහම් දෙසීය. දහම් ඇසූ යක් සෙනෙවි මහත් වූ ප්‍රීති සොම්නසක් විඳිමින් අත්පොළසන් දෙමින් නැගී සිටි ශාස්තෲන් වහන්සේට වැඳ පැදකුණු කොට ගියේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙවි මිනිසුන් අතර සැරිසැරූ ඔහු, අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි සැවැත්නුවර බමුණු පවුලක උපන්නේ ය. ඛිතක බමුණු නාමයෙන් ප්‍රකට වූ හෙතෙම වැඩි වියට පත්ව මහමුගලන් තෙරුන් වහන්සේගේ මහත් සෘද්ධිමය බව අසා, “මමත් සෘද්ධිමත් අයෙකු වන්නෙමි” යි පූර්ව හේතු බලයෙන් මෙහෙයවනු ලබන්නේ පැවිදිවිය. භාග්‍යවතුන් වහන්සේ හමුවේදී කමටහන් ගත් ඛිතක තෙරුන් වහන්සේ සමථ විදර්ශනාදියෙහි ම සිත පිහිටුවා කමටහන් වඩා නොබෝ දිනකින් ම ෂඩ් අභිඥා ලාභී මහතෙර නමක් බවට පත්වූහ. උන්වහන්සේ මෙසේ සිය චරිතාපදානය දැක්වූහ.
“ද්විපදෝත්තම වූ නරශ්‍රේෂ්ඨ වූ පසැස් ඇති පදුමුත්තර නම් වූ බුදුරජාණන් වහන්සේ තමන් විසූ වනයෙන් නික්ම අවුත් දහම් දෙසූහ.